Government Ayurveda Panchakarma Hospital – Kiribathgoda

Dinamina - Aarogya hospital - 22nd July 2015


නිසි ප්‍රමිතියානුකූලව පංචකර්ම සිදුකරන කිරිබත්ගොඩ පංචකර්ම ආයුර්වේද රෝහල


කොළඹ කිව්වම අපට මතක් වෙන්නේ දුම් දමා දුවන විවිධ මාදිලියේ මෝටර් රථ ගමන් කරන මාර්ග හා අතරින් පතර නොසෙල්වී තිබෙන උස ගොඩනැඟිලියි. තැන තැන එක් රැස් වුණු කුණු ගොඩවල් වටපිටාවම ගඳ ගස්වමින් එකතු කරන ට්‍රැක්ටර් රථ තාර පාරවල් හරස් කරමින් නිතර නිතර දකින්නට ලැබෙන තවත් සුලබ දසුනක්.
නමුත් මේ වටපිටාව කොතරම් කලබලකාරී වුවත් හිතාමතාම ගහකොළ වවා ගොඩ නංවපු මනස්කාන්ත පරිසරය ද නැතුවාම නොවේ. මෙවන් වටපිටාවක් ඇති හිතාමතාම පිළිවෙලකට ගහ කොළ සමඟ සබඳකම් පවත්වන නිස්කලංක ඇහැට පි‍්‍රයමනාප බිම් කඩකටයි මේ පිවිසෙන්න.
මේ නිස්කලංක වටපිටාව ඇත්තේ කිරිබත්ගොඩ පංචකර්ම ආයුර්වේද රෝහල වටායි. මෙම පංචකර්ම රෝහල ගැන වගතුග ඔබ වෙත ගෙන ඒම මේ ලිපියේ ප්‍රධාන අරමුණයි. කිරිබත්ගොඩ නගර මධ්‍යයේ සිට 300m ක දුරින් ශ්‍රී සුදර්ශනාරාම මාවතේ පිහිටි මෙම පංචකර්ම රෝහල යාබද වන්නේ කිරිබත්ගොඩ රජයේ රෝහලටයි. තරමක් උස් බිමක ඉදිවී ඇති රෝහල වෙත පිවිසෙන විට සිත ශාන්ත බවකින් අපව වෙලා ගත්තා. සුහද ලෙස පිළිගැනීම සිදු වන ආකාරය එහි ඇති සන්සුන් බව හා භූමියේ ඇති පිහිටීම ද හොඳම නිදසුනකි.
බාහිර රෝගී අංශය
වෙනත් රෝහල්වල සේ මෙහි බාහිර රෝගී අංශයෙන් රෝගියා යොමුවිය යුතු මීළඟ පියවර ගැන සොයා බැලේ. රෝගය හොඳින් පරීක්ෂා කර බලා රෝගය අනුව ප්‍රතිකාරවලට යොමු කිරීම මෙමඟින් සිදු වේ. සමහර අවස්ථාවලදී පංචකර්මයක් අවශ්‍ය නොමැති නම් ඖෂධ පමණක් නිකුත් කිරීම කොට රෝගියාව නැවත පිටත් කර යවයි.
රෝහල
ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටියත් මෙය පාලනය වන්නේ බස්නාහිර පළාත් සෞඛ්‍ය හා දේශිය අමාත්‍යංශය යටතේවන ආයුර්වේද දෙපාර්තමේන්තුව මඟිනි.
කාර්ය මණ්ඩලය
දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනයකින් පුහුණුව ලැබූ හා විදේශ රටවල පුහුණුවලත් කාර්යමණ්ඩලයක් මෙහි සේවය කරයි. ඉන්දියාව, තායිලන්තය, ජපානය හා චීනය මෙසේ පුහුණුව ලබාගත් රටවල් වේ. වෛද්‍යවරු 5ක් හා ස්ථීර සේවක මණ්ඩලය 25කින් සමන්විතයි. 2006 ජනවාරි 21 වැනි දින ආරම්භය සනිටුහන් කළේ නියමු ව්‍යාපෘතියක් ලෙසයි. පසුව මෙම නියමු ව්‍යාපෘතිය සාර්ථක වූ නිසා 2010 වර්ෂයේදී ස්ථීර ලෙසම ආරම්භ වූයේ කිරිබත්ගොඩ මෙම භූමි පරිශ්‍රයට රැගෙන ඒමෙන් පසුවයි. ගත වූ අවුරුදු කිහිපය තුළ මෙහි දැරූ ප්‍රාග්ධන වියදම ආවරණය කර ගැනීමට හැකිවීම මෙහි ඇති විශේෂත්වයක් බව එහි කාර්යභාර නිලධාරීනිය වන වෛද්‍ය තිලානි වරුසවිතාන අප හා පැවසුවාය. රෝහලේ ප්‍රතිකාර කිරීම සතියේ දින පහේම උදේ 8 සිට සවස 4 දක්වා විවෘතව ඇති අතර සෙනසුරාදා පමණක් උදේ 8 සිට 12 දක්වා ප්‍රතිකාර කෙරේ. මෙහි නේවාසිකව ප්‍රතිකාර ලබාගත නොහැකි වී ඇත්තේ ඒ සඳහා අවශ්‍ය ගොඩනැගිලි හා අවශ්‍ය ප්‍රතිපාදන නොමැති බැවිණි. එසේම තවත් ගැටලුවක් ලෙස කාන්තා සේවිකාවන් ද හිඟයක් වී ඇති බව වෛද්‍ය තිලානි පැවසුවාය.
ප්‍රතිකාර
මෙහි සෑම පංචකර්ම ප්‍රතිකාරයක් සිදු කරන්නේ ඒ සඳහා සිටින වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය මතයි. කාන්තාවන් සඳහා ප්‍රතිකාර කිරීමට පංචකර්ම සිදු කරන්නේ කාන්තාවන් විසිනි. ඒ වගේම පිරිමින් සඳහා පංචකර්ම ප්‍රතිකාර සඳහා පිරිමි සේවකයන් යොදා තිබීම මෙම රෝහලේ විශේෂත්වයයි. රජයේ රෝහලක් බැවින් සියලුම පංචකර්ම සිදු කරන්නේ රෝගියාගේ සහ රෝහලේ ගෞරවය රැකෙන පරිදිය. එසේම රජයේ රෝහලක් වුවත් අවශ්‍ය ප්‍රතිපාදන සැලසුම් කිරීමට මෙහි පැමිණෙන රෝගීන්ගෙන් යම් සාධාරණ මුදලක් අය කෙරේ. එය රජය විසින් අනුමත කරන ලද මුදලකි.
පංචකර්ම
මෙම රෝහල මඟින් අති සාර්ථකව සිදු කරන පංචකර්ම ලෙස නස්නය, වමනය, විරේකය, වස්ති, රක්ත මෝක්ෂණය වේ. වැඩිහිටි ජනතාවට නිතර වැළඳෙන බෝ නොවන රෝග සඳහා මේ පංචකර්ම මඟින් ලැබෙන සහාය අපමණය. ඕනෑම අයෙකුට බලපාන පීනස් රෝග මෙන්ම සෙම් ආශි‍්‍රත රෝග සඳහා එනම් (බෙල්ලෙන් උඩ කොටස) ශිර්ෂ රෝගවලට නස්නය සිදු කෙරේ. වමනය හා විරේකය සිදු කරන්නේ උදරාශි‍්‍රත හා ජීර්ණ පද්ධතියේ ඇතිවන රෝග සඳහාය. මල බද්ධය, මේ සඳහා විශේෂ වේ. මෙහිදී වස්ති කර්මය ද යොදනු ලැබේ. අපවිත්‍ර වන රුධිරය ඉවත් කිරීමට මෙන්ම සන්ධි ආශි‍්‍රත රෝග සඳහා ද රක්ත මෝක්ෂණය සිදු කරයි. ඇතැම් රෝග පාලනයටත් ඇතැම් රෝග නිට්ටාවට සුව කිරීමටත් පංචකර්ම අතිශයින් ඉවහල් වේ.
මෙම පංචකර්ම සිදු කිරීමේදී ඒවා ප්‍රමිතියානුකූලව සිදු කළ යුතුව ඇත. හේතුව මේවා පංචකර්ම සිදු කිරීමට කලින් “පූර්ව කර්ම” කළ යුතුව ඇත. ඒ වගේම පංචකර්මයෙන් අනතුරුවද “පසු කර්ම” කළ යුතු බව ආයුර්වේදයේ සඳහන්. රෝගය නිට්ටාවට සුව වන්නේ එවිටයි.
ආකර්ශනය නිසා අද වාණිජ මට්ටමින් බොහෝදෙනා මෙවන් සම්භාහන ස්ථාන කරා ඇදෙති. වෛද්‍ය අධීක්ෂණයකින් තොරව තැනින් තැන සිදු කරන හතු පිපෙන්නාක් මෙන් බිහිව ඇති මෙම ඉනච පංචකර්ම මූලික කරගෙන කෙරෙන බව පැවසුවත් වෛද්‍යවරයෙකුගේ අනුමැතියක් හෝ උපදේශනයකින් තොරව සිදුවන නිසා කිසිම ප්‍රමිතියක් මෙහි දක්නට නැත.
ඒ නිසා මේ ශාස්ත්‍රයට හානි සිදුවිය හැකියි. එය ආරක්ෂා කර ගැනීම ආයුර්වේදයේ යුතුකමකි. එසේම නියමාකාරයෙන් මෙම පංචකර්ම සිදු කළ යුතු බව සලකන්න. ඒ නිසා කිසිදු වෛද්‍ය උපදෙසක් නොමැතිව පංචකර්මවලට යොමු වේ නම් ඒ සඳහා තමාගේ නිරෝගී භාවය දුරස් වීම ගැන තමා ම වගකිව යුතුව ඇත.
එසේත් නොමැතිව හතු පිපෙන්නෙක් මෙන් නගරයේ සිට ගම දක්වා සංක්‍රමණය වී ඇති සම්භාහන ආයතනවලින් පංචකර්ම සිදු කිරීමෙන් නම් රෝගීන්ටවත් නිරෝගී සුවය අපේක්ෂා කරන අයටවත් කිසිදු ඵලක් නැත. එය හුදෙක් මුදල් උපයා ගන්නා බඩ වඩා ගැනීමේ ක්‍රමයකි.


-------------------------------------------------------------------------------------------------------------------------

Dinamina - Aarogya article - 21st September - 2011


පංචකර්මයෙන් රෝගීන් සුවපත් කරවන
කිරිබත්ගොඩ ආයුර්වේද පංචකර්ම රෝහල



බටහිර වෛද්‍ය විද්‍යාව අද හිනි පෙත්තේ දියුණුව ලබමින් සිටිනා අතරට දේශීය වෙදකම තුළින් අපේ මුතුන්මිත්තන් ලැබූ සුවය නිරෝගි භාවයද ඉතිහාසගතව පවතින බව නොකිව මනාය.
ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළින් ඔවුන් ලද සුවය පරම්පරාවෙන් පරම්පරාවට පවත්වාගෙන ආ බව සත්‍යයකි.
හෙළ වෙදකමේ ගුණ මහිමයෙන් නිරෝගි බව ලත් වත්මන් පරපුරේ බොහෝ දෙනෙකු ද නැත්තේ නොවේ.
කසාය වඩියක් දෙකක්, ගුණ ලබමින් අරිෂ්ඨ බෝතලයක්, දේශීය ඖෂධ මිශ්‍රණය කරගත් චූර්ණයක් පමණක් නොව පංචකර්ම චිකිත්සාවෙන් ද අද ලෙඩ රෝග බොහොමයක් සුව වී ඇති බව නොරහසකි.
ආයුර්වේද වෛද්‍ය විද්‍යාව අනුව විවිධාකාර රෝග නිවාරණයට බොහෝ විට ලබා දෙනුයේ ඖෂධ වර්ග බීමට පමණි.
ඉන් ඔබ්බට පංචකර්ම චිකිත්සාවෙන් ලැබෙන ප්‍රතිඵලද අති මහත් ය. ඒ බව ප්‍රත්‍යක්ෂ කර පෙන්වීමට සමත් වූ එක්තරා රජයේ රෝහලක් පසුගියදා අපට හමුවිය. ඒ කිරිබත්ගොඩ සුදර්ශනාරාම පාරේ පිහිටි ආයුර්වේද පංචකර්ම රෝහලයි. පළාත් සභාවෙන් පාලනය කෙරෙන මෙම පංචකර්ම රෝහල විවෘත කළේ 2010 ඔක්තෝබර් 21 වැනි දින දීය.
මෙහි පරිසරය ඉතා සුන්දර ලෙසට නිමා වී ඇත. පංචකර්ම රෝහල ගෘහ නිර්මාණ ශිල්පය ද දැකුම්කළුය.
රෝහලට ඇතුල්වන කෙනෙකුට දුටු සැනින් ඒත්තු යන්නේ ‘රෝහල්’ යන ස්වරූපයෙන් සම්පූර්ණයෙන්ම මිදී නිවාඩු නිකේතනයක ස්වරූපයක් ගත් ගොඩනැගිල්ලකි.
නෙත ගැටෙන සැම තැනක ඇත්තේ නෙත් සිත් පුබුදුවන ආකාරයේ දසුන් ය. පොකුණක ආකෘතියක් ලෙස ඉදිවී ඇති දර්ශනීය පොකුණු තුළ මත්සයෝ එහේ මෙහේ පීනනු දැකීමද අපූරු දර්ශනයකි.
අසුන් ගැනීම සඳහා සියලුම අසුන් තනා ඇත්තේ දැව වලින් වීම නිසා රෝගීන්ට ලැබෙනුයේ සුව පහසුවකි. නිවාඩු නිකේතනයක ස්වරූපය ගන්නා දැව භාණ්ඩ සියල්ලම ඉතා අලංකාරව තබා ඇති අතර ඖෂධ පැලෑටි දෙපස වවා ඇත.
නවතම ව්‍යාපෘතියක් ලෙස නිමවී ඇති මෙම පංචකර්ම රෝහල සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ රාජ්‍ය අනුග්‍රහය ඇතිව ක්‍රියාත්මක වන එකම පංචකර්ම රෝහලද වන්නේ ය. මෙහි උපයන ආදායම රෝහලේ නඩත්තුව පිණිස යෙදේ. මෙහි කාර්්‍ය භාර ප්‍රධාන වෛද්‍ය නිලධාරිණිය වන්නේ තිලානි වරුසවිතාන මහත්මියයි.
මෙම පංචකර්ම රෝහලෙන් සිදුවන සේවාව ඇය අපට විස්තර කළේ මෙලෙසිනි.
දේශීය වෛද්‍ය ක්‍රමය අනුව ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම දෙආකාරයන් යුක්තයි. ඖෂධ ප්‍රතිකාර ක්‍රමය සහ ශරීරය ශුද්ධ කිරීම (ශෝදන ප්‍රතිකාර) ක්‍රමයයි.
කෂාය, ගුලි, කල්ක, අරිෂ්ඨ මේ ප්‍රතිකාර ක්‍රමය හඳුන්වන්නේ ශවන ප්‍රතිකාර ක්‍රමය යනුවෙන්. මෙම ප්‍රතිකාර ක්‍රමයෙන් සිදු කරනුයේ රෝගියාගේ සිරුර යම් රෝගාබාධ නිසා ඇතිවන අසමතුලිතාවයන් මඟහරවා දී සිරුරේ ඉන්ද්‍රියයන් මෙන්ම සිරුර සමතුලිත තත්ත්වයට පත්කරවීමයි. ශරීර යනු නාල ගොඩක එකතුවක්.
නාල යම් යම් හේතූන් මත අවහිර වූවිට ඒ අවහිරතා මඟහරවා ගැනීමට ඖෂධ වලින් සිදු කරන්නේ නඩත්තුවක් පමණයි.
නමුත් පංචකර්ම වලින් ඒ අවහිරතාවය ඉවත් කිරීම සිදු කරනවා. විශේෂයෙන්ම පීනස්, ඇඳුම, දියවැඩියාව, සන්ධි රෝග, චර්ම රෝග, මෙවැනි රෝගවලින් පෙළෙන අයට දීර්ඝ කාලයක් ඖෂධ ගැනීමට සිදුවනවා.
අවුරුදු 60 – 70 ඖෂධවලින් ජීවත් වන විට රෝගියාට දැනෙන්නේ වේදනාවක්. එවැනි තත්ත්වයන්ගෙන් මුදවා ගැනීමට මේ පංචකර්ම චිකිත්සාවෙන් හැකිවෙනවා.
නස්නය කරවීම, වමනය කරවීම, විරේචනය කරවීම, වස්ති කරවීම, රක්ත වෝක්ෂණය (කූඩැල්ලන්ගෙන් අපිරිසිදු රුධිරය ඉවත් කිරීම) යන ශෝදන ක්‍රමවේද බාහිර ශල්‍යකර්මය ආකාරයෙන් යුක්තයි. මේ තුළින් සිරුරේ අනවශ්‍යව තිබෙන ඉතා සූක්ෂම දේවල් පවා ඉවත් කළ හැකියි.
පංචකර්ම චිකිත්සාවේ දී ශල්‍යකර්මයකට මෙන් පෙර සහ පසු සූදානමක් ද තිබෙනවා. විශේෂයෙන්ම රෝගියාගේ පැමිණිල්ල අනුව බෙල්ලෙන් උඩ හි, නළල, උගුර යනාදිය ආශි‍්‍රත රෝග නම් ඒ අය සඳහා ‘නස්නය’ ප්‍රතිකාරය සිදු කරනවා.
නාබියට සහ බෙල්ල අතර රෝගයක් නම් එයට වමනය ප්‍රතිකාරය කරනවා. උදරය ආශි‍්‍රතව නම් විරේක ප්‍රතිකාරයත්, සන්ධි ආශි‍්‍රත රෝගවලට වස්ති ප්‍රතිකාරයත්, රුධිරගත චර්ම රෝගවලට කුඩැල්ලන් ලවා රක්ත මෝචනයත් කරනවා.
මේ සියලුම ශෝදන ක්‍රම කිරීමට ප්‍රථම පෙර සූදානමක් කළ යුතුයි. තෙල් ගැල්වීම සහ ඩා ගැන්වීමයි මේ පෙර සූදානම.
ශරීරය නාල ගොඩක එකතුවක් නිසා අප ගන්නා අනවශ්‍ය ආහාර, සිරුරේ කැඩුණු බිඳුණු තැන් මේ නාලවල තැන්පත් වීම සිදුවනවා එවිට අපි රෝගි වනවා. මෙම තත්ත්වය ඉවත් කිරීමට නම් ප්‍රථමයෙන් තෙල් ගැල්වීමෙන් ඒවා දියකර සිරුරට අහිතකර දේ ඉවත් කරනවා.
යම් කිසි කාලයකට පසු වෛද්‍යවරුන්ට තේරෙනවා රෝගියා දහඩිය ගැන්විය යුතුª බව. මෙය ආයුර්වේද භාෂාවෙන් හඳුන්වන්නේ ශ්වේදය යනුවෙන්.
උදාහරණයක් වශයෙන් සෙම් රෝගවලින් පෙළෙන රෝගියකු පැමිණි විට අප මුලින්ම කරන්නේ ඔහුගේ නිලස්ථානත් සමග තෙල් ගැල්වීමයි. පසුව වාෂ්ප අල්ලනවා එවිට නාසයෙන් අපද්‍රව්‍ය ගැලීමට පටන් ගන්නවා.
ඒ අවස්ථාවේ දී නස්නය කිරීමෙන් ඒවා ඉවත් කරනවා.
සෙම ඉවත් වූ විට වේදනාකාරී තත්වයෙන් මැඩ පැවත්වීමට දුම් ඇල්ලීම, ආහාර රටා, ඇවතුම් පැවතුම් මෙන්ම රෝගියා ඉදිරියේ දී රෝගි නොවන්නට ගත යුතු ආහාර රටාවන් ගැන රෝගියා දැනුවත් කරනවා.
ඔහු ජීවත් විය යුතු පරිසරය රටාව සහ එයට අනුගතව ජීවත් වන ආකාරය, යෝග හා භාවනා ක්‍රම ආදියෙන් රෝගියකුට රෝගයෙන් මිදී නිරෝගිව ජීවත් වීමට සුදුසු වාතාවරණය අප විසින් සළසා දෙනවා.
මේ සියලුම රෝගීන්ට ප්‍රතිකාර කරන්නේ විශ්ව විද්‍යාලයේ උපාධිය ලත් වෛද්‍යවරුන් විසින් ඒ වෛද්‍ය වරුන් විසින් ඒ වෛද්‍ය කණ්ඩායමට පංචකර්ම පිළිබඳව කේරළයේ පුහුණුව ලබා තිබෙනවා.
අනුමත කාර්ය මණ්ඩලය 23 යි නමුත් දැනට අනුයුක්ත වී ඇත්තේ 13 ක් පමණයි. ඔවුන් අතිශයින් පුහුණුව ලැබූ පිරිසක්. විශේෂයෙන්ම පංචකර්ම සඳහා සම්භාහන සේවකයන් ගේ අඩුව තමයි තිබෙන්නේ.
මෙහි පැමිණෙන රෝගීන් අතර ස්වාසය – ඇදුම රෝගීන් සියයට සියයක්ම සුවවී තිබෙනවා.
චර්ම රෝගීන් සියයට අසූවක් පමණ සුවවී තිබෙනවා. ඒ සමඟම සන්ධි අමාරු රෝගීන් 70% පමණ සුවවී තිබෙනවා. සාමාන්‍යයෙන් ආයුර්වේද බෙහෙත් ශාලාවල රෝග සුව කරන්නේ කෂාය අරිෂ්ඨ ලබාදීමෙන්.
අපේ රෝහලේ රෝගීන් සුව කිරීමට ඉලක්ක කර ගන්නේ පංචකර්මය යි.
ආයුර්වේද නීතිගත සංස්ථාවේ නිෂ්පාදිත ඖෂධ මෙහි රෝගීන්ට ලබා දෙන්නේ. පංචකර්ම ප්‍රතිකාර කරන්නේ බාහිර රෝගීන්ට පමණයි.
මෙහි නේවාසිකව රෝගීන් නැහැ. සතියේ දින උදේ 8 – 5 දක්වාත් සෙනසුරාදා දින උදේ වරුවෙත් පමණයි ප්‍රතිකාර කරන්නේ.
පංචකර්ම ප්‍රතිකාර නිවැරදිව කිරීමත් රෝගියාගේ කැපවීමත් තිබේ නම් රෝගය සුව කළ ගත හැකියි.
බෙහෙත් කරන කාල සීමාව සාමාන්‍යයෙන් සති 3 – 4 වැනි කාලයක් පමණයි. පීනස ඇදුම වැනි රෝග සුව කිරීම සඳහා සති 2 – 3 අතර කාලයක් ගත වනවා.
මේ පංචකර්ම චිකිත්සාවෙන් රෝග වැළඳීම වැලැක්වීමට රෝගියකු ගන්නා වූ ඖෂධ වර්ග වල මාත්‍රාව අවම කර ගතහැකියි.
අපේ වෛද්‍යවරු, සහ සේවක කණ්ඩායම ඉතාමත් කැපවීමෙන් මේ කාර්යයේ නියුක්ත වී රෝගීන්ට සුවය ලබාදීමට අති මහත් වෙහෙසක් දරනවා.
අපේ බලාපොරොත්තුව දැනටමත් සඵල වී අවසන්. ආයුර්වේද පංචකර්ම රෝහල, ශ්‍රී සුදර්ශනාරාම පාර, කිරිබත්ගොඩ යන ස්ථානයේ මෙම රෝහල පිහිටා ඇත.
සීමා වාසික අනෙකුත් වෛද්‍යවරුන්
සජීවා ලියනගේ
මධූෂි බාලසූරිය
භාතිය දිසානායක

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.