Snake bite Hospital - Polhena Kelaniya

Dinamina - Aarogya article - 28th January 2015


පැය 24 පුරා රෝගීන් වෙනුවෙන් විවෘත සර්ප විෂ වෛද්‍ය රෝහල


විෂ වෛද්‍ය රෝහලේ ඉදිරිපස
ප්‍රතිකාර නොමිලේ

පරිසරයට ජීවින් බද්දයි. මේ ජීවීන් අනතුරකට පත් කරන්නේ ද තවත් ජීවීන් කොටසක් විසිනි. පරිසර හිතකාමී මේ දෙපිරිසම ජීවත්වන්නට මහත් වෙහෙසක් ගන්නේ අනතුරු උපද්‍රව වළක්වාලන්නයි. මිනිසා මේ ජිවින්ගෙන් එක් අයෙක් පමණයි. ඔවුන්ට සමහර සත්ව කොටස් කරන විපත් නිසා සිදුවන අනතුරු හා උපක්‍රම විවිධාකාරයි. ඒ අතර සර්ප කොටස් කරන කාර්ය ඔබ අප නොදන්නවා නොවේ. විෂ ඝෝර සර්ප කොටස් හා අනෙකුත් සතුන් ද රුදුරු වන්නේ ඔවුන්ගේ ඉවසීම සීමාව ඉක්මවා ගිය පසුවයි. ඔබ වික්ෂිප්ත ඇති කුමක්ද මේ කියන්නෙ කියා.
මේ රුදුරු විෂඝෝර සතුන්ගෙන් මිනිසාට වන හානියෙන් වළක්වන තැනක් ගැන වික්ෂිප්ත වූ ඔබව ගෙන යන්නයි මේ සූදානම.
කැළණි ගං මිටියාවතේ පිහිටා ඇති කුඩා උස් බිම්කඩක පොල්හේන නම් ගම මැදිකොට විෂ වෛද්‍ය රෝහල පිහිටා ඇත. සෞම්‍ය පරිසරයක අනර්ග වූ වටපිටාවකින් යුතුව, ඔබ අපට සේවය කිරීම සඳහා මේ වෙදහල විරාජමානව වැජඹෙන්නේ ශ්‍රී ලංකාවේ ඇති එකම විෂ වෛද්‍ය ඒකකය මෙය නිසා විය යුතුය. ඕනෑම අයෙකුට එහි ගියවිට මේ පැමිණ ඇත්තේ මගේ ගෙදරට යැයි සිතෙන වාර අනන්තයි.
සර්ප දෂ්ටනයක් පරික්ෂා කරමින්
කැළණිය පොල්හේනේ ඇති විෂ වෛද්‍ය රෝහල සිය වෛද්‍ය සේවාව සිදු කරනුයේ සතුන් දෂ්ටයෙන් අනතුරට පත් වූවන් සුවපත් කිරීමටයි. නමුත් සර්ප දෂ්ටය සඳහා විශේෂ වේ. මෙම රෝහල ඉතාමත් නිහඩ සේවයක් ගෙන ගියත් මින් සුවපත් වන රෝගීන් සංඛ්‍යාව අද ඉහළ ගොස් ඇති බව පැවසුවේ එහි අධ්‍යක්ෂිකා වෛද්‍යචාරිනී විනීතා කල්‍යාණි පතිරාජයි.
දවසේ පැය 24 ම සේවයට
වසරේ සෑම දිනකම පැය 24ම සර්ප දෂ්ට රෝගීන් සඳහා ඕනෑම අවස්ථාවක ප්‍රතිකාර කිරීමට ඔවුනගේ වෛද්‍ය සේවාව දීමට සැදී පැහැදී සිටියි. රැයක් දවාලක් නොතකා රෝගියාට සහනයක් වන පරිදි සියළු කටයුතු විධි විධාන යොදමින් ඔවුන්ගේ අපරිමිත සේවාව ලබා දෙන්නේ රෝගියා සුවපත් වන අතට ද ඉඩකඩ සලසවමිනි. විෂ වෛද්‍ය රෝහල නිර්මාතෘ විෂ වෛද්‍ය විශාරද පණ්ඩිත පතිරාජ අමරවංශ වෛද්‍යචාර්ය තුමා මෙය පිහිටුවා ගැනීමට ලංකාවේ දසත පැතිරී නිහඬව සේවය කළ විෂ වෛද්‍යවරු එකම ධජයකට ගෙන ඒමට 1964 ආරම්භ කළ විෂ වෛද්‍ය සංගමය යටතේ ඒකරාශි කරමිනි.
විශිෂ්ට ගණයේ වෙදකමෙන් හෙබි එහි සිටි විෂ වෛද්‍යවරුන් රජයේ ලියාපදිංචි කොට දැනුම ප්‍රායෝගිකව තව තවත් වැඩි දියුණු කොට මෙය රජයේ ලියාපදිංචි වෛද්‍ය සභාවට ගෙන යන ලදී. පසුව රටපුරා හෙළ වෙදකමේ අසිරිය දකින්නට සැමටම හැකි වුණ බව සඳහන් කළේ අදටත් ඉන් බිහිවන වෛදවරුන් නිසා සතුන්ගේ දෂ්ටනයෙන් ඇතිවන විපත්ති අවම කරන බව පෙන්වා දෙමිනි.
1978.12 වන මස 07 වන දින පොල්හේන ගම්මානයට අතිවිශේෂ විය. ඒ, වෛද්‍ය සංගමය, රෝහල හා වෛද්‍ය විද්‍යාලය යන සියළුම ආයතනයන්හි නිර්මාතෘ පණ්ඩිත පතිරාජ අමරවංශ වෛද්‍යචාර්යවරයාගේ මූලිකත්වයෙන් කැළණිය පොල්හේනේදී මෙම විෂ වෛද්‍ය රෝහල ස්ථාපිත කර විවෘත කිරීමයි.
පරමාර්ථ සහ විශේෂත්වය
ඕනෑම සතෙකුගේ දෂ්ටනයක් සඳහා මෙහිදී ප්‍රතිකාර කෙරෙනුයේ ඒ සඳහා උගත් හා අත්දැකීම්ලාභී විශේෂ වෛද්‍යවරුන් අතිනි. මෙහි අරමුණු අතර ප්‍රධාන වූයේ සර්ප දෂ්ටනයන්ට ගොදුරුවන ජනතාව එම මාරාන්තික විෂ ශරීරගත වීමෙන් සිදුවන හානිය තුරන් කර ඉන් මුදවා ගැනීමයි. මෙහි විශේෂත්වය වනුයේ මේ කිසිදු ප්‍රතිකර්මයක් සඳහා කිසිදු මුදලක් අය නොකිරීමයි.
කැළණිය පොල්හේනට පැමිණීමට පෙර මෙහි නිර්මාතෘවරයාගේ පෑලියගොඩ නිවහන තුළ නොමිලේ මෙම සර්ප දෂ්ට සඳහා ප්‍රතිකාර කර ඇත්තේ මුල් වකවානු කාලය තුළය.
සර්ප දෂ්ට විශේෂයි
ඕනෑම සතෙකුගේ දෂ්ටනයකදී ප්‍රතිකාර සිදු කළත් මෙහිදී සර්ප දෂ්ටවලට විශේෂත්වයක් දෙනු ලබයි. මෙබඳු ගණයේ ලංකාවේ ඇති එකම විෂ වෙද රෝහල ද මෙය නිසා මෙහි ව්‍යාප්තිය තවදුරටත් කර ගැනීමට වර්තමානයේ එහි පාලිකාව වන වෛද්‍යාචාරිනී විනිතා කල්‍යාණි පතිරාජගේ මූලිකත්වයෙන් වෛද්‍ය විද්‍යාලය පවත්වාගෙන යයි. විෂ වෙද රෝහලට අනුබද්ධව වෛද්‍ය විද්‍යාලය තිබීම හේතු කොටගෙන ශිෂ්‍යන් මින් ලබන ප්‍රායෝගික දැනුම මත විවිධ පළාත්වලට මෙම විෂ වෛද්‍ය ක්‍රමය බෙදා හැරීම ද සුවිශේෂි කරුණකි.
විෂ වෙද රෝහලේ ලේඛාධිකාරිනී
හා ගරු විදුහල්පතිනිය වන වෛද්‍ය
විශාරද පණ්ඩිත විනීතා කල්‍යාණි පතිරාජ
ඖෂධ නිෂ්පාදනය
මෙම රෝහල තුළ සර්ප විෂට අවශ්‍ය සියළුම බෙහෙත් වර්ග නිෂ්පාදනය කිරීම ද සිදු වේ. ඒ සඳහා වූ විශේෂිත කාර්යය මණ්ඩලයක් එම නිෂ්පාදන ක්‍රියාවලියේ යෙදේ. අවශ්‍ය ඖෂධ වර්ග දුර බැහැරින් ගෙන්වා ගැනීම අසීරු කරුණක් වූ නිසා මෑතකදී රෝහල ආසන්නයේ ඔසු උයනක් ස්ථාපිත කර ඇත.
විශේෂයෙන් මෙහි පැමිණෙන රෝගීන්
නොයෙක් වර්ගයේ සතුන් දෂ්ට කොතෙකුත් තිබුණත් මෙහි පැමිණෙන්නේ වැඩි ප්‍රමාණයක්ම ගැරඬි, කුණකටු, පොළොං වැනි සර්පයන් දෂ්ට කළවූවන්ය. ඒ වගේම බඹර, දෙබර, පත්තෑ, ගැරඬි, ගොණුසු, කඩි වැනි සතුන් දෂ්ට කල අයද පැමිණේ. ඒ අතරට නාග දෂ්ටනයට ලක් වුණු රෝගීන් ද වේ.
විෂ වෛද්‍ය රෝහල
ශ්‍රී ලංකා ආයුර්වේද විෂ වෛද්‍ය මහා සංගමය මඟින් මෙහෙයවනු ලබන මෙම රෝහලට යම් මට්ටමකින් රාජ්‍ය අනුග්‍රහය ලැබෙන බවද පැවසේ. වෛද්‍යවරුන් 10 කින් සමන්විත වේ. මේ සියළු දෙනාම රජයේ පිළිගත් විශේෂ වෛද්‍ය මණ්ඩලයක් මඟින් සේවාව සිදු වේ. සංගමයේ සභාපති වශයෙන් වෛද්‍යාචාර්ය ඩ්.අ සෝමපාල මහතා වර්තමානයේ සේවය කරයි. හෙල වෙද ගෙදර ව්‍යාපෘතිය හරහා සර්වාංග හා කැඩුම් බිදුම් රෝගවලට ප්‍රතිකාර කිරීම මෑතකදී ආරම්භ කරන ලදි.
විෂ වෛද්‍ය මඩුල්ල - වෛද්‍ය කේ.වී මල්කාන්ති, වෛද්‍ය ඩී.ඩී.පී. වීරක්කොඩි, වෛද්‍ය විනීතා කල්‍යාණි පතිරාජ, වෛද්‍ය උදිත අබේසිංහ, වෛද්‍ය පී.යූ. සමරනායක

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.