Base Hospital - Homagama

Dinamina - Aarogya article - 18th January 2012

නවීන පහසුකම් සපිරි හෝමාගම මුලික රෝහල

දිවංගත බී. ඒ. සෙමනේරිස් අප්පුහාමි මහතා විසින් හෝමාගම මූලික රෝහල තමාට හිමි ඉඩමේ ම තනවා 1946 පෙබරවාරි මස 16 වැනි දින ලංකා ආණ්ඩුවට පරිත්‍යාග කර ඇත. බමුණුආරච්චි පදනම විසින් රුපියල් මිලියන 100ක වියදමින් නිම කරන ලද තෙමහල් නව වාට්ටු සංකීර්ණය සෙමනේරිස් අප්පුහාමි මහතා සිහිවීම පිණිස 2012 පෙබරවාරි මස 16 වැනි දින ජනතා අයිතියට පත් කෙරේ.
දිනෙන් දින නවීන පහසුකම්වලින් පොහොසත්වන හෝමාගම මූලික රෝහල දියුණුවන නගරයකට අත්‍යවශ්‍යම ආයතනයක් ලෙස එක්වීම ප්‍රදේශයේ ජනතාවගේ වාසනාවකි. හෝමාගම මූලික රෝහලෙන් සැපයෙන සේවාව පිළිබඳව රෝහලේ වෛද්‍ය අධිකාරිනී වෛද්‍ය පුෂ්පා ගමලත්ගේ මහත්මිය අදහස් දැක් වූයේ මෙසේ යි.
මේ රෝහල සියලුම පහසුකම්වලින් පොහොසත් රෝහලක් ලෙස වැඩි දියුණු වෙමින් පවතිනවා.
බමුණුආරච්චි පදනම මගින් මේ රෝහලේ බොහෝ කටයුතු සිදුකර දීම අපි අගය කරනවා.
මේ රෝහලේ බාහිර රෝගී අංශයට දිනකට රෝගීන් දහසක් පමණ ප්‍රතිකාර සඳහා යොමු වෙනවා. මේ අය පළමුව මූලික ප්‍රතිකාර අංශයට යොමුකරනවා. එම අංශයේ දී පැය කීපයක් රෝගියාව නතර කර තබාගෙන වැඩිපුර ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් නේවාසික කිරීමත් එසේ නොවන රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දී පැය කීපයක් ඇතුළත දී නිවෙස්වලට යාමට අවශ්‍ය කටයුතු කෙරෙනවා.
මූලික ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරුන් 26 දෙනෙකු සේවය කරනවා. මේ අංශයේ දී හදිසි තත්ත්වවලට ලක්ව පැමිණෙන රෝගීන්ට මූලිකව සිදුකළ යුතු ප්‍රතිකාර ලබාදීමත් කෙරෙනවා.
එමෙන්ම වැඩි අවදානම් සහිත රෝගීන් සඳහා විශේෂ පහසුකම් යටතේ වෙනමම ප්‍රතිකාර ලබා දීමත් කෙරෙනවා.
ශල්‍ය අංශය ද මේ රෝහලේ දියුණු වෙමින් පවතින අංශයක්. අක්ෂි උගුර, කන, නාසය මෙන්ම, උදර කුහරය ආශ්‍රිත හා දන්ත ශල්‍යකර්මත් සිදුකරනවා. ප්‍රධාන ශල්‍යකර්ම හැරුණු විට අනිකුත් ශල්‍යකර්ම සියල්ලක්ම මේ රෝහලේ දී සිදු කරනවා.
විශේෂඥ වෛද්‍යවරුන් 12 දෙනෙකු යටතේ විවිධ සායන පැවැත්වෙනවා. ළමා සායනය, මාතෘ හා නාරිවේද, නිර්වින්දන කායික රෝග, දියවැඩියාව, ශල්‍ය වෛද්‍ය දන්ත, ලය චිකිත්සා චර්ම රෝග මෙන්ම ළදරු සායන ද මෙහිදී විශේෂ වැදගත්කමක් ගන්නවා.
එන්ඩොස්කොපි, කොළනස්කොපි මෙන්ම භෞතචිකිත්සක ප්‍රතිකාර ද කෙරෙනවා.
මේ රෝහලේ නේවාසික රෝගීන්ට විශේෂ පහසුකම් යටතේ අවශ්‍ය සියලුම ප්‍රතිකාර නොමිලේ කෙරෙනවා.
ගුණාත්මක සේවාවක් ලබා දීම සඳහා කාර්ය මණ්ඩලයේ ආකල්පමය වෙනසක් ඇතිකළ යුතුයි. මේ සඳහා කාර්ය මණ්ඩලයට අවශ්‍ය පුහුණුවීම් ලබාදීමක් කළා.
බමුණුආරච්චි පදනම මගින් ඉදිකළ නවතම පහසුකම්වලින් සමන්විත තෙමහල් වාට්ටු සංකීර්ණය පෙබරවාරි මස 16 දින විවෘත කළ පසු මීටත් වඩා ගුණාත්මක සේවාවක් ලබාදීමට හැකි වෙනවා.
රෝහලේ සෞඛ්‍ය අධ්‍යාපන ඒකකය මගින් රෝග වළක්වා ගන්නා ආකාරයත් රෝගයක් සෑදුනු විට ඊට මුහුණ දිය යුතු ආකාරය පිළිබඳවත් අපි රෝහලට පැමිණෙන අය දැනුම්වත් කරනවා. මාපිය මෙහෙවර විශේෂ වැඩසටහනක් සිකුරාදා දිනයන්හි දී රෝහලේ ක්‍රියාත්මක වෙනවා. මව්වරුන් හා පියවරුන් දැනුවත් කිරීම මෙහි දී සිදු වෙනවා.
මානසික ගැටලු ඇති අයට විශේෂ ප්‍රතිකාර හා උපදේශන ලබා දෙනවා.
මේ රෝහලේ පවුල් වෛද්‍ය ඒකකය ඉතාම වැදගත්. ප්‍රදේශයේ ඕනෑම පවුලකට මේ ඒකකයේ ලියාපදිංචි වී අංකයක් ලබාගත හැකියි. පවුලේ සියලු විස්තර මෙන්ම පවුලේ අයගේ රෝග ඉතිහාසය ද ඇතුළත් වන ලෙස ලියාපදිංචි පවුල් සඳහා ලිපි ගොනුවක් සකසනවා.
මේ ලිපි ගොනු අංකය යටතේ ප්‍රතිකාර ලබා ගැනීමේ දී මීට පෙර රෝග තත්ත්ව පිළිබඳව ද වෛද්‍යවරුන්ට අධ්‍යයනය කළ හැකි නිසා රෝගීන්ට ප්‍රතිකාර ලබා දීමේ දී විශාල පහසුවක් සැලසෙනවා.
මේ රෝහලේ දියුණුව සඳහා මහජනතාවගේ අදහස් මෙන්ම මහජනතාවගේ පරිත්‍යාගත් අපට ඉතාම වැදගත් වෙනවා. මේ නිසා ඔබේ අදහස් හා යෝජනා දුරකථන අංක 0112855200ට ලබා දෙන ලෙස ද ඉල්ලීමක් කරනවා.

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.