District General Hospital - Matale

Dinamina - Aarogya article - 18th July 2012

විශ්වසනීය සේවයක් සපයන මාතලේ දිස්ත්‍රික් මහරෝහල


රෝගීන් සෑම විටම පාහේ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා කොළඔ හෝ මහනුවර වැනි ප්‍රධාන නගරවල ඇති මහරෝහල් වෙතට ම යාමට උනන්දු වන්නේ එහි ඇති විශ්වාසනීයත්වය සහ සෙසු රෝහල්වල කාර්යයභාරය පිළිබඳව නොඳැනුවත්කම නිසා විය හැකිය.එහෙත්, වත්මන් ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික් මහ රෝහල් සියලු පහසුකම් අතින් පරිපූර්ණ මෙන්ම, සැලසුම් සහගත ලෙස ක්‍රියාත්මක වන, රෝගීන්ගේ පහසුව උදෙසා කඩිනම් සේවයක්ද ලබාදෙන බවට ප්‍රත්‍යක්ෂ වූ ස්ථානයකි මාතලේ දිස්ත්‍රික් මහා රෝහල.
වත්මන් වෛද්‍ය අධිකාරි වෛද්‍ය එච්.එම්.අර්ජුන තිලකරත්න මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ විශේෂඥ වෛද්‍යවරු විස්සක් සහ වෛද්‍ය නිළධාරින් එකසිය විසිදෙනෙකු දන්ත ශල්‍ය වෛද්‍යවරුන් හයදෙනෙකුගෙන් සහ ලියාපදිංචි වෛද්‍ය නිළධාරින් හයදෙනෙකුගෙන් සමන්විත වේ. විශේෂ ශ්‍රේණි හෙද නිළධාරින් තිදෙනෙක් යටතේ හෙද සොයුරියන් හය දෙනෙකු සහ හෙදියන් 280 දෙනෙකු ද පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනියන් 32කු ද මාතලේ රෝහලේ රෝගීන්ට හෙදකම් කරයි.
අතුරු වෛද්‍ය නිළධාරින් 37, කනිෂ්ඨ කාර්ය මණ්ඩලය, සාමාන්‍ය කම්කරු සහ සෞඛ්‍ය කාර්ය සහායක යන කණ්ඩායමේ 166 අනෙකුත් ජ්‍යෙෂ්ඨ කාර්යය මණ්ඩලය 130 රියදුරන් 04 ගිලන්රථ 03 ආදී පහසුකම් සියල්ල රෝහල සතු සම්පත් අතර වේ. මෙම සියල්ලන්ගේම කැපවීමෙන් දැනට වසරකට රෝගීන් දෙලක්ෂ දහතුන් දහසකට අධික පිරිසක් සායනික ප්‍රතිකාර ලබා ගනිති.
අක්කර 15ක භූමි ප්‍රමාණයක පැතිර ඇති මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ වාට්ටු 19 සතුව ඇදන් 737 ක් තිබේ. භාහිර රෝගී අංශය මගින් සැපයෙන සේවා අතර, හදිසි ප්‍රතිකාර සේවා, සැරහුම් ඒකකය ,එන්නත්, ආසාදන පාලනය, විශේෂඥ කායික වෛද්‍ය සේවාව, භාහිර ඖෂධ නිකුත් කිරීම්, දැඩි සත්කාර ඒකකය, රසායනාගාර පහසුකම්, දන්ත වෛද්‍ය සේවා, මුඛ හා හනුක , අධ්‍යපන සෞඛ්‍ය, විකිරණ සේවා ළමා හා මාතෘ පෝෂණ සේවා ඇතුලුව සේවා රැසක් සැපයේ. අභ්‍යන්තර රෝගී සේවාවන් ලෙස ළමා රෝගී සේවා, ශල්‍ය වෛද්‍ය සේවා, උගුර කන නාසය, අක්ෂි ඒකකය, නාරි හා ප්‍රසව, චර්ම රෝග, ස්වසන මානසික සෞඛ්‍ය ආදී අංශ සඳහා විශේෂඥ වෛද්‍ය පහසුකම් සැපයේ.
මාතලේ දිස්ත්‍රික් මහ රෝහල සෙසු රෝහල්වලින් වෙනස්ව කාර්යක්ෂමව රෝගීන් වෙත සේවා සපයන ආයතනයක් බව යළි සිහිකළ යුතුය. ඒ පිළිබඳව වෛද්‍ය අධිකාරි වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා අදහස් දැක්වුයේ මෙසේයි.
“ අපේ රෝහලේ වෛද්‍යවරු ඇතුලු සියලුම සේවක සේවිකාවෝ එකමුතුව කැපවීමෙන් සේවයේ යෙදෙන බව ගෞරවයෙන් සිහිපත් කළ යුතුමයි.
අපේ රෝහලේ අභ්‍යන්තර සෑම කටයුත්තක්ම, මල්වැවීම, විදුලි පෑස්සුම් , ලී වැඩ, ජල නල, ඇතුලු ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරන්නේ ඒ ඒ අංශවලට දක්ෂ අපේම සේවකයෝ. එහෙයින්, අපට ඒ සඳහා මුදල් වැය කිරීමට සිදු වන්නේද නැහැ.
මාතලේ දිස්ත්‍රික්කයේ සිංහල දෙමල මුස්ලිම් ප්‍රජාව එකතු වී රෝහල් සංවර්ධන කමිටුවක් ස්ථාපිත කර තිබෙනවා. ඒ හරහා වාර්ෂිකව රෝහලේ විශාල සංවර්ධන කටයුතු සිදු කෙරෙනවා.
රෝහලේ සම්බන්ධීකරණය, සායනික රෝගී වාර්තා, නේවාසික රෝගී වාර්තා ඇතුලු සියල්ල පරිගණක ගත කර තිබෙන අතර, සායනික වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට දුරකතනය මගින් අවශ්‍ය දිනකට වෛද්‍යවරයෙකුගේ වේලාව වෙන්කරවා ගැනීම පවා සිදු කර ගත හැකිය.
උදෑසන 7.30 සිට 4.00 වන තුරු භාහිර රෝගී අංශය ක්‍රියාත්මකයි. භාහිර රෝගියෙකුට විනාඩි 20ක් ඇතුලත ප්‍රතිකාර ලබා ගෙන රෝහලෙන් පිටව යා හැකි ලෙස පහසුකම් අප සලසා තිබෙනවා.
රෝහලේ අපද්‍රව්‍ය කළමනාකරණය ඉතා සැලසුම් සහගත ලෙස පවත්වාගෙන යන්නේ නගර සභාවේ මැදිහත් වීමකින් තොරවයි. ඉවතලන ආහාර උපයෝගී කර නිපදවන ජීව වායුව නැවත මුළුතැන්ගෙයි ආහාර පිසීමට යොදා ගන්නවා.
ඉතා කාර්යක්ෂම සුභ සාධක සංගමයක් රෝහල තුල ක්‍රියාත්මක වෙනවා. ඔවුන් නිතරම සේවක සුභසාධනය සේම රෝහලේ සුභ සාධනය උදෙසා ද කටයුතු කරනවා. වාර්ෂිකව විවිධ ජයග්‍රහණ අප රෝහල වෙත ලැබී තිබෙන බව සතුටින් මතක් කළ යුතුයි.
අපේ රෝහල සෑම වසරකදීම සේවක ඇගයීමේ උත්සවයක් පවත්වා සෑම සේවකයකුම දිරිමත් කරනවා. මේ කටයුතු අපේ රෝහලේ දියුණුවට ඉමහත් රුකුලක්ව තිබීම සතුටට කරුණක්.

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.