තැලසීමියා රෝගීන්ගේ දෙවැනි නිවහන
කුරුණෑගල තැලසීමියා මධ්‍යස්ථානය


තැලසීමියා රෝගීන්ගේ දෙවැනි නිවහන වන කුරුණෑගල රෝහලේ තැලසීමියා මධ්‍යස්ථානය පිළිබඳව විශේෂඥ වෛද්‍ය දයානන්ද බණ්ඩාර මහතා අදහස් දැක්වූයේ මෙසේයි.
තැලසීමියාව කියන්නේ දරුණු නීරක්තිතාවයක්. මේක ජානමය රෝගයක්.
තැලසීමියාව වැඩිපුරම පවතින්නේ මේ මධ්‍යස්ථානය පිහිටි වයඹ පළාත ආශ්‍රිතවයි. මේ පළාත්වල තැලසීමියා වාහක ගණත්වය වැඩියි. මේ නිසා පවුල්වල සිටිනා රෝගීන් ගණන වැඩියි.
මාසයකට වරක් තැලසීමියා රෝගීන්ට රුධිරය ලබාදිය යුතුයි. මේ කාර්යය මේ මධ්‍යස්ථානයේ දී නොමිලේ සපයනවා. මේ ලේ ලබාදීම නිසා ශරීරයේ යකඩ ප්‍රමාණය වැඩිවෙනවා. වැඩිවන යකඩ ඉවත් කිරීමත් මේ මධ්‍යස්ථානයේ දී නොමිලේ ම කෙරෙනවා.
මේ යකඩ ඉවත් කිරීම සඳහා විශේෂිත උපකරණයක් තිබෙනවා. මේ උපකරණය හරහා යකඩ ඉවත් කිරීමට වැඩි මුදලක් වියදම් වුවත් අපි නොමිලේ එම සේවාව ලබා දෙනවා. ශ්‍රී ලංකාවේ තැලසීමියා රෝගීන්ගෙන් 50% ප්‍රතිකාර ලබන්නේ මේ මධ්‍යස්ථානයෙන්.
මේ රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා ජනාධිපති අරමුදල සහ විවිධ පරිත්‍යාගශීලින් අපට උදව් කරනවා.

ජාතික තැලසීමියා මධ්‍යස්ථානය හැටියට අපි විවිධ ස්ථානවලට ගොස් දේශන පවත්වනවා. මෙහි අරමුණ වන්නේ ඉතා ඉක්මණින් තැලසීමියා රෝගය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමයි. මෙය පහසු කාර්යයක්. අවශ්‍ය වන්නේ දැනුම්වත්වීමයි.

මේ වන විට බොහෝ පිරිස් මේ මධ්‍යස්ථානයෙන් රුධිර පරීක්ෂාව කරවා ගන්නවා. මේ සේවාව නොමිලේ ඉතා කඩිනමින් ලබාදෙනවා.
සෑම සතියකම සඳුදා සිට සෙනසුරාදා දක්වා උදෑසන 8.00 සිට සවස 3.00 දක්වා මේ මධ්‍යස්ථානයේ දී රුධිර පරීක්ෂාව කෙරෙනවා.
පාසල්වලට ගොස් එහි සිටින සිසුන් ගේ රුධිර පරීක්ෂණ එම පාසලේ දී ම කරදෙනවා.
සමහර අය මේ මධ්‍යස්ථානයට එන්නේ විවාහයට හෝටල් වෙන්කර මංගල කාඩ්පත් මුද්‍රණයකර ඥාතීන්ට මංගල්‍ය දැනුම් දුන්නාටත් පසුවයි. මේ ක්‍රමය ප්‍රායෝගික නැහැ. ඒ නිසා තම සහකරුවා හෝ සහකාරිය තෝරා ගන්නට ප්‍රථම මේ රුධිර පරීක්ෂාව කරවා ගන්නවා නම් හිත්වේදනා ඇති වෙන්නේ නැහැ.

දකුණු ආසියාවේ තිබෙන විශාලතම රුධිර පාරවිලයන මධ්‍යස්ථානය හැටියට අපි දිනකට රෝගීන් 40කගේ පමණ රුධිර පාරවිලයනය කරනවා.
මේ ප්‍රතිකාර සඳහා දිනකට එක් රෝගියෙකුට රුපියල් විසි දහසක් පමණ වියදම් වෙනවා.
රෝගීන්ගේ සියලුම සුබ සාධන කටයුතු මේ මධ්‍යස්ථානයේ දී කෙරෙනවා. තැලසීමියා රෝගීන් ඔවුන්ගේ ජීවිත කාලයෙන් හරි අඩක් ගෙවා දමන්නේ මේ මධ්‍යස්ථානය තුළයි. මේ නිසා මේ මධ්‍යස්ථානය ඔවුන්ගේ දෙවැනි නිවහනයි.

මේ යකඩ මොළයේ පිටියුටරි ග්‍රන්ථියේ තැන්පත් වෙනවා. එවිට ශරීරයේ හෝර්මෝන ක්‍රියාකාරීත්වය අඩුවෙනවා. ඒ වගේ ම දියවැඩියාව හෘදයාබාධ, ගලගණ්ඩය, සිරෝසීස් වැනි රෝගාබාධ පවා නිවැරැදිව යකඩ ඉවත් නොවුණහොත් ඇතිවෙනවා.
ඕනෑම වෛද්‍යවරයෙකුට මේ මධ්‍යස්ථානයට රෝගීන් යොමුකළ හැකියි. ඉන්පසු අවශ්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර මේ මධ්‍යස්ථානයෙන් සපයනවා.
මේ මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර ලබාගත් තැලසීමියා රෝගීන් 04 දෙනෙක් උසස් අධ්‍යාපනය ලබනවා. ඒ වගේ ම 30 දෙනෙක් පමණ විවිධ රැකියාවල නිරත වෙනවා.
ඔබ ඔබේ වගකීම ඉටුකරනවා නම් ශ්‍රී ලංකාවෙන් තැලසීමියාව තුරන් කළ හැකියි. ඔබ කළ යුත්තේ විවාහයට පෙර රුධිර පරීක්ෂාවක් කරවා ගැනීමයි. මේ රුධිර පරීක්ෂාව නොමිලේ කරදීමට අපි සූදානමින් සිටිනවා. ජාතික තැලසීමියා මධ්‍යස්ථානය ශික්ෂණ රෝහල.
කුරුණෑගල දු. ක. අ. 0372222261/62, 0372233906, 0372224131
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.