District Hospital - Katuwana

Dinamina - Aarogya article - 20th April 2011

සේවක සාමුහිකත්වයෙන් ගුණාත්මක සේවාවන් සපයන කටුවන දිසා රෝහල



රෝහලක සාමූහිකත්වය රෝගීන්ගේ හිතසුව පිණිස වන ආකාරයට කදිම නිදසුනක් වන්නේ කටුවන දිසා රෝහලේ පවතින ක්‍රමවත් වැඩ පිළිවෙලයි.
සෑම සේවකයෙක්ම ඉතා ඕනෑකමින් තම කටයුතු අනලස්ව ඉටුකරනුයේ සේවක සුහදතාවය පවතිත නිසා බව එහි යන ඕනෑම කෙනෙකුට පෙනී යන කරුණකි.
රෝහලේ පිරිසුදු පරිසරයත් සෞඛ්‍ය දැනුම ලබාදීමට රෝහලේ බිත්ති උපයෝගී කරගෙන ඇති අන්දමත් කදිමය.
සේවක සාමුහිකත්වයෙන් උපරිම සේවාවක් සපයන කටුවන දිසා රෝහල පිළිබඳව දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී පූර්ණ කීර්ති පෙරේරා මහතා අදහස් දැක්වූයේ මෙසේයි.
මේ රෝහලේ පිළිගැනීමේ කවුන්ටරයේදී ඕනෑම රෝගියෙක්ව පිළිගැනීම කරනවා. ඉතා සුහදශීලි සේවාවක් සැපයීම අපේ අරමුණයි. මේ ස්ථානයේදී රෝගියාට අවශ්‍ය මඟ පෙන්වීම කරනවා. හදිසි ප්‍රතිකාර අවශ්‍ය රෝගියෙක් නම් කඩිනමින් හදිසි ප්‍රතිකාර අංශයට යොමු කරනවා.
අපේ කාර්ය මණ්ඩලය කණ්ඩායමක් හැටියටයි වැඩ කරන්නේ.
රෝගියාට ප්‍රතිකාර කිරීමේදී අවට අනික් රෝහල්වල ඉන්න විශේෂඥ වෛද්‍යවරුන් දුරකථනයෙන් බොහෝ විට සම්බන්ධ කරගෙන එම උපදෙස් අනුව අපි ප්‍රතිකාර ලබාදෙනවා. රෝගියා වෙනත් රෝහලකට යැවිය යුතුම මට්ටමේ නම් මේ රෝහලේ ගිලන් රථය මඟින් වෙනත් රෝහලකට අපේ කාර්ය මණ්ඩලයේ කීපදෙනෙක් සමඟ යවනවා.
මේ ප්‍රදේශයේ පාරවල්වල හදිසි අනතුරු වැඩියි. ඒ නිසා මේ ප්‍රදේශයේ වැඩි දෙනෙක් මිය යන්නේ රිය අනතුරුවලින්. අපි නිරන්තරවම හදිසි අවස්ථාවලට අවශ්‍ය පරිදි රෝහලේ සියලුම කාර්යයන් සකසා තිබෙනවා.
අපේ හදිසි ප්‍රතිකාර ඒකකයේ සේවාව ඉතාම ඉහළ මට්ටමක තිබෙනවා. හදිසි ප්‍රතිකාර සඳහා අවශ්‍ය සියලුම ආකාරයේ බෙහෙත් ද්‍රව්‍ය වෙනස්ම ට්‍රේ එකක පහසුවෙන් ලබාගත හැකි පරිදි ගබඩා කොට තිබෙනවා.
කිසිම දවසක ඖෂධ හිඟයකට මේ රෝහල මුහුණ පා නැහැ. අපි නිවැරදිව කළමනාකරණය කොට ඖෂධ ලබා ගන්නවා. ඕනෑම අවස්ථාවකට මුහුණ දිය හැකි ආකාරයට අවශ්‍ය ඖෂධ මේ රෝහලේ තිබෙනවා.
මේ රෝහලට ඇතුල්වන ඕනෑම රෝගියෙක්ට නිවැරදි අවශ්‍ය ප්‍රතිකාර කඩිනමින් ලබාදෙනවා. මෙහිදී අපේ කාර්ය මණ්ඩලය කණ්ඩායමක් ලෙස සාමූහිකව වැඩ කිරීම ඉතා වැදගත්.
මේ රෝහලේ බොහෝ කටයුතු සිංහල භාෂාවෙන් කරන්න අපි උපරිම වෙහෙසක් ගන්නවා.
රෝග විනිශ්චය තුණ්ඩුව ඇද ඉහපත් වාර්තාව ඕනෑම කෙනෙකුට කියවිය හැකි පරිදි සිංහල භාෂාවෙන් සටහන් කිරීමට අපි කටයුතු කරනවා.
මේ නිසා රෝගියාගේ තත්ත්වය රෝහලේ සුළු සේවා කාර්ය මණ්ඩලයටත් දැනගත හැකියි. ඒ අනුව රෝගීන්ට අවශ්‍ය දේ සැපයීමට ඒ අයට පහසුයි.
මේ රෝහලේ සංඛ්‍යාලේඛන සියල්ල ඉතාම පිළිවෙලකට පවත්වාගෙන යනවා. ඒ වගේම රෝහලට ඇතුල්වන බෝවන රෝග සහිත රෝගීන් පිළිබඳව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෙත අවශ්‍ය වාර්තා කඩිනමින් ලබා දෙනවා.
මේ දිනවල පවතින මී උණ සඳහා අවශ්‍ය බෙහෙත් පෙති සියල්ල මේ රෝහලෙන් ලබාගත හැකියි. ඒ වගේම ඊට අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබාදීමටත් අපි කටයුතු කරනවා. පසුගිය කාලයේ මේ ප්‍රදේශයේ මී උණ රෝගීන් මාසයකට 30ක් පමණ ප්‍රතිකාර ගැනීමට රෝහලට පැමිණියා.
වස පානයකර මේ රෝහලට පැමිණෙන රෝගීන්ට අවශ්‍ය කඩිනම් ප්‍රතිකාර ලබාදීම නිසා ජීවිත රැසක් බේරාගන්නට අපට හැකිවුණා. වසපානය කළ රෝගීන්ගේ ශරීරයෙන් වස ඉවත් කිරීමට අපි විවිධ උපක්‍රම යොදා ගන්නවා.
මේ රෝහලෙන් වෙනත් රෝහලකට රැගෙන යන රෝගීන් එම රෝහලේ ඉහළ අධීක්‍ෂණයකට ලක්වෙන තුරු අපි රෝගියා සමඟම ඉන්නවා.
මේ රෝහලේ සෞඛ්‍ය අධ්‍යාපන අංශය හොඳ සේවාවක් සපයනවා. සෞඛ්‍ය දැනුම ලබාදෙන ආකාරයේ විවිධ ආදර්ශපාඨ , චිත්‍ර, කවි , කථා සෑම තැනකම දැකිය හැකියි. රෝහල් පරිසරය ඉතාම පි‍්‍රය ජනක තැනක් බවට අපි පත්කළා. බෝනොවන රෝග, විවිධ ආහාර රටා, ව්‍යායාම් ගැන පවා අපි රෝගීන් හා රෝහලට පැමිණෙන අය දැනුම්වත් කිරීම කරනවා.
විශේෂයෙන් ජල භීතිකා රෝගය සඳහා අවශ්‍ය ප්‍රතිකාර නිවැරදිව ලබාදීම නිසා වැඩි මුදල් ප්‍රමාණයක් ඉතිරි කිරීමට අපට හැකි වුණා.
මේ රෝහලේ ප්‍රතිකාර ලබාදීමේදී ඇතිවන අනවශ්‍ය ප්‍රමාදයන් වලක්වා ගන්න අපි හැම විටම කටයුතු කරනවා. ගුණාත්මක සේවාවක් සැපයීමෙන් පසු රෝගීන් හැකි ඉක්මනින් රෝහලෙන් පිටකර හැරීමට අපි හැම විටම කටයුතු කරනවා. දිනකට වෛද්‍යවරුන් බලන රෝගීන් ගණන අපි වෙනම සටහන් කරනවා. ඖෂධ ලබාදීම පවා අපි ඉතා කඩිනමින් කරනවා.
රෝගීන් සමඟ සුහදව කතාකරන්න රෝගීන්ට හොඳින් සලකන්න මේ සේවකයින් කටයුතු කරනවා.
ශ්‍රී ලංකාවේ ඉතා දියුණු මට්ටමේ තිබෙන රෝහල්වලට ගොස් එහි ඇති නවීන හා දියුණු සෞඛ්‍ය ක්‍රම අත් හදා බලන්න මේ රෝහලේ සේවකයින්ට අවස්ථාව සැලසුවා. මේ මඟින් රෝහල් සේවකයන්ගේ සෞඛ්‍ය දැනුම වර්ධනය කිරීමට හැකි වුණා.
ගම සමඟ අපි ඉතාම සුහදව කටයුතු කරනවා. රෝහල් කමිටුව මඟින් විශාල සේවාවක් සපයනවා. ගමේ සෞඛ්‍ය සංරක්‍ෂණ ගම්මාන හැදුවා. ගම්වලට ගොස් සෞඛ්‍ය සායන පවත්වා ගමේ සිටින රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර, රෝග සොයා ගැනීම් රෝහලේ අභ්‍යන්තර සේවාවට අමතරව අපි කරනවා.
කරුණාව නැත්නම් මේ සෞඛ්‍ය සේවාවට ඒ අය ගැලපෙන්නේ නැහැ. ඒ නිසා මේ සේවකයන් ආකල්පමය වෙනසකට ලක් කළා. ඔවුන් හැමවිටම රෝගීන්ට උපස්ථාන කිරීමට කැමැත්තෙන් සිටින පිරිසක් බවට පත්කළා. රාජකාරියට අමතරවද විශාල සේවාවක් මේ කාර්ය මණ්ඩලය සපයනවා.
මේ රෝහල රෝග නිවාරණ කටයුතු සඳහා ප්‍රමුඛතාව දෙනවා. රෝගී වීමට ප්‍රථම රෝගයන්ගෙන් වැලකීමේ ඇති වැදගත්කම ගැනත් ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙත් ගැනත් ජනතාව දැනුම්වත් කරනවා.
මේ රෝහලේ ඉපදෙන සෑම දරුවෙකු වෙනුවෙන්ම ගසක් රෝපනය කිරීමට දරුවාගේ මවුපියන් දැනුම්වත් කරනවා. මේ රෝහලේ උපදින දරුවා නිවසට යද්දී දරුවාගේ මවට හෝ පියාට වටිනා ශාකයක් රෝහලෙන් පරිත්‍යාග කරනවා. එම පැලය රෝපනය කළයුතු ආකාරය හා එහි වැදගත්කම ගැනත් අපි කියා දෙනවා. ඒ වගේම එම ශාකය නිවැරදිව රෝපනය කළාද යන්න පසු ඇගයීමක්ද අපි කරනවා.
ගසක් නිශ්ශබ්දව කරන සේවය හිතාගන්නවත් බැහැ. ආහාර , ජලය, සෙවන, පිරිසුදු වාතය පරිසරයේ හැම දෙයක්ම ලබා දෙනවා. මේ සියල්ල ගැන අපි පැලය ලබා දීමට පෙර දරුවාගේ මව හා පියාව දැනුම්වත් කරනවා. මේ මඟින් අපි බලාපොරොත්තු වන්නේ පරිසර හිතකාමීන් පිරිසක් ඇති කිරීමයි.
සෞඛ්‍ය අධ්‍යපනය ලබාදීම අතින් අපි ඉදිරියෙන් ඉන්නවා. කාලීන මාතෘකා ඔස්සේ ජනතාව දැනුම්වත් කරනවා. රෝහල පිරිසුදුව තබා ගන්නා ආකාරය හා වෙනත් සෞඛ්‍ය පුරුදු ගැන මිනිසුන්ට කියා දෙනවා.
සේවක මණ්ඩල සෞඛ්‍ය දැනුම වර්ධනය කිරීම පවා අපි කරනවා.
මේ මඟින් රෝගීන්ට උසස් සේවාවක් ලබාදිය හැකි පරිදී සේවකයින්ගේ දැනුම වර්ධනය කරනවා.
රජයේ හා පෞද්ගලික ආයතන සමඟත් ස්වෙච්ඡා සංවිධාන සමඟත් අපි ඉතා හොඳ සබඳතාවක් පවත්වාගෙන යනවා.ඉතාම දුෂ්කර ගම්මානවලට පවා ගොස් සායන පැවැත්වූවා.
මානසික වෛද්‍ය සායනයට වැඩි රෝගින් ප්‍රමාණයක් පැමිණෙනවා. බොහෝ අයට ප්‍රතිකාර ලබාදෙනෙවා. ඒ වගේම විශේෂඥ ප්‍රතිකාර අවශ්‍යනම් ඊට අවශ්‍ය යොමු කිරීම්ද කරනවා.
රෝගී සේවාවේදී කඩිනම් ප්‍රතිකාර අවශ්‍යයි. ඒ නිසා රෝගීන්ට ප්‍රතිකාර කරද්දී අපි ඉතාම ඉක්මනින් ප්‍රතිකාර ලබාදීමට කටයුතු කරනවා.
මාසයකට දරුවන් 35 දෙනෙක් පමණ මේ රෝහලේදී උපත ලබනවා. දිනකට බාහිර රෝගී අංශයට රෝගීන් 350ක් පමණ පැමිණෙනවා.
මේ රෝහලේ කසල කළමණාකරණය ඉතාම හොඳ මට්ටමක තිබෙනවා. පරිසරයට කිසිම හානියක් නොවන ආකාරයට රෝහලේ අපද්‍රව්‍ය මුදා හරිනවා.
මේ රෝහලේ සේවක පිරිස මේ ගමේම අසයි. ඒ අය මේ රෝහල දියුණු කර ගන්න ඉතා වෙහෙසක් ගන්නවා.

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.