Eye Hospital - Colombo

Dinamina - Aarogya article - 18th December 2013


රෝගී වූ දෙනෙත් සුවපත් කරන ජාතික අක්ෂි රෝහල



ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය
ඇම්.වයි. කේ. විල්ෆ්‍රඩ්


ඇසේ පීඩනය මැනීම

ඇස් සැත්කමට පෙර ඖෂධ ලබා ගැනීම

ඇස් කණ්ණාඩි කාච සකසමින්

ඇස් කණ්ණාඩියක් ලබා දෙමින්

අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය ඒ.එල්. ධර්මරත්න රෝගියෙකු පරීක්ෂා කරමින්.

ශරීරයේ ෆ්‍රෙෂර් බැලීම

අක්ෂි කාච පරීක්ෂාවක්

ඖෂධ පරීක්ෂා කරමින්

රෝගියෙකුගේ තොරතුරු විමසමින්

































































ශී‍්‍ර ලංකාවේ පිහිටා ඇති ප්‍රධානතම අක්ෂි රෝහල ලෙස ජාතික අක්ෂි රෝහල සුවිශාල මෙහෙවරක් සිදු කරමින් සිටී. ඕනෑම අක්ෂි රෝගයකට ප්‍රතිකාර ලබාදීමට සමත් අයුරින් අක්ෂි රෝහලේ සේවාවද පුළුල් වී ඇත.
දිවයිනේ සතර දෙසින් පැමිණෙන රෝගීන්ට ගුණාත්මක සේවාවක් ලබාදීමේදී අක්ෂි රෝහල වෙතින් සිදුවන කාර්යය භාරය සුළුපටු නොවේ.
අක්ෂි රෝහලේ වර්තමාන ක්‍රියාකාරීත්වයත් අක්ෂි රෝහලෙන් සැපයෙන සේවාව පිළිබඳවත් ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඇම්.වයි. කේ. විල්ෆ්‍රඩ් මහතා අදහස් දැක්වූයේ මෙසේයි.
ජාතික අක්ෂි රෝහල අප රටේ ප්‍රධානතම අක්ෂි රෝහලයි. මේ රෝහලෙන් විදේශිකයන්ට පවා ප්‍රතිකාර ලබා දෙනවා.
මේ වනවිට ජාතික අක්ෂි රෝහලේ සියලුම සේවාවන් නවීන තාක්ෂණයට අනුව හැඩගැසෙමින් පවතිනවා. මේ නිසා රෝගීන්ට ඉතා විශ්වසනීය සේවාවක් ලබාදීමට හැකියාව ලැබී තිබෙනවා.
විශේෂයෙන්ම මෑත කාලයේදී අක්ෂි අනතුරු සඳහා හදිසි අනතුරු අංශයක් රෝහල තුළ ස්ථාපිත කිරිමට හැකි වුණා. මේ සඳහා අප රජයෙන් මුදල් ලබා ගත්තේ නැහැ. පෞද්ගලික දානපතියෙකු ඒ සඳහා වැය වූ සම්පූර්ණ වියදම දැරුවා.
ඒ වගේම ශ්‍රී ලංකාවේ රජයේ රෝහලක දැකිය හැකි ප්‍රථම සහ එකම රසායනාගාරය වන මෙඩ්ලැබ් නැමති රසායනාගාරයක් විවෘත කළා. මේ රසායනාගාරයේදී වෛද්‍යවරුන්ට අක්ෂි ශල්‍ය කටයුතු සඳහා පශ්චාත් උපාධි අවශ්‍ය කෙරෙන පුහුණුව ලබා දෙනවා.
ඒ වගේම ඕනෑම පුද්ගලයෙකුගේ ඇසේ පීඩනය නොමිලේ බලා ගැනීමට අවශ්‍ය කෙරෙන නවීන තාක්ෂණික උපකරණ සහිත ඒකකයක් ද ඇති කළා.
ඇසේ පීඩනය බලා ගැනීමත් රුධිර පීඩනය (ෆ්‍රෙෂර්) බලාගැනීමත් යන කටයුතු දෙකම අක්ෂි රෝහලේදී නොමිලේම, නවීන තාක්ෂණයට අනුව දැනගැනීමේ හැකියාව තිබෙනවා.
ඒ වගේම දැනට රෝහල තුළ ක්‍රියාත්මක අක්ෂි බැංකුව හරහා ද සිදුවන්නේ ඉමහත් සේවයක්, මෙහිදී නොමිලේ කෝනියා බද්ධ කිරිම සිදු වෙනවා.
රෝහලකදී මියගිය පරිත්‍යාගශීලී ඕනෑම කෙනෙකුගේ ඇසේ කෝනියා ලබා ගැනීමද කෙරෙනවා. මේ ඒකකය ආරම්භ කළේ අක්ෂි විශේෂඥ වෛද්‍ය චරිත් ෆොන්සේකා මහතායි.
ඒ වගේම ඇස් කණ්ණාඩි නොමිලේ ලබාදීම සඳහා ඇස් කණ්ණාඩි සැකසීමේ මධ්‍යස්ථානයක් රෝහල සතුව පවතිනවා. මෙහිදී නිෂ්පාදනය කෙරෙන ඇස් කණ්ණාඩි අඩු ආදායම් ලාභීන්ට නොමිලේ ලබා දෙනවා. විශේෂයෙන්ම පසුගිය කාලයේ මාධ්‍යවේදීන්ටත්, අක්ෂි රෝහල මඟින් සිදු කළ අක්ෂි සායනවලදීත්, හඳුනාගත් අක්ෂි දුර්වලතා ඇති රෝගීන්ට නොමිලේ ඇස් කණ්ණාඩි ලබාදීම සිදු කළා.
විශේෂයෙන්ම මේ සේවාවන් බොහොමයක් සඳහා දානපතියන්ගේ සහාය ලැබෙනවා. ඒ වගේම ඉදිරියේදීත් ජාතික අක්ෂි රෝහල සඳහා ඕනෑම කෙනෙකුගේ පරිත්‍යාග බාර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා.
මේ රෝහලට දැනට ශී‍්‍ර ලංකාවේ සෑම පළාතකින්ම රෝගීන් පැමිණෙනවා. දවසකට රෝගීන් 2500ක් පමණ පැමිණෙනවා. මේ සෑම රෝගියෙකුටම අවශ්‍ය පහසුකම් උපරිමයෙන් ලබා දෙනවා.
ඒ සඳහා සමස්ත කාර්ය මණ්ඩලයම හොඳ කැපවීමකින් කටයුතු කරනවා.
ජාතික අක්ෂි රෝහල හැටියට අපි ඇසේ ඇතිවන සෑම රෝගයකටම විශේෂඥ ප්‍රතිකාර ලබා දෙනවා. ඒ වගේම සෑම ශල්‍ය කර්මයක්ම මේ රෝහලේදී සිදු කරනවා. රෝගියෙක් රෝහලට පැමිණි පසු පළමුව බාහිර රෝගී අංශයේ ඇති සායනයේ ලියාපදිංචි කිරීමෙන් පසු රෝගියාට
 අවශ්‍ය සියලුම ප්‍රතිකාර නොමිලේ ලබා දෙනවා. විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර මෙන්ම ශල්‍ය ප්‍රතිකාර ද මේ යටතේ රෝගියාට ලැබෙනවා.
ඇසේ සුද ඉවත් කිරීම, ඇසේ ෆ්‍රෙෂර් එකට ප්‍රතිකාර කිරීම වගේම වෘත්තීය මට්ටමේදී ඇසට ඇතිවන හදිසි අනතුරු සඳහා මෙන්ම ප්‍රාථමික මට්ටමේ අක්ෂි රෝග සඳහාත් මෙහිදී ප්‍රතිකාර ලබාගත හැකි වෙනවා.
අක්ෂි රෝහල මූලිකත්වය ගෙන රටපුරා රජයේ ආයතනවල වැඩ බිම්වල සේවක සේවිකාවන් සඳහා නොමිලේ අක්ෂි සායන පැවැත්වීමට අප දැනටමත් කටයුතු ආරම්භ කර තිබෙනවා.
ඒ වගේම අප රෝහලේ විශේෂඥ වෛද්‍යවරු නොමිලේ විවිධ පළාත්වල අක්ෂි සායන පවත්වනවා. එහිදී හඳුනාගන්නා අක්ෂි දුර්වලතා ඇති රෝගීන්ට වැඩිපුර ප්‍රතිකාර අවශ්‍ය නම් අක්ෂි රෝහලට යොමු කිරීමත් කෙරෙනවා.
නේවාසික රෝගීන් ලෙස දිනකට රෝගීන් 70ක් පමණ ඇතුලත් වෙනවා. ඔවුන්ට අවශ්‍ය සියලුම ප්‍රතිකාර නොමිලේ ලබා දෙනවා.
විශේෂඥ අක්ෂි වෛද්‍යරුන් 9දෙනෙක් ඉන්නවා. ඒ වගේම විශේෂිත සේවා ලබාදෙන විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනෙක් ඒ අතර සිටිනවා. සාමාන්‍ය වෛද්‍ය කාර්ය මණ්ඩලය 125ක් සිටිනවා.
ජාතික අක්ෂි බැංකුවේ තොරතුරු ලබා ගැනීමට දුරකථන අංක 0112672626 ට අමතන්න.


Dinamina - Aarogya article - 04th August 2010


ලොව දකින නෙතු පාදන කොළඹ ජාතික අක්ෂි රෝහල


සෑම සත්ත්වයෙකුටම පෙනීම ඉතා වැදගත්ය. පෙනීම නොමැති කල බොහෝ දෙනා අසරණ වෙති. පෙනීම ඇතිවිට ඇසෙහි වැදගත්කම නොදැණුනද, පෙනීම අඩුවෙද්දී ඇස තරම් වටිනා ඉÁද්‍රියක් තවත් නැතැයි සිතේ. ඇසට අනතුරක් සිදුවූ විට ඇස් රෝහල නිතැතින්ම සිහියට එනුයේ එබැවිනි.
ඒ නිසාම අපි කොළඹ අක්‍ෂි රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා හමුවුණා.
ජාතික අක්‍ෂි රෝහලට වසර 105ක ඉතිහාසයක් තියෙනවා. ජනතාවගේ දෑස සහ පෙනීම හොඳ ගුණාත්මක තත්ත්වයට පත් කිරීම අපේ ඒකායන ප්‍රාර්ථනයයි. ඒ වෙනුවෙන් බාහිර රෝගී අංශය. සායන, අනෙකුත් විශේෂ ප්‍රතිකාර ඒකක, නේවාසික ප්‍රතිකාර, ශල්‍යගාර, රසායනාගාර රෝහලේ පිහිටුවා තිබෙනවා. එපමණක් නොවෙයි, අක්‍ෂි රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන්, අක්‍ෂි තාක්‍ෂණවේදීන් හෙද හෙදියන් හා අනෙකුත් සේවකයින් පුහුණු කිරීමද කෙරෙනවා.
ඇසේ ප්‍රධාන කාර්ය වන්නේ, අක්‍ෂි රෝගීන් සුවපත් කිරීමයි. ඒ සඳහා අපේ කාර්ය මණ්ඩලයට මනා පුහුණුවක් ලබාදී තිබෙනවා. විශේෂඥ වෛද්‍යවරු 09ක් රෝහලේ සේවයට යොදවා ඉන්නවා. දුර දෘෂ්ටිකත්වය හා අවිදුර දෘෂ්ටිකත්ව පරීක්‍ෂාව හා ලේසර් යන්ත්‍ර ආශි‍්‍රත සිදුකරන පරීක්‍ෂා සඳහා අක්‍ෂි තාක්‍ෂණවේදීන් ඉන්නවා.
කොළඹ අක්‍ෂි රෝහලේ අධ්‍යක්‍ෂ
වෛද්‍ය සිසිර ලියනගේ
වෛද්‍යවරු අක්‍ෂි රෝගීන් පරීක්‍ෂා කරලා, අක්‍ෂි තාක්‍ෂණවේදීන්ට යොමු කරනවා. ඔවුන් සිදුකරන ඇසේ තත්ත්ව පරීක්‍ෂාවෙන් පසු, වෛද්‍යවරු අදාළ රෝගී තත්ත්වයට බෙහෙත් නියම කරනවා. ඇසේ ඇතිවන වපරය පරීක්‍ෂා කර අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමද මේ රෝහලෙන් කෙරෙනවා. ඇසට අවශ්‍ය ව්‍යායාම් හෝ ශල්‍යකර්ම අවශ්‍ය නම් ඒ සියල්ලත් මෙහි සිදුකරනවා.
පෙනීම අඩු රෝගීන්ට පෙනීම ලබාදීමට නොහැකි අවස්ථා ඇතිවන්න පුළුවන්. එවැනි අවස්ථාවකදී පෙනීම අඩු නිසා දෛනික ජීවිතයේ වැඩ කටයුතු කරගෙන යන ආකාරය පුහුණු කිරීමත්, සමාජ සේවා ආයතනයකට හෝ උදවු ලබා ගතහැකි රාජ්‍ය නොවන අයතනයකට රෝගියා යොමු කර රෝගියා පුනරුත්ථාපනය කිරීමට අවශ්‍ය සහායත් ලබා දෙනවා.
ශල්‍යාගාර 6ක් තියෙනවා. වසරකට අක්‍ෂිවල රෝගී තත්ත්ව සඳහා ප්‍රධාන සැත්කම් විසි දහසක් පමණත්, සුළු සැත්කම් පහළොස් දහසක් පමණත් කෙරෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශය මඟින් ක්‍රියාත්මක දැක්ම 2020 වැඩ සටහන හා නාරාහේන්පිට පාසල් සෞඛ්‍ය ඒකකය සමඟ එක්ව, කොළඹ පාසල්වල අක්‍ෂි ආබාධ තියෙන ළමයින් සඳහා ප්‍රතිකාර ලබාදීමේ වැඩසටහනක් මේ රෝහල මූලික කරගනිමින් ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා අපේ රෝහලේ වෛද්‍යවරුන්, අක්‍ෂි තාක්‍ෂණවේදීන් යොදවලයි ඉන්නේ.
අපේ රෝහලේ අලුතින් ආරම්භ කළ ඇස් කණ්ණාඩි නිෂ්පාදනය කිරීමේ ඒකකය නිසා අඩු ආදායම්ලාභී අක්‍ෂි රෝගීන්ට සහනයක් ලැබෙනවා. මේ ඒකකයෙන් නිෂ්පාදනය කරන ඇස් කණ්ණාඩි, අක්‍ෂි ආබාධ සහිත රෝගීන්ට නොමිලේ ලබා දෙනවා.
ඇසේ සුද ඇතිවීම අද තියෙන ප්‍රධාන ගැටලුවක්. ඇසේ සුද, අන්ධභාවය ඇතිවෙන්න ප්‍රධාන හේතුවක්. සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම වසරකට නව දහසක් පමණ මේ රෝහලේ කෙරෙනවා.
රෝගීන්ගේ ඇසට දමන කාචවල විශාල හිඟයක් තියෙනවා. විවිධ ආයතන අපට කාච ලබාදෙන්න ඉදිරිපත් වෙලයි ඉන්නේ. ඒත් ඒ ප්‍රමාණය බොහෝවිට මදි. ඒ නිසා පරිත්‍යාගශීලි ආයතනවලින් අපි ඉල්ලන්නේ, අක්‍ෂි කාච ලබා දෙන්න ඉදිරිපත් වෙන්න කියලා. දැනටමත් එවැනි පරිත්‍යාගශීලි ආයතන රැසක් අප සමඟ එක්වෙලයි ඉන්නේ.
මේ කාචයක් රුපියල් දොළොස් දහසක් පමණ වෙනවා. ඒ නිසා එතරම් මුදලක් යොදවා කාච ලබා ගැනීම රජයකට අපහසුයි. මිල අඩු කාච තිබෙනවා. ඒත් වැඩි ඉල්ලුමක් ඇත්තේ ඇසේ තිබෙන කාචය සියුම්ව ඉවත්කර, ඇසට මැහුම් නොදා, ඇසට දැමිය හැකි මිල වැඩි කාචවලටයි.
කාච ලබා ගැනීමට බැරි අඩු ආදායම් ලාභීන් සඳහා, පරිත්‍යාගශීලීන් රෝහලට ලබාදුන් කාච අපි ලබා දෙනවා.
මෙහිදී අඩු ආදායම් ලාභියෙක් බවට ග්‍රාම සේවක සහතික කළ යුතුයි. අඩු ආදායම්ලාභියෙක් කියලා කාචයක් ගන්න වත්කමක් නැහැ කියන එක, ග්‍රාම සේවක ප්‍රාදේශීය ලේකම් මඟින් සහතික කරලා තියෙන්න ඕන. සමෘද්ධි ලාභියෙක් කියලා ඔප්පු කිරීමත් ප්‍රමාණවත්.
විශේෂඥ වෛද්‍යවරයා කාචය නිර්දේශ කළාට පස්සේ, අපේ අනුමැතිය යටතේ ශල්‍ය කර්මයක් මඟින් ඇසට කාචය දැමීම කරනවා. මේ සියල්ල අක්‍ෂි රෝහලෙන් නොමිලේ සිදු කරන්නේ.
අඩු මිල කාච බද්ධ කිරීමත් අපි කරනවා. එහිදී ඇසේ කැපුමක් දැමිය යුතුයි. ඒත් එවැනි කාච බද්ධ කිරීම් අපි සාර්ථකව කරනවා. ඒ නිසා කවුරු හරි සල්ලි නැහැ කියලා අන්ධභාවයට පත් වෙන්න අවශ්‍ය නැහැ. මේ රෝහලට ආවනම්, අපි කොහොම හරි කාචයක් දාලා පෙනීම ලබාදීලයි යවන්නේ, මේ කාර්යයේදී අක්‍ෂිදාන සංගමයෙනුත් අපිට විශාල සේවයක් ලැබෙනවා. මේ රෝහල ආශි‍්‍රතව සපයන තවත් සේවාවන් තමයි, පැය 24 පුරා ක්‍රියාත්මක හදිසි අනතුරු සේවය, දියවැඩියා සහ ග්ලූකෝමා රෝගීන් සඳහා විශේෂ අක්‍ෂි පරීක්‍ෂාව, පසු ශල්‍ය රෝගීන් සඳහා දෘෂ්ටි පරීක්‍ෂාව, ඇස් කණ්ණාඩි සඳහා දෘෂ්ටි පරීක්‍ෂාව, රැකියා සඳහා අක්‍ෂි යෝග්‍යතා සහතික නිකුත් කිරීම, ජංගම අක්‍ෂි සායන පැවැත්වීම.
සැමට සමාන සෞඛ්‍ය පහසුකම් ලැබිය යුතුයි යන්න ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගත් දෙයක්. සමහර රටවල සෞඛ්‍ය පහසුකම් එසේ ලැබෙන්නේ නැහැ. අපේ රටේ සෞඛ්‍ය සේවාව නොමිලේ සපයන නිසා සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීමේදී සමානතාව රැකෙනවා.
දකුණු ආසියාවේ හොඳ ම අක්‍ෂි සේවය සපයන ආයතනය බවට පත්වීම අපේ දැක්ම වෙනවා. අපේ මෙහෙවර ශ්‍රී ලංකාවේ ප්‍රධානම අක්‍ෂි රෝහල හැටියට මෙහි පැමිණෙන සැමට සතුටුවිය හැකි ආකාරයේ සේවයක් සැපැයීමයි. අපි ඒ සඳහා රෝහල් කාර්ය මණ්ඩලය සූදානම් කරලයි තියෙන්නේ.

අක්ෂි සායනයට යමු

ජාතික ඇස් රෝහලේ විශේෂඥ ප්‍රතිකාර ලබාගත හැකි දිනයන්
ඔබේ දෙනෙත් ආරක්ෂා කර ගැනීමට අපෙන් සහාය


කොළඹ ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂවෛද්‍ය සිසිර ලියනගේ
දෙනෙත් ආරක්ෂා කර ගැනීම සඳහා අපි වැඩිසැලකිල්ලක් දක්වන්නේ දෙනෙත් වල ඇති වටිනාකම දන්නා නිසයි. එහෙත් අපි නොසිතූ මොහොතක හෝ වයස්ගත වත්දීත් උපතේදීමත් අපේ ඇස් වලට විවිධ ආබාධ අනතුරු සිදුවිය හැකියි.
කෙසේ වුවත් මේ දෙනෙත් රැක ගැනීමට අපට විශාල මෙහෙවරක් ලබා දෙන අක්ෂි රෝග විශේෂඥ වෛද්‍යවරුන් බොහෝ රෝහල්වල සිටිනවා.
ශ්‍රී ලංකාවේ ජාතික අක්ෂි රෝහල දැයේ මිනිසුන්ගේ දෙනෙත් පෑදීමේ කාර්යයේ දී සිදු කෙරෙනුයේ අති විශාල මෙහෙවරකි. ශ්‍රී ලංකාවේ දසත පැතිරී සිටින ඕනෑම අයෙකුට ජාතික අක්ෂි රෝහලේ සේවාවන් ලබා ගැනීමේ හැකියාව පවතිනවා.
ඇසේ සුද ඉවත් කිරීම, කාච දැමීම, ඇස් කණ්ණාඩි නොමිලේ ලබා දීම වගේම ඇසට සිදුවන ඕනෑම අනතුරක දි ශල්‍යකර්ම සිදු කිරීම මෙන්ම ඕනෑම අක්ෂි රෝගයක් සඳහා ජාතික අක්ෂි රෝහලේ දී නිසි ප්‍රතිකාර ලබා දෙනවා.
අක්ෂි රෝහලේ සේවාවන් උදෑසන 8.00 සිට රාත්‍රී 8.00 දක්වා සිදු කරනවා. ජාතික අක්ෂි රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් හමු වී අදාළ අක්ෂි රෝගයට නිසි ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ආරෝග්‍යා පාඨකයින් හට අවශ්‍ය දැනුම ලබා දීම මේ ලිපියේ අරමුණයි.
කොළඹ අක්ෂි රෝහල පිහිටා ඇත්තේ කොළඹ 07 රෝහල් චතුරස්‍රයේයි. ඇස් වාට්ටුව ලෙස බොහෝ දෙනා මෙය හඳුන්වනවා. කොළඹ කොටුවේ සිට මාර්ග අංක 120, 122, 138, 170, 190 යන ඕනෑම බස් රථයක ගොස් ඇස් වාට්ටුව අසලින් බහින්න ඔබට පුළුවන්.
ජාතික අක්ෂි රෝහලේ විශේෂඥ වෛද්‍ය සායන සතියේ සඳුදා සිට සෙනෙසුරාදා දක්වා සතියේ දින 06ක්ම උදේ 8.00 සිට දහවල් 12.00 දක්වා ඔබ වෙනුවෙන් විවෘතව පවතිනවා.
මේ දිනයන් හිදී ඔබට අවශ්‍ය අක්ෂි විශේෂඥ වෛද්‍යවරයා හමු වී ඔබේ රෝගය පරීක්ෂා කර ගැනීමට අවස්ථාව උදාකරගත හැකි වෙනවා.
ප්‍රථමයෙන් අක්ෂි රෝහලේ දී බාහිර රෝගී අංශය වෙත පැමිණෙන රෝගීන්, අවශ්‍යතාවය අනුව වෛද්‍ය නිර්දේශය මත විශේෂඥ වෛද්‍යවරුන් වෙත යොමු කිරිම කෙරෙනවා.
සඳුදා බදාදා සිකුරාදා යන දිනවල දී වෛද්‍ය චරිත් ෆොන්සේකා, වෛද්‍ය මුදිතා කුලතුංග, වෛද්‍ය චම්පා බානගල, වෛද්‍ය වාසුකී ගුරුසාමි යන අක්ෂි විශේෂඥයින් හමුවිය හැකියි.
අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සෙනෙසුරාදා යන දිනවලදී හමුවිය හැකි අක්ෂි විශේෂඥයින් වන්නේ වෛද්‍ය මානෙල් පැස්කුවල්, වෛද්‍ය මංගලා ගමගේ, ඒ. එල්, ධර්මරත්න යන අයයි. සිකුරාදා උදෑසන පැවැත්වෙන සායනය සඳහා අක්ෂි විශේෂඥ වෛද්‍ය වාසුකී ගුරුසාමී මහත්මිය සහභාගි නොවේ.
ජාතික අක්ෂි රෝහලේ අක්ෂි පරීක්ෂා කිරිම අක්ෂි කාච ලබා දීම, ඖෂධ ලබා දීම, ඇසේ සුද ඉවත් කිරීම ඇතුළු සියලුම වෛද්‍ය සේවාවන් නොමිලේ ඔබට ලබා දීම සිදු කරනු ඇත. මේ පිළිබඳ වැඩි යමක් දැන ගැනීම සඳහා
දුරකථන අංක 011 - 2693911 දිගුව 912 - 913 - 914 - 915 ඇමැතිය හැකියි.

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.