Lions Sight First Hospital - Hendala

Dinamina - Aarogya Article - 12th August 2015

අසරණ රෝගීන්ට පෙනීම ලබාදෙන හැඳල සිංහ අක්ෂි රෝහල


මිනිසත්බව ලැබීම ජීවිතයේ භාග්‍යයක් කොට සැලකුව ද දෙනෙත් හැර පියා ලොව දෙස බලන්නට අපට වාසනාවක් නොමැති නම් එය අප ජීවිතයට ලබන අභාග්‍යකි. විවර වූ දෙනෙතින් අප දකින්නේ අඳුර නම් එයින් ජීවිතයට කිනම් ඵලක් ද?
වියපත් වීමත් සමඟ දෑසට අඳුර උරුම කර දීමට බලපාන ප්‍රධාන සාධකයක් වන්නේ ඇසේ සුද ඇති වීමයි. වයස අවු. 60 -70 වූ පසු කාන්තා පුරුෂ දෙපක්ෂයට වැළඳිය හැකි ඇසේ සුද සැත්කමකින් ඉවත් නොකළහොත් දෑස් අන්ධ වීම නම් කිසිසේත් වළක්වාලිය නොහැක.
දුප්පත් පොහොසත් භේදයකින් තොරව වැළඳෙන ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් සඳහා දායකත්වය ලබාදෙන අක්ෂි රෝහලක් පිළිබඳව ඔබ දැනුවත් කිරීම වඩාත් යෝග්‍ය යැයි අප සිතුවේ විශේෂයෙන්ම අසරණ මෙන්ම අඩු ආදායම් ලාභීන්ගේ හිත සුව පිණිසම වෙන්වූ මෙම අක්ෂි රෝහලෙන් අසරණ ඔබට සුළු මුදලකින් ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම කරගත හැකි වීමයි. වත්තල හැඳල හේකිත්ත පාරේ අංක 35 දරණ ස්ථානයේ පිහිටා ඇති හැඳල සිංහ අක්ෂි රෝහලෙන් වඩාත්ම සිදුවන්නේ ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම්ය. එයට සමගාමීව අක්ෂි රෝග අක්ෂි ගැටලුවලට ද ප්‍රතිකාර කෙරේ. අක්ෂි රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය කණ්ඩායමක් විසින් ප්‍රතිකාර කෙරෙන අතර සිංහ දිස්ත්‍රික් 306 B1 කාණ්ඩයට මෙම රෝහල අයත් වේ.
වෛද්‍ය ලලිත් මල්ලිකාරච්චි, වෛද්‍ය දීපනී වේවැල්වල, වෛද්‍ය නලින්ද සමරකෝන්, වෛද්‍ය ජේ.ඩී. ඩයස්, වෛද්‍ය චායා සමරසිංහ නැමැති අක්ෂි රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය කණ්ඩායම විසින් අක්ෂි පරික්ෂාවට ලක් කොට අවශ්‍ය අයට ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් සිදු කෙරේ. සැත්කම් කටයුතු සඳහා සහායට වෛද්‍ය අහමඩ් ජෙසා, වෛද්‍ය ස්වර්ණා, වෛද්‍ය ලලිත් සහාය වෙති. සඳුදා, අඟහරුවාදා, බදාද යන දිනයන්හි උදේ 9.00 සිට සවස 4.00 දක්වා රෝගීන් පරීක්ෂා කෙරෙන අතර බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල රෝගීන් පරීක්ෂා කෙරෙනුයේ උදේ වරුවේ පමණි.
ඇසේ සුද ඉවත් කිරීමට පෙර රුධිර ගත සීනි පරීක්ෂාව, ECG පරීක්ෂාව සිදු කොට ඇස SCAN පරීක්ෂාවට බඳුන් කොට සැත්කමට භාජනය කෙරේ. මෙම රෝහලෙන් රෝගීන්ට ලැබෙන පහසුකමක් වනුයේ සැත්කම් සඳහා ඇතැම් රෝහල්වල අවුරුදු මාස ගණන් පෝලිමේ සිටීමට සිදු වෙතත් මෙම රෝහලේ සැත්කම් සඳහා මාස ගණන් පෝලිම් නොතිබීමයි. රෝගියා පරීක්ෂා කොට අතුරු ආබාධ නොමැති නම් ඉතා කෙටි කාලයක් (සතියක් 2ක් ඇතුළත) සැත්කමට රෝගියා භාජනය කෙරේ.
ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම සඳහා වැය වන්නේ විනාඩි 10ක පමණ කෙටි කාලයක් වන අතර සැත්කම අවසාන වී පැය 2කට පසුව රෝගියාව නිවසට යා හැකි තත්ත්වයකට රෝගියා පවතින බව අපට පැවසුවේ හැඳල සිංහ අක්ෂි රෝහලේ අක්ෂි රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ලලිත් මල්ලිකාරච්චි මහතාය. ජාත්‍යන්තර සිංහ සමාජයෙන් ලැබෙන ආධාර මත පවත්වාගෙන යන මෙම සිංහ අක්ෂි රෝහල ආරම්භ කළේ 2005 වසරේදීය. එහි නිර්මාතෘ සිංහ වෛද්‍ය රොහාන් පෙරේරා මහතාය. එවකට දිස්ත්‍රික් සිංහාධිපති ලෙස කටයුතු කළ ඔහුගේ ව්‍යායාමයේ ප්‍රතිඵලයක් ලෙස අසරණ අඩු ආදායම් ලාභීන් වෙනුවෙන් මෙම රෝහල විවර විය.
පුරා වසර 3ක් ප්‍රතිකාර සහ ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් නොමිලේ සිදු කෙරුණු අතර වර්තමානයේ එහි නඩත්තුව පිණිස පමණක් ඉතා සුළු මුදලකට සැත්කම් සිදු කෙරේ. රෝගියා අසරණ අඩු ආදායම් ලාභියෙකු බවට ග්‍රාම සේවක සහතික කෙරේ නම් සිංහ සමාජයේ යම්කිසි පුද්ගලයෙකුගේ දායකත්වය ලබා දෙන්නේ නම් සැත්කම් නොමිලේ සිදු කෙරෙනු ඇත. එසේ නොවන රෝගීන්ට ඉතා අඩු මුදලකට කාච මිලදී ගත හැකි අතර සැත්කම් කිරීම සැත්කමින් පසුව ලබාදෙන ඖෂධ ද එයට ඇතුලත් වේ.
මෙහි තිබෙන ඖෂධහල මඟින් අක්ෂි දෝෂ සඳහා ලබාදෙන ඖෂධ වට්ටම් සහිතව ලබාගත හැක. වර්තමානයේ මෙම අක්ෂි රෝහලේ සභාපතිත්වය දරන්නේ සිංහ වෛද්‍ය මැල්කම් ස්ටැනිස්ලෝස් මහතාය. ඔහුගේ ප්‍රධානත්වයෙන් භාරකාර මණ්ඩලයක් යටතේ මෙහි පරිපාලනය සිදු කෙරේ. උප සභාපති ලෙස කටයුතු කරන්නේ සිංහ වෛද්‍ය මොහාන් ද සිල්වා මහතාය. ලේකම් ලෙස සිංහ පි‍්‍රයනීතා පෙරේරා, භාණඩාගාරික ලෙස සිංහ කැමිලස් ප්‍රනාන්දු සහ ස්වේච්ඡාවෙන් සිය දායකත්වය ලබාදෙන සිංහ ලීලාමනී ස්ටැනිස්ලොස්, සිංහ ශිරන්ති ද සිල්වා ද කටයුතු කරති.
මෙහි පරිපාලන කළමනාකරු ලෙස කටයුතු කරන්නේ ලයනල් පෙරේරා මහතාය. රෝහල ආරම්භයේ සිට මේ වන තෙක් අක්ෂි පරීක්ෂාවන් 60000 පමණ සිදු කර ඇති අතර ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් 15000 පමණ සිදු කර ඇත.
මීට අමතරව රජයේ අනුග්‍රහය ඇතිව විෂන් 20 -20 සමඟ එක් වී කොළඹ සිට මන්නාරම දක්වා වෙසෙන ධීවර ප්‍රජාවගෙන් 400 දෙනෙකුට නොමිලේ සැත්කම් සිදු කළ අතර කොරියන් වෛද්‍යවරු පිරිසක් සමඟ සම්බන්ධ වී සැත්කම් 43 ක් ද නොමිලේ සිදු කෙරිණ.
වරින් වර අක්ෂි සායන නොමිලේ පවත්වා තෝරාගත් රෝගීන්ට නොමිලේ සැත්කම් සිදු කිරීම මෙම රෝහලෙන් සිදු කෙරෙන තවත් සත්කාරයකි.


No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.