District General Hospital - Matara

Dinamina - Aarogya article - 1st September - 2010

මාතර දිස්ත්‍රික් මහ රෝහල


පිහිටක් සොයා එන රෝගීන්ට සහනයක් ලබා දෙන්නට රජයේ රෝහල් මහත් වෙහෙසක් ගනී. නොමිලේ ලබාදෙන සෞඛ්‍ය සේවාව උපරිම ලෙස ලබා දෙන්නට වෙහෙසක් ගන්නා මාතර දිස්ත්‍රික් මහ රෝහල පිළිබඳ එහි අධ්‍යක්ෂිකා වෛද්‍ය එම්. ඒ. එස්. සී. සමරකෝන් මහත්මිය අදහස් දැක්වූයේ මෙසේයි.
මේ රෝහල දකුණු පළාතේ ප්‍රධාන රෝහලක්. වසරකට බාහිර රෝගී අංශයෙන් රෝගීන් 220000 පමණ ප්‍රතිකාර ගන්නවා. සායන සඳහා 228000 සහභාගී වෙනවා. නේවාසික ප්‍රතිකාර සඳහා ලක්ෂයක් පමණ ඇතුළත් වෙනවා. රෝහල් වාට්ටු 33කින් සමන්විත මේ රෝහලේ ඇදන් 1035ක් තිබෙනවා. පසුගිය වසරේ පමණක් ශල්‍යකර්ම 31500ක් සිදු කළා. උපත් සංඛ්‍යාව 10888 වුණා. අපිට තියෙන ප්‍රධානම ගැටලුව වන්නේ ඉඩ පහසුකම් නොමැතිවීමයි. ශල්‍යගාර 5කින් සමන්විත මේ රෝහලේ නාරි හා ප්‍රසව, මුඛ හනුක, අක්ෂි, උගුර කණ නාස සහ වෙනත් ශල්‍යකර්ම ලෙස ශල්‍යාගාර වෙන්කර තිබෙනවා. රසායනාගාර පරීක්ෂණ වසරකට ලක්ෂ තුනහ මාරක් පමණ සිදුවෙනවා.
මානසික රෝගී ඒකකය, කායික රෝග දැඩි සත්කාර ඒකකය, ශල්‍ය වෛද්‍ය දැඩි සත්කාර ඒකකය, ශල්‍යකර්ම කළ කාන්තාවන් සඳහා වෙනම වාට්ටුවක්, වසංගත රෝග වාට්ටුවක්, අධි සත්කාර ඒකකයක්, පිහිටුවා තිබෙනවා.
මේ රෝහලේ විමසීම් කටයුතු සඳහා ඉදිරිපස විමසීම් එකකයේ උදේ 8 සිට සවස 4 දක්වා හෙද නිලධාරිණියක් සේවය කරනවා. රෝගීන්ට ඕනෑම ගැටලුවක් එම ස්ථානයට යොමුකළ හැකියි.
ප්‍රීතිමත් පවුලක් ගොඩනැගීමේ පරමාර්ථ ඇතිව රෝහල මුල් කරගෙන මිතුරු පියස නමින් විශේෂ උපදේශන සේවාවක් අප ආරම්භ කළා. ආර්ථික, සමාජයීය, මානුෂික හා ශාරීරික වශයෙන් පීඩා විදින කාන්තාවන් හට මේ ඒකකයෙන් උපදේශන සැපැයෙනවා.
රෝහල් කාර්ය මණ්ඩලයෙන් ගුණාත්මක සේවාවක් ලබා ගැනීම සඳහා අපි කාර්ය මණ්ඩල පුහුණුකිරීම් සිදුකළා. ඵලදායිතා වැඩසටහන් පුහුණු කරන නිලධාරීන් රෝහලට ගෙන්වා සේවකයින්ගේ මානසික පරිවර්තනයක් ඇති කළා. පුහුණු කිරීම් තුළින් පමණයි සේවකයන්ගේ ආකල්පමය වෙනසක් ඇති කළ හැක්කේ. පුහුණුවීම්වලින් පසු සේවකයන් රෝගීන්ට ලබාදෙන සේවාවේ ගුණාත්මක වෙනසක් ඇති වී තිබෙනවා.
බාහිර රෝගී අංශය ඉතා අඩු පහසුකම් යටතේයි පවත්වාගෙන ගියේ. පෞද්ගලික ආයතනයක් මඟින් රෝහලේ බාහිර රෝගී අංශය නවීකරණය කළා.
රෝහල් සංවර්ධන අරමුදල ඉතා සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. රෝහල් කොඩි සතිය පවත්වා එහි පළමු කොඩිය ජනාධිපතිතුමන්ට පිරිනැමුවා. එහි දී ජනාධිපතිතුමා රෝහල් අරමුදල සංවර්ධනය කරන්න ගන්නා උත්සාහය නිසා ජනතාවගෙන් හා වෙනත් ක්‍රියාකාරකම්වලින් අප එකතු කර ගන්නා මුදල මෙන් දෙගුණයක් අපේ රෝහල් අරමුදලට දෙන බව ට පොරොන්දු වුණා. අපට එය විශාල ශක්තියක්.
ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා මේ අරමුදලට රුපියල් ලක්ෂ 5ක මුදලක් ලබා දුන්නා.
බාහිර අය අපට පරිත්‍යාග ලබාදෙන්නේ රෝහලේ වැඩි දියුණුව අපේක්ෂාවෙන්. ඒ වගේ ම අපි රෝහල අවට රජයේ හා පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ට සෞඛ්‍ය දැනුම ලබා දීමට කටයුතු කරනවා.
හදිසි රෝගියෙක් රෝහලට ගෙන ඒම ප්‍රමාද වීම අවම කිරීමට රෝහල මගින් විශේෂ ගිලන් රථ සේවයක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා.
රෝහලට පැමිණෙන රෝගීන් හා අනෙක් අය සෑම දිනකම උදෑසන සෞඛ්‍ය පුරුදු හා නිරෝගීභාවය පිළිබඳ දැනුවත් කිරීමකට ලක්කරනවා.
රෝහල් අධ්‍යාපන ඒකකය මඟින් රෝහලේ වෙනම කොටසක රූපවාහිනි තිර උපයෝගී කරගෙන මේ දැනුවත් කිරීම් කරනවා.
බාහිර රෝගී ඒකකයට පැමිණෙන රෝගීන්ට තුණ්ඩු නිකුත් කරනවා. එම අංකයට අනුව වෛද්‍යවරයා හමුවිය හැකියි.
බාහිර රෝගී අංශයේ දවසකට වෛද්‍යවරු 06 දෙනෙක් සේවය කරනවා. බාහිර රෝගී අංශයේ රෝගීන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා වන පරිදි තම රෝග ප්‍රකාශ කිරීමටත් වෛද්‍ය උපදෙස් ලබා ගැනීමටත් සුදුසු පරිදි වෛද්‍යවරු රෝගීන් පරීක්ෂා කරන මේසය කොටස්වලට වෙන්කර තිබෙනවා.
බාහිර රෝගී අංශය උදේ 8 සිට 12 දක්වාත් සවස 1 සිට සවස 4 දක්වාත් විවෘතව තිබෙනවා. රෝගීන් ඇතුළත් කර ගැනීම පැය 24 පුරාම සිදුවනවා. ඖෂධ ලබාදීම උදේ 7 සිට සවස 5 දක්වා ක්‍රියාත්මකයි.
මාතර බෝධි ආරක්ෂක සභාව මඟින් රෝහල් වාට්ටු කීපයක් ම පවත්වාගෙන යනවා. මිල අධික ඖෂධ ලබා ගැනීමට බෝධි ආරක්ෂක සභාවෙන් රෝගීනට පහසුකම් සපයා තිබෙනවා.

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.