National Institute of Infectious Diseases (IDH)

Dinamina - Aarogya article - 6th July 2016


ජාතික බෝවන රෝග විද්‍යායතනය

එදා කූඹි කැළේ

අද කොළඹ දිස්ත්‍රික්කයේ හොඳම ඩෙංගු කළමනාකරණ රෝහලයි
ජාතික බෝවන රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂ
වෛද්‍ය ලලිත් පෝද්දල්ගොඩ
ප්‍රධාන හෙද නිලධාරිනිය
විශිෂ්ඨ ශ්‍රේණියේ හෙද නිලධාරිනී
ගීතානි උඩුගම කෝරාල

ඩෙංගු කළමනාකරණ ඒකකයේ ප්‍රධානී
තායිලන්තයේ සෙරිකිත් රෝහලේ ඩෙංගු ප්‍රතිකාරය පිළිබඳ විශේෂ පුහුණුවලත් විශේෂඥ වෛද්‍ය
ආනන්ද විජේවික්‍රම

එදා කූඹි කැලේ අද ලංකාවේ හොඳම ඩෙංගු කළමනාකරණ රෝහල (Dengu menagement) බව පත්වී ඇත.
ඒ වසර 1847 ආසන්න වකවානුවකි. ඉංශ්‍රීසි ජාතීන්ගේ පාලන සමයේ ශ්‍රී ලංකාවට විදේශිකයන්ගේ ශ්‍රම දායකත්වය නොඅඩුව ලැබුණි. මේ ශ්‍රම දායකත්වය කන්ද උඩරටට පමණක් සීමා නොවී නොයෙකුත් ප්‍රදේශ දක්වා විහිදී ගියේය. නමුත් මේ හේතුව නිසා අප රටට එක්තරා සෞඛ්‍යමය ගැටලුවක් ද එක් විය. එවකට වසංගතයක් ලෙස පැතිරුණු “වසූරිය” ශ්‍රී ලංකාවට දායද වූයේ පිටරැටියන්ගේ සංක්‍රමනයන් සමඟය. පැපොල, කම්මුල්ගාය, සරම්ප ආදී බෝවන රෝග අතර වසංගතයන් බවට පත්වූයේ වසූරියයි. “වසූරිය” රෝගය වැළඳෙනවා යනු මරණ සහතිකය අතෙහි තබා ගත්තා වැනිය.
වසූරිය වැළඳීමේ ප්‍රවණතාවය කෙසේදයත් එය වසංගත තත්ත්වයක් දක්වා එවකට ව්‍යාප්ත විය. එම රෝගයෙන් සෙසු ජනතාව ආරක්ෂා කරනු වස් ඉංගී‍්‍රසීන් විසින් මෙ රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි මුහුදු මට්ටමින් අඩි 100ක් උස අක්කර 72 ක කොළඹ නගර සීමාව අසල භූමි භාගයක් තෝරා ගැනිණි.
බෝවන රෝග බොහෝමයක් ව්‍යාප්ත වන්නේ ස්වසනය මඟිනි. එබැවින් කැලෑ රොදකින් යුත් පරිසරයක් උස ස්ථානයක මේ ආකාරයට රෝහල ස්ථාපිත කිරීම රෝග බෝවන ප්‍රමාණය අවම කර ගැනීමේ අරමුණ විය. යම් හෙයකින් ජනාකීර්ණ පහළ භූමි භාගයක් තෝරා ගත්තේ නම් ඉහළ භූමියේ වෙසෙන අයට වාතාශ්‍රය මඟින් රෝගය වැළඳීමට තිබෙන ප්‍රවණතාවය වැඩි වේ.
කටවහරේ මෙයට නම වැටුණේ කූඹි කැලේ නමිනි. හේතුව එහි පරිසරය කැලෑ රොදක් වූ නිසාත් අනිකුත් ස්ථානවල නොමැති එක්තරා කුහුඹි වර්ගයක් ලැගුම්ගෙන සිටි නිසාත්ය.
ඒ යුගයේ රෝගියකු කූඹි කැලේට ඇතුළත් කරනවා යනු රෝගියා කෙරෙහි තිබෙන බලාපොරොත්තුව අතහැර දැමීමකි.
අද ලංකාවෙන් වසූරිය තුරන් වුවද එවකට වසූරිය රෝගය වැළඳී ප්‍රතිකාර සඳහා රෝහලට යොමු වූ රෝගීන්ගේ 90%ක් මියැදුන බව පැවසේ. මිය ගිය අයගේ සිරුර එක වලකට බහා භූමදාන කරන අතර එම ප්‍රදේශයට ආවේනික කුහුඹි වර්ගය මෙම සිරුරු කා දැමූ බවද පැවසේ.
මෙම රෝහලේ කොරිඩෝව කි. මීටරයකට ආසන්න සරල රේඛාවක් සේ කෙළින් පිහිටා ඇති අතර වාට්ටු අතර ඇත්තේ විශාල පරතරයකි. කොරිඩෝව සිට වාට්ටු අතර ද පරතරයක් ඇත. එයට මූලික හේතුව වී ඇත්තේ බෝවන රෝග එකිනෙකට වෙනස් බැවින් එක් රෝගයකින් අනිකුත් රෝගියා ආරක්ෂා කර ගැනීමටය. ඒ යුගයේ රෝගියකුගේ සුවදුක් බැලීමට පවා යෑමට අදිමදි කරන ලද IDH  මූලික රෝහල අද නම් කර ඇත්තේ ජාතික බෝවන රෝග විද්‍යායතනය ලෙසය. වර්තමානයේ නවීකරණය කරන ලද මෙම රෝහල නවීන අංගෝපාංගයන්ගෙන් සමන්විත වන අතර රෝහලක ස්වරූපයෙන් පරිභාහිරව නෙත පි‍්‍රය උපදවන ආකාරය ඉතා පිරිසිදු පරිසරයකින් සමන්විතය. වෛද්‍ය ලලිත් පෝද්දල්ගොඩ මහතා රෝහල් අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන අතර ප්‍රධාන හෙද නිලධාරිනිය වන්නේ විශිෂ්ඨ ශ්‍රේණියේ හෙද නිලධාරිනී ගීතානි උඩුගම කෝරාල මහත්මියයි.
උණ රෝගීන් මෙන්ම ඕනෑම රෝගියෙකුට ප්‍රතිකාර කෙරෙන මෙම රෝහල (medical)  2010 සිට ඩෙංගු රෝගීන් වෙනුවෙන් ද සුවිශේෂ ප්‍රතිකාර ඒකකයක් ස්ථාපිත කොට ඇත.
දැනට වසර 5කට පෙරාතුව ලංකාවේ ඩෙංගු රෝගයෙන් මියැදුන සංඛ්‍යාව වර්ධනය වීමත් සමඟම සෞඛ්‍ය අමාත්‍යංශය විසින් තායිලන්තයේ සෙරකින් රෝහලේ ඇති විශේෂ වූ ඩෙංගු ප්‍රතිකාර ඒකකයෙන් විශේෂිත පුහුණුවක් සඳහා වෛද්‍යවරුන් පිරිසක් යවන ලද්දේ ඩෙංගු නිසි කළමනාකරණය කරමින් රෝගීන් සුව කිරීමේ සුවිශේෂිත හැකියාව සෙරකින් රෝහල ඩෙංගු ඒකකය සතුව තිබූ නිසාය.
මෙලෙස ඩෙංගු කළමනාකරණය පිළිබඳ විශේෂ පුහුණුවලත් කණ්ඩායමේ සිටි වෛද්‍යවරුන් ඇති විශේෂඥ වෛද්‍ය ආනන්ද වික්‍රමගේ මහතාද විය. ඔහු අද IDH  රෝහලේ ඩෙංගු කළමනාකරණ ඒකකය භාර වෛද්‍යවරයාය. ඔහු යටතේ වෛද්‍යවරුන් කිහිපදෙනෙක් ඩෙංගු කළමනාකරණ ඒකකයේ සේවයේ නිරතව සිටී.
ඩෙංගු කළමනාකරණ ඒකකය වාට්ටු 5කින් සමන්විතය. ගැහැණු පිරිමි ලෙස වාට්ටු නම් කර ඇත. එක වාට්ටුවක ඇඳන් 20කින් යුක්තය.
සියලුම උණ රෝගීන් රෝහලට ඇතුළත් කර ගන්නා අතර රුධිර පරීක්ෂාවෙන් ඩෙංගු යැයි නිගමනය වූ පසු විශේෂ ප්‍රතිකාර සඳහා රෝගියාව නේවාසික ප්‍රතිකාර වෙත යොමු කෙරේ. රෝගියා රක්තපාත අවදානමට පැමිණෙන බව පරීක්ෂණ වලින් හෙළි වූවහොත් විශේෂ ඩෙංගු කළමනාකරණ ඒකකයට රෝගියාව මාරු කර යවනුයේ රෝගියාට දැඩි අවධානය ලබා දීමටය. රුධිර පරීක්ෂණයන්ට අමතර රක්තපාත තත්ත්වය පිළිබඳ තවදුරටත් දැන ගැනීම සඳහා රෝගියාගේ උදරය Scan  පරීක්ෂණයකට බඳුන් කෙරේ. එහිදී ලබාගත් දත්තතයන් ද සැලකිල්ලට ගෙන සිරුර අභ්‍යන්තරයේ සිදුවන සංකූලතා නිරීක්ෂණය කෙරෙන අතර රෝගියා Leaking  (රුධිර ප්ලාස්මාව ඉවත් වන අවස්ථාව) පිළිබඳ සොයා බැලේ. තත්ත්වය දරුණු අතට පත් නොකර නිසි කලමනාකරණය මඟින් ඩෙංගු කම්පන තත්ත්වයෙන් රෝගියා මුදවා ගැනීමට වෛද්‍යවරුන් හෙදියන් උපරිම ශ්‍රම දායකත්වයක් ලබා දේ. ආසාධ්‍ය රෝගීන් සඳහා දැඩි සත්කාර ඒකකයක් තිබෙන අතර මෙම රෝහලේ තිබෙන සුවිශේෂත්වය වනුයේ උණ වැළඳී IDH  රෝහලට ඇතුළත කළ කිසිවෙකුගෙන් මරණ වාර්තා වී නොමැති බවයි.
ඩෙංගු ඒකකයේ හෙදියන් 10 දෙනෙක් සේවය කරන අතර හෙදියන් ප්‍රමාණවත් නොවන බැවින් වෙනනත් රෝහල්වල සේවය කරන හෙදියන්ගේ සේවය ලබා ගැනේ.
Team Work
විශේෂයෙන් ගං වතුර හේතුවෙන් ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළ ගිය අතර රෝගීන් විශාල ප්‍රමාණයක් IDH  රෝහලට ඇතුළත් වූ බැවින් වෛද්‍යරුන්, හෙදියන්, සාමාන්‍ය සුළු සේවකයන් සියල්ලන් එකම කණ්ඩායමක් ලෙස එක්වී රෝගීන් සුවපත් කරන ආකාරය සියැසින්ම දුටුවිට හැඟෙනුයේ ඔවුන් කාලය, ශ්‍රමය, කැප කොට තමාව ද අමතක කොට රෝගීන් බේරා ගැනීමට දරන අපිරිමිත උත්සාහයයි. රෝගියා සුව වී ටිකට් කපා නිවසට යන මොහොතේ ජීවිතයක් බේරා ගැනීමේ උතුම් වූ සද්කාරයට දායක වීම පිළිබඳ ඔවුන්ගේ මුවඟේ නැඟෙන සොම්නස සහගත සිනහා රැල්ල එය එයට මනා සාක්ෂියකි.
බය වෙන්න එපා ඩෙංගු සුව කළ හැකියි. බෝවන රෝග විද්‍යායතනයේ (IDH  රෝහලේ) ඩෙංගු කළමනාකරණ ඒකකයේ ප්‍රධානී තායිලන්තයේ සෙරිකිත් රෝහලේ ඩෙංගු ප්‍රතිකාර ඒකකයේ ඩෙංගු ප්‍රතිකාර පිළිබඳ විශේෂ පුහුණුවලත් විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ඩෙංගු රෝගය පිළිබඳ පැවසුවේ එවැන්නක්.
ඩෙංගු යනු ලංකාවට ආවේනිකවු රෝගයකි. ශි‍්‍ර ලංකාවේ පාරසරික පද්දතිය ඩෙංගු රෝගය ව්‍යාප්තවිමට බොහෝ දුරට ඉවහල් වී ඇත. නිරිත දිග මෝසම් වැසි ලැබෙන ජුනි ජුලි මාසවල මෙන්ම ඊසාන දිග මෝසම් වැසි ලැබෙන ඔක්තෝබර් නොවැම්බරයේද ඩෙංගු රෝගින් වාර්තා විම වැළැක්විය නොහැකිය. ඩෙංගු වැළදුන පසු එයට නිසියාකාර ප්‍රතිකාර ක්‍රමයක් දියත් කළ යුතුය. ඩෙංගු සුව කළ හැකි රෝගයක් වන අතර. නිසි ආකාරයෙන් ඩෙංගු රෝගය කළමනාකරණය කිරිමෙන් සුවය ලබා ගත හැකි බව පවසන්නේ ශි‍්‍ර ලංකාවේ බෝවන රෝග විද්‍යාතනයේ ඩෙංගු ප්‍රතිකාර ඒකකයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාය. එතුමා පවසන අන්දමට ඩෙංගු නිසිලෙස කළමනාකරණය කිරීමෙන් (මැනේජ්මන්ට්) ඩෙංගු රෝගින් දහස් ගණන් සුව කර ගැනිමට හැකිවි ඇත. අද ඔබට පවසන්නේ දහස් ගණන් රෝගින් සුවපත් කළ අයි.ඩි.එච් හි බෝවන රෝග විද්‍යාතනයේ ඩෙංගු මැනේජ්මන්ට් අංශයෙන් නිසියාකාරව ඉටුවිම නිසා රෝගින්ගේ දිවි ගලවා ගත් අන්දමයි.
එකවර තද උණක් වැළඳුන විටකදි එය ඩෙංගු දැයි අවිශ්වාස කර ප්‍රතිකාර ලබා ගැනීමෙන් සම්පුර්ණ සුවය ලබා ගත හැකියි. තද උණ වැළඳී දින දෙකක් පැය 48 ක් පසුව පුල් බ්ලඩ් කවුන්ට් (Full Blood Count)රුධිර පරික්ෂාව කරගන්න. මෙම රුධිර පරික්ෂාවේදි දත්තයන් සාමාන්‍ය වූවද ඊට පසුදින ද මෙම රුධිර පරික්ෂාව කර ගත යුතුයි. මෙම අවස්ථාව වන විට වැඩි දෙනෙකුට ඩෙංගු ප්‍රධාන ලක්ෂණ තුන වන ඇඟපත වේදනවා. තද උණ,තද හිස කැක්කුම, තිබෙන්නට පුඵවන. ඔබ විසින් කළ යුතු ප්‍රධානම දේ වන්නේ උණ පටන් ගත් මොහොතේ සිට ඇද විවේකය ලබා ගැනීමයි. රැකියාවට යාම, පාසල් යාම, ක්‍රීඩා කිරිම කිසිසේත් සුදුසු නැත. මේ අවස්ථාව වන විට ඔබගේ රුධිර පරික්ෂාවේ. සුදු රුධිරාණු සහ රුධිර පට්ටිකා අවම විමට ඉඩ ඇත. මෙය ඩෙංගු පුර්ව ලක්ෂණයක් වන බැවින් රජයේ රෝහලකට ගොස් වෛද්‍යවරයකු මුණ ගැසිම අත්‍යවශය. මේ අතරවාරයේ වැඩිහිටියෙකුට දිනකට ලීටර් 2 1/2 පමණ ලවණ සහිත දියර (තැඹිලි, දොඩම්, දෙහි, කැඳ, සුප්) ආදිය පානය කළ යුතුය.
ඩෙංගු අදියර 3කින් යුක්තය. DF  ඩෙංගු උණ
DHF ඩෙංගු රක්තපාත තත්ත්වය
ඩෙංගු කම්පන තත්ත්වය
ඩෙංගු කම්පන තත්ත්වය යනු භයානක තත්ත්වයකි.
රක්තපාත තත්ත්වය
උණ වැළඳී 4 -5 වන දිනවන විටදී ඩෙංගු රක්තපාත ලක්ෂණ මතු වීමට ඇතැම් විට ඉඩ ඇති බැවින් මේ අවස්ථාව වනවිට රෝගියා සිටිය යුත්තේ රෝහලක නේවාසිකවය. ගන්නා ලද රුධිර පරීක්ෂණයේදී රුධිර පට්ටිකා දර්ශකය 1,30000ට (එක්ලක්ෂ තිස්දාහක්) වඩා අවම වී තිබේ නම් ඩෙංගු රක්තපාත තත්ත්වය ඇතිවීමට ඉඩ ඇති බැවින් රෝගියා රෝහල් ගත කළ යුතුය.
රෝගියා රෝහල් ගත කළ විට FBC රුධිර පරීක්ෂණය පැය 06කට වරක් ලබා ගන්නා අතර එහිදී රුධිර පට්ටිකාවලට අමතරව රුධිරයේ ඝනත්වය PCV අගය නිරීක්ෂණය කෙරේ. රක්තපාත තත්ත්වයට පත්වන රෝගීන්ට විවිධ සංකූලතා මතුවන අතර මේ සියලු සංකූලතා නිරන්තරයෙන්ම නිරීක්ෂණය කරනු ඇත. සංකුලතා පවතින තත්ත්වය අනුව ඇතැම්විට පැය 6 කට අඩු කාලයක් තුළදි පවා රුධිර පරීක්ෂාව සිදු කර දත්තයන් නිරීක්ෂණය කෙරේ.
සංකූලතා
නාඩි වේගය වැඩි වීම, ස්වසන වේගය වැඩි වීම, මුත්‍රා පිටකරන ප්‍රමාණය අඩු වීම. මේවා බාහිරව දැකගත හැකි සාධකයි. මෙවැනි සංකූලතා මතු වූ විට පිටවන මුත්‍රා ප්‍රමාණයට සමගාමීව ද්‍රව තරල මැන ලබා දීම සිදු කෙරේ. සේලයින් වර්ග ද සංකූලතාව අනුව ද වෙනස් කර ලබා දිය යුතුය. ඇතැම් රෝගීන්ට රුධිර පාරවිලනය කළ යුතු අතර ආහාර රුචිකත්වයක් නොමැති නම් බලෙන් ආහාර ලබා නොදිය යුතුය. ආහාර ලබා දෙන්නේ නම් දිරවිය හැකි සැහැල්ලු ආහාර ලබා දිය යුතු අතර රතු, දුඹුරු පැහැති කිසිදු ආහාර හා පාන වර්ග ලබා නොදිය යුත්තේ වමනය සහ මලපහ සමග රුධිරය පිටවනවාදැයි දැන ගැනිමට රතු දුඹුරු ආහාර ලබා ගතහොත් නොහැකිවන බැවිණි
රුධිර වහනය
එකිනෙක රෝගීන්ට මතුවන සංකූලතා වෙනස්ය. ඩෙංගු රක්තපාත තත්ත්වයේදී රුධිර ප්ලාස්මා තරලය කාන්දු වීම සිදුවන බැවින් රුධිර වහනය සිදු වේ. මේ අවස්ථාවේදී රෝගින්ගෙන් මතුවන සංකූලතා එකිනෙක රෝගියාට වෙනස් වේ. ඇතැමෙකුට වැඩිපුර රුධිරය කාන්දු වී ගොස් ප්‍රධාන ඉන්ද්‍රියයන්ට රුධිර සැපයුම අඩාල වී කම්පන තත්ත්වය උදා වේ. කම්පන තත්ත්වය පැය 5 - 6 එකසේ පැවතුනහොත් අනෙකුත් ඉන්ද්‍රියයන්ට රුධිර සංසරණය නතර වේ. අක්මාව, මොළය, වකුගඩු ආදියට රුධිර සැපයුම නැවතුනහොත් ජීවිතය පවා අහිමි වී යාමට ඉඩ ඇත. එබැවින් කම්පන තත්ත්වයට පත් නොවන්නට ඩෙංගු කළමනාකරණය කාර්යභාර්ය හරිහැටි සිදු කළ යුතුයි.
ඩෙංගු රෝගීන්ගේ සුව වීමේ ලක්ෂණ ලෙස දැක්විය හැක්කේ රුධිර පට්ටිකා ක්‍රමයෙන් වැඩි වීමයි. ඒ තත්ත්වය උදාවන විට දින 07ක් පමණ කල්ගත වේ. ඩෙංගු රෝගීන්ගේ අවදානම් කාලසීමාව වන්නේ දින 05 - 06 දක්වා පැය 48ක අවදානම් කාලයයි.
සැලකිය යුතුයි
උණ වැළඳී ඇඟපත වේදනාව ඇති වූ විට පැරසිටමෝල් හැර කිසිදු ඖෂධයක් ගැනීමෙන් වැළකිය යුතුයි. Ibuprofen, mefenamic acid, diclofenac කාණ්ඩයට අයත් වේදනා නාශක ඖෂධ වශයෙන් හෝ සපොසිටරි වශයෙන් ලබා ගැනීම අතිශයින් අවදානම් වේ. ඇතැම් අය ඇඟපත වේදනාවට ඖෂධ කුඩු වශයෙන් නිර්දේශ කරති. කිසිවිටෙක එවැනි ඖෂධ කුඩු වර්ග ගැනීමෙන් වැළකිය යුතුය. මෙවැනි කුඩු වර්ග ගැනීමෙන් අවසානයේදී කම්පන තත්ත්වය දක්වා ඩෙංගු ව්‍යාප්ත විය හැක. පැරසිටමෝල් ලබා ගත යුත්තේ පැය 06කට වරක් පමණි. ඩෙංගු දැයි දැනගත හැකි තවත් රුධිර පරීක්ෂණයක් ඇත. එය හඳුන්වන්නේ ඩෙංගු ඇන්ටිජන් පරික්ෂණය නමිනි. උණ වැළඳි ප්‍රථම පැය 72 තුළ මෙම පරීක්ෂණය සිදු කළ යුතු අතර එයින් ලැබෙන දත්තයන් අනුව ඩෙංගු නොවේ යැයි පැවසුන ද එය 100% ස්ථීර නිගමනයක් එළඹිය නොහැක.එහි සංවේදිතාවය ඇත්තේ 85% පමණක් බැවින් එසේ වුවද උණ වැළඳී පැය 48 -72 කට පසු FBC පරීක්ෂණය සිදු කර ලබාගත් දත්තයන් අනුව රෝගී තත්ත්වය ස්ථිර කරගත යුතුවේ.


Dinamina - Aarogya article - 24th December 2014

අයී. ඩී. එච්. උණ රෝහලේ ඇති විශේෂ ඩෙංගු ඒකකය


නැවතත් ඩෙංගු රෝගය හිස එසවීම පිළිබඳව සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමට පටන් ගෙන ඇත. විශේෂයෙන් වැසි සමය ඇරඹීමත් සමඟම ඉස්මතුවන රෝගී තත්ත්වයක් ලෙස ඩෙංගු හැඳින්විය හැකිය.
ඩෙංගු මදුරු ගහණය වර්ධනයත් සමඟ ඩෙංගු රෝගීන්ගේද වැඩිවීමක් සිදුවීම නිසා ඩෙංගු රෝගියෙකු රෝහල් ගත කළ පසු රෝහලේදී ඩෙංගු රෝගීයෙකුට ලබාදෙන සත්කාර පිළිබඳව උණ රෝහලේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා දැක්වූ අදහස් මෙවර “ආරෝග්‍යා” වෙත ගෙන එන්නට අදහස් කළෙමි.
බෝවන රෝගීන් වෙනුවෙන් මෙරට ඉදිකර ඇති උණ රෝහල ඩෙංගු රෝගීන් වෙනුවෙන් ද වෙනමම ඒකකයක් පවත්වාගෙන යයි. එහිදී ඩෙංගු රෝගීන් ඉතා සුපරික්ෂාකාරීව රැකබලා ගන්නා අතර ඔවුන් පිළිබඳව නිරන්තරව සිදු කරන පරීක්ෂණ නිසා ඔවුන්ගේ දිවි සුරැකීමට හැකියාව ලැබී ඇත.
උණ සෑදී ඇති රෝගියෙකුට ඩෙංගු උණ ද නැතිනම් ඩෙංගු රක්තපාත උණ ද යන්න සොයා බැලීම සඳහා පැරසිටමෝල් වැනි උණ පාලනය කරන ඖෂධ නොදී, උණ බැස යාමට සලස්වා පැය 24ක් තුළදී සොයා බැලීම කරනවා.
ඩෙංගු රෝගීන් මෙම කාලය තුළදී හොඳින් රැකබලා ගැනීම කළ යුතුය. ඉතා හොඳ හෙද සත්කාරයක් සමඟ රෝගීන් රැකබලා ගත යුතුය. එසේ නොවුණහොත් රෝගියා කම්පන තත්ත්වයට පත්විය හැකිය.
රෝගියා රෝහලට ඇතුළත් කළ විගස රෝගියාගේ ශරීර උෂ්ණත්වය, හෘද ස්පන්දන වේගය, හෘද ස්පන්දන පරිමාව (Pulse volume) ස්වසන වේගය මෙන්ම රුධිර පීඩනය ද මැන ගැනීම කරනවා. එමෙන්ම දේහ බර, අත් පා සීතල වී ඇති හෝ නැති බව, පිට කළ මුත්‍රා ප්‍රමාණය, රුධිර කේශ නාලිකා පිපිරීමට ගත වන කාලය ඇඳ ඉහපතෙහි නිවැරදිව සටහන් කරනවා.
රෝගියාගේ උණ අවධිය අවසන් වන තෙක් මදුරු දැලක් භාවිතා කිරීමත් මදුරුවන්ගෙන් තොර පරිසරයක් රෝගියාට ලබා දීමත් කළ යුතුයි.
රෝගියාට පහසු ලිහිල් ඇඳුමක් ඇද ගැනීමට සළස්වා රෝගියා හා ඔහුගේ පවුලේ සමාජිකයන්ව ඩෙංගු උණ හා ඩෙංගු රක්තපාත උණ පිළිබඳව දැනුවත් කිරීම ද රෝහලේදී කෙරෙනවා.
එමෙන්ම රෝගියා පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බව ඥාතීන්ට පවසා ඒ අයගේ බිය හා ආතතිය අවම කිරීමට ද රෝහල් කාර්ය මණ්ඩලය වෙහෙස ගන්නවා.
ඩෙංගු රෝගියාට අවශ්‍ය කෙරෙන සියලු උවටැන් මේ රෝහලේ කාර්ය මණ්ඩලය විසින් සිදු කරනවා.
ඩෙංගු උණ අවධියේ ප්‍රධාන ලක්ෂණ වන තද උණ, ඇස් යට වේදනාව, මස් පිඩු වේදනාව හා සන්ධි වේදනාව වැනි තත්ත්ව වළක්වා ගැනීම සඳහා පැරසිටමෝල් නිසි මාත්‍රාව ලබාදීම කරනවා.
තද උණ පවතී නම් උණුසුම් ජලයෙන් පොඟවා ගත් රෙදි කඩකින් තැවීම මඟින් රෝගියාගේ උණ පාලනය කිරීමට කටයුතු කිරීමත්, රෝගියාට වෙව්ලීම වැනි ලක්ෂණ ඇති වන්නේ නම් ඉහත ක්‍රියාවලිය නවතා වියළි පොරෝනයකින් ආවරණය කිරීමත් වැදගත්ය. රෝගියාට ජලය පානය කිරීම හැකිතාක් අඩු කොට ඒ වෙනුවට කිරි, පළතුරු යුෂ, මුඛ සජලන පානයන් වැනි අයන සහිත දියර නියමිත ප්‍රමාණයන්ගෙන් රෝගියාට පානය කිරීමට සැලැස්වීම ද රෝහලේදී කෙරෙනවා. නිසි අධීක්ෂණයක් යටතේ නිසි ප්‍රමාණයන්ගෙන් මේවා ලබාදීම කළ යුතුයි.
රෝගියාගේ ඇඳ ඉහපත් සටහනෙහි රෝගියා පිළිබඳව සියලු දත්ත සටහන් කිරීම නිසා රෝගියාගේ නියම තත්ත්වයත් ඊට අදාළව ප්‍රතිකාර ලබා දීමට හැකියාවත් පවතිනවා.
ඩෙංගු රෝගී අවදානම් අවධියේදී රුධිර ප්ලාස්මා කාන්දු වීම, උදර වේදනවා, මුත්‍රා පිටවන ප්‍රමාණය අඩුවීම, සෛලවලට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය මදවීම, කම්පන තත්ත්වයට පත්වීම, අධික රුධිර වහනය වැනි තත්ත්ව ඇති විය හැකි බැවින් ඒ පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය.
එමෙන්ම මෙම අවධියේදී අභ්‍යන්තර රුධිර වහනය, ශරීරයේ තරල පරිමාව අඩුවීම නිසා හෝ අඩුවෙන් තරල ශරීරයට ලබාදීම නිසා අක්මාව, වකුගඩු හා ස්වසන පද්ධතියේ සිදුවන අකර්මන්‍යතාවන්, රුධිර නාලවලින් පිටතට තරල කාන්දුවීම නිසා ශරීරයේ දියර පරිමාව වැඩිවීම, ද්විතීක ආසාදන ලෙස ඛ්චදදභතඵ දැමූ ස්ථානවල ආසාදන සහ එන්කෙෆලොපති වැනි තත්ත්වයද ඇතිවිය හැකි බැවින් මෙම සංකූලතා පිළිබඳව මනා නිරීක්ෂණයකින් පසුවීමට රෝහල් කාර්ය මණ්ඩලය සුපරීක්ෂාකාරී වීම හේතුවෙන් රෝගීන්ගේ ජීවිත බොහොමයක් බේරා ගැනීමට හැකියාව ලැබී ඇත.
රෝගියාගේ කම්පන තත්ත්වය මුල් අවධියේදීම හඳුනා ගැනීම ද ඉතා වැදගත් වේ. මෙහිදී රෝගියාගේ වෙනස්කම් පිළිබඳව මනා සැලකිල්ලකින් සිටීමට වෛද්‍ය කාර්ය මණ්ඩලයට සිදු වනු ඇත. රෝගියාට තදින් දහඩිය දැමීමට පටන් ගැනීම, උදරයේ වේදනාව, නොසන්සුන් හා නොරුස්සන සුළු බව, සිහි කල්පනාව වෙනස්වීම, අත් පා සීතල වීම, රුධිර කේශ නාළිකා පිපිරීමට ගත වන කාලය තත්ත්පර දෙකකට වඩා වැඩි වීම, නාඩි වැටීම වේගවත් වීම, රුධිර පීඩනයේ වෙනස්වීම වැනි තත්ත්ව ඇති වේ.
ඉහත තත්ත්වයන්ගෙන් රෝගියා ආරක්ෂා කර ගැනීම සඳහා රෝගියා සම්බන්ධයෙන් පෞද්ගලිකවම සොයා බැලීමක් කළ යුතු අතර රෝගියා පිළිබඳ නිවැරදි සටහන් තබා ගැනීම ද කළ යුතුය.
නිවැරදි ප්‍රතිකාර ලැබීමත් සමඟ ඩෙංගු රක්තපාත තත්ත්වයේ අවදානම් අවධියෙන් පැය 24 -48 කාලයේදී රෝගියාට සුවපත් වීමේ අවධිය උදාවෙයි.
එහිදී රෝගියා ක්‍රම ක්‍රමයෙන් සායනිකව යථා තත්ත්වයට පත්වීම, ආහාර රුචිය නැවත ඇතිවීම, ජීව දත්ත අගයන් ස්ථායීවීම ( උදා. රුධිර පීඩනය නිවැරදි වීම) හෘද ස්පන්දන වේගය අඩුවීම , ඩ්ඡ්ඊ අගය අඩුවීම හෝ සාමාන්‍ය අගයට පත්වීම, මුත්‍රා පිටවීම වැඩි වීම, සම රතු පැහැ වී එහි සුදු පැහැති පලු හට ගැනීම සිදු වේ.
මෙම අවධියේදී අත් පා කැසීම ද ඇතිවිය හැක. මේ ලක්ෂණ රෝගය සුව වී ඇති බවට හොඳ සාධකයකි.
කැසීම නිසා සම තුවාල වී ආසාදනය විය හැකි බවට රෝගියා දැනුවත් කිරීම ද අවශ්‍ය ප්‍රතිකාර ඒ සඳහා ලබා දීමද රෝහලේදී කෙරෙනවා. රෝගියාගේ කැමැත්ත පරිදි සරල ආහාර වේලක් ලබා දීමද රෝගියාට පලතුරු, පලතුරු යුෂ ආදිය ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දීමද කෙරෙනවා.
මෙම අවධියේදී දේහ තරල පරිමාව වැඩි වීම නිසා ස්වසන අපහසුතා රෝගියාට ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳව ද හොඳ අවදානයකින් සිටීම වැදගත් වේ.
රෝහලෙන් නික්ම යාමට පෙර රෝගියාට මෙන්ම රෝගියාගේ ඥාතීන්ට ද රෝගියා රැකබලා ගත යුතු ආකාරය පිළිබඳව නිසි දැනුමක් ලබාදීමද කෙරෙනවා.
උණ රෝහලේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.