Base Hospital - Avissawella

Dinamina Aarogya article - 3rd November 2010


ආදර්ශ මූලික ප්‍රතිකාර ඒකකයක් සහිත අවිස්සාවේල්ල මූලික රෝහල



නිරෝගී ජීවිතයක් ගත කරන්නට ලැබීම තරම් වාසනාවක් මෙලොව නැත. ඒ සඳහා හොඳ සෞඛ්‍ය පුරුදු පුහුණු විය යුතුය. එවිට මෙරට රෝහල් සඳහා ඇතුලත් වන රෝගී සංඛ්‍යාව ද අඩුවනු ඇත.
රෝගීන්ට උපරිම සේවාවක් සැපයීම සඳහා කැපවී සිටින අවිස්සාවේල්ල මූලික රෝහල පිළිබඳව එහි අධ්‍යක්ෂ ඒ. එල්. ෆරීඩ් මහතා අදහස් දැක්වූයේ මෙසේයි.
මේ රෝහල සියලු පහසුකම්වලින් සමන්විත රෝහලක්. විශේෂඥ වෛද්‍ය සේවය, බාහිර රෝගී අංශය, රසායනාගාර අංශය, ශල්‍යාගාර පහසුකම්, සූතිකාගාර මේ අතර ඉතා වැදගත්.
බාහිර රෝගී අංශය උදේ 8 සිට සවස 4 දක්වා ක්‍රියාත්මකයි. වෛද්‍යවරු 12 දෙනෙකුගේ සේවාව මේ සඳහා ලබාගන්නවා. බාහිර අංශයට පැමිණෙන රෝගීන්ට පළමුව තුණ්ඩු ලබාදෙනවා. අංක පිළිවෙළට වෛද්‍යවරුන් හමුවට යැවෙනවා.
වෛද්‍ය පරීක්ෂණවලින් පසු ඖෂධහලෙන් නොමිලේ බෙහෙත් ලබාගෙන යාහැකියි. සාමාන්‍ය අමාරු තත්ත්වයේ රෝගීන් මූලික ප්‍රතිකාර ඒකකයට යොමුකරනවා. අමාරු තත්ත්වයේ රෝගීන් නේවාසික ප්‍රතිකාර සඳහා යොමුකරනවා.
මේ රෝහලේ මූලික ප්‍රතිකාර ඒකකය කොරියන් රජයේ ආධාර යටතේ පවත්වාගෙන යන ආදර්ශ මූලික ප්‍රතිකාර ඒකකයක්. මේ ඒකකයේ ඇදන් 40ක් තිබෙනවා. බාහිර ප්‍රතිකාර ඒකකයට පැමිණෙන රෝගීන්ගෙන් තෝරාගත් පිරිසක් පැය කීපයක් නවත්වාගෙන ප්‍රතිකාර ලබාදීම මෙහි දී කෙරෙනවා.
මේ රෝගීන් නේවාසික ප්‍රතිකාර ලබාදිය යුතු තත්ත්වයේ නැතත් පැය කීපයක් ප්‍රතිකාර කිරීමෙන් පසු නැවත සොයා බැලිය යුතු රෝගීන් ලෙසයි වෛද්‍යවරු සලකන්නේ. ඒ නිසා රෝහලේ නේවාසික නොකොට ප්‍රතිකාර ලබාදී මෙවැනි රෝගීන් නිවෙස් කරා යැවිය හැකියි.
මේ නිසා අනවශ්‍ය ලෙස රෝගීන් නේවාසික වීමෙන් ඇති වන ඉඩකඩ ඇහිරීයාම වැලකුණා. එලෙසම රෝගියාගේ පවුලේ අය පීඩාවට පත්වීමත් අනවශ්‍ය වියදම් සිදුවීමත් නතර කළ හැකිවුණා.
මේ ඒකකය පැය 24 පුරාම ක්‍රියාත්මකයි. විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාරත් හදිසි ප්‍රතිකාරත් මෙහි දී ලැබෙනවා. රෝගියාගේ ඥාතියෙක්ට නැවතී සිටීමට අවස්ථාවක් ලබා දෙනවා. කොරියන් විශ්වවිද්‍යාලයක් මේ ඒකකය සමඟ සම්බන්ධව කටයුතු කරනවා. කොරියාවේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවාවන් මේ ඒකකයේ දී රෝගීන්ට ලබාදීමට හැකි වුණා.
ඒ වගේ ම මේ ඒකකයේ වෛද්‍යවරු, හෙදකාර්ය මණ්ඩලය කොරියාවේ පුහුණුවීම් සඳහා යොමු කෙරෙනවා. මාසයකට මූලික ප්‍රතිකාර ඒකකයට එන රෝගීන් ගණන 6000ක් පමණ වෙනවා. ඉන් 3000ක් පමණ ප්‍රතිකාර ලබා කඩිනමින් නිවෙස්කරා යනවා අනික් රෝගීන් නේවාසික ප්‍රතිකාර සඳහා යොමු කෙරෙනවා.
මේ රෝහලේ පිළිගැනීමේ අංශයෙන් ඕනෑම අයෙක් ට රෝහලේ විස්තර දැනගන්න පුළුවන්. පැය 24 පුරාම හෙදියකගේ සේවය මේ සඳහා ලැබෙනවා. මේ ස්ථානයේ ට්‍රොලි, රෝදපුටු සියල්ල තියෙනවා. හදිසි රෝගීන් සඳහා අපේ කාර්ය මණ්ඩලය විශේෂ පහසුකම් සලසනවා.
රෝහලේ තත්ත්ව පාලන අංශය මඟින් ගුණාත්මක සේවාවක් ලබාදීම සඳහා සේවකයිනට පුහුණුවීම් ලබාදෙනවා. රෝහලේ නඩත්තු කටයුතු කරන්නේ අපේ සේවකයන්. මේ නිසා රෝහලේ අලුත්වැඩියාවලට යන අමතර වියදම අඩුවුණා.
කොළඹ, රත්නපුර, කෑගල්ල, කළුතර දිස්ත්‍රික්ක 4ක ජනතාව සඳහා මේ රෝහලෙන් ප්‍රතිකාර ලබාදෙනවා. මේ හැම රෝගියෙක්ට ම අපේ කාර්ය මණ්ඩලය ඉතා හොඳින් සලකනවා.
බාහිර ආයතන සමඟ අපි හොඳ සබඳතාවක් ගොඩ නගාගෙන තියෙනවා. BOI ව්‍යාපෘතිය යටතේ ඇති කර්මාන්ත ශාලාවල සේවකයන්ට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් රෝහල මඟින් කෙරෙනවා. එම කර්මාන්ත ශාලා මඟින් රෝහලේ කටයුතුවලට උපරිම සහායක් ලැබීමත් වැදගත්.
ප්‍රදේශයේ පාසල්වල සෞඛ්‍ය අධ්‍යාපනය සඳහාත් අපි උදව් වෙනවා. අවශ්‍ය අවස්ථාවල දී විවිධ සායන සඳහා අපේ කාර්යමණ්ඩලය යොදවනවා. කසල කළමනාකරණය මේ රෝහලේ ඉතා හොඳින් කෙරෙනවා. වෙන වෙනම වර්ග කළ අපද්‍රව්‍ය නිවැරදි ක්‍රමයකට බැහැර කිරීම රෝහලක් හැටියට අපේ වගකීමක්. රෝහලේ ආසාධිත අපද්‍රව්‍ය තිබෙනවා.
ඒවා බැහැර කළ යුත්තේ නිවැරදි ක්‍රමයකටයි. අක්ෂි රෝගීන් සඳහා වෙනම ඒකකයක් රෝහලේ පවත්වාගෙන යනවා. අඩු පෙනුම ඇති රෝගීන්ට වෙනම උපදෙස් ලබා දෙනවා. එවැනි රෝගීන්ට තමන්ගේ කටයුතු තමන්ට කර ගත හැකි ආකාරයට පත්වන තුරු ප්‍රතිකාර ලබාදීම මේ ඒකකයේ වගකීමක්.
මේ රෝහලේ මානසික රෝගී අංශයෙන් විශේෂ ප්‍රතිකාර හා පුනරුත්ථාපන වැඩසටහන් කෙරෙනවා. මේ ඒකකයට සතියකට රෝගීන් 500ක් පමණ එනවා. මානසික රෝගීන් වුවත් ඔවුන් විවිධ අංශ සඳහා දක්ෂයින්. අපි ඒවා අගය කරනවා. මානසික රෝගීන් විසින් සකසන ලද විවිධ අත්කම් ප්‍රදර්ශනයක් පැවැත්වූවා. නිවෙස්වල ඉන්න මානසික රෝගීන්ට පවා අපි ප්‍රතිකාර ලබාදෙනවා.
රැකියා නොමැති මානසික රෝගීනට වෘත්තීය පුහුණුවට අවශ්‍ය මඟ පෙන්වීම කෙරෙනවා. දීර්ඝ කාලීනව මානසික රෝග තත්ත්වයන්ගෙන් පීඩා විදින බොහෝ දෙනෙක් නිවෙස්වල ඉන්නවා. ඒ අය බලා ගැනීම ඥාතීන්ට ගැටලුවක්. ඒ නිසා අපි දහවල් කාලයේ දී එම රෝගීන් රෝහලේ නවත්වාගෙන ප්‍රතිකාර ලබා දී සවසට නිවසට යා හැකි වැඩපිළිවෙළක් සකසනවා. හැමදාම උදේට රෝහලට පැමිණ සවසට ගෙදර යා හැකි පරිදි රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම අපේ අරමුණයි.
රෝහලේ සෞඛ්‍ය අධ්‍යාපනය පිළිබඳව අදහස් දැක්වූ හෙද නිලධාරිනී ලක්මාලී කන්නන්ගර මහත්මිය.
සෞඛ්‍ය අධ්‍යාපනය පිළිබඳව ජාතික පුහුණුව ලැබූ හෙදනිලධාරිණියන් දෙදෙනෙක් මේ ඒකකයේ සේවය කරනවා.
සෞඛ්‍ය පිළිබද කාලීන මාතෘකාවක් ඔස්සේ බාහිර රෝගී අංශයේ රෝගීන් සෑම දිනකම උදෑසන 7.30 සිට 8.00 දක්වා දැනුවත් කරනවා. බොහෝ විට වසංගත රෝග පිළිබඳවත් ඉන් මිදීම සඳහා කළයුතු ප්‍රතිකර්ම ගැනත් මෙහි දී කතා කරනවා.
රෝගීන් සමඟ සංවාදාත්මක ආකාරයට මේ දැනුම්වත් කිරීම කළ හැකියි.
එහිදී රෝගීන් දන්නා දේ ගැනත් අපි විමසා ඊට අනුවයි අපි ඔවුන්ට දැනුම ලබාදෙන්නේ. මේ අංශය සමඟ වැඩකරන හෙද නිලධාරීන් දෙදෙනා බැගින් සෑම වාට්ටුවකටම අනුයුක්ත කර සිටිනවා. ඒ අය මඟින් වාට්ටුවල රෝගීන්ට සෞඛ්‍ය දැනුම ලබා දෙනවා.
රෝහලේ මහජන ඇමතුම් පද්ධතිය හරහා කෙරෙන දැනුවත් කිරීම්වලදීත් අපේ ඉලක්ක කණ්ඩායම වන්නේ බාහිර රෝගීන්.
සෞඛ්‍ය අධ්‍යාපනය ලබාදීමේ දී රෝගීන් සමඟ අපිට කථා කිරීමේ ඉඩකඩ වැඩියි. මේ අධ්‍යාපනය නිසා මිනිසුන් රෝග ගැනත් රෝග නිවාරණය ගැනත් හොඳ දැනුමක් ලබනවා.
මවුවරුන්ට වෙනම අධ්‍යාපනයක් ලබාදෙනවා. මවක් වීමට පෙර සිට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගත් මවක් වීමෙන් පසු සහ දරුවා රැකබලා ගැනීම සහ මවුකිරි කළමනාකරණය ගැනත් මෙහි දී දැනුවත් කෙරෙනවා.

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.