Base Hospital - Kamburupitiya Andepana


Dinamina - Aarogya article - 22nd September 2010

සුනාමි ආරක්ෂණ රෝහලක් වූ කඹුරුපිටිය ආඳපාන මූලික රෝහල


පරිසරයරෝග නිවාරණයේදී බෙහෙවින් වැදගත්වේ. රෝගීනට නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීම සඳහා නිස්කලංක පරිසරයක් අවශ්‍ය වන්නේ, කායික සුවයට මානසික සුවය බෙහෙවින් වැදගත් වන නිසාය.
මානසික සුවය ලබන්නට නම් කරදරකාරී වටපිටාවකින් තොර, හරිත වර්ණ ස්වභාවික පරිසරයක් අවැසියි.
කඳුගැටයක් මත පිහිටි කඹුරුපිටිය ආඳපාන මූලික රෝහලේ අවට පරිසරය හරිත පැහැයෙන් යුක්තය. පරිසරය නිස්කලංකය. රෝහල් ගොඩනැගිලි ඉදිකොට ඇත්තේද රෝගියා සහ පරිසරය මනාව සම්බන්ධ වන ආකාරයෙනි.
රෝගී සත්කාර සේවයට කැපවුණු කාර්ය මණ්ඩලයකින් හෙබි සුනාමි ආරක්ෂණ රෝහලක් ලෙස හඳුනාගත් කඹුරුපිටිය මූලික රෝහලේ වැඩබලන රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රභාත් ගජධීර මහතා රෝහල් සේවාව පිළිබඳ අදහස් දැක්වූයේ මෙසේයි.
මේ රෝහල වැඩිදියුණු කරන්න අදහස් කළේ මාතර මහ රෝහල සුනාමියට ගොදුරු වුණාට පසුවයි. සුනාමි ආරක්ෂණ රෝහලක් හැටියට මේ රෝහල හඳුනාගත්තා.
සුනාමි ආධාර යටතේ මේ රෝහලට ප්‍රංශ රතුකුරුස සමාජයක් හරහා පස් මහල් ගොඩනැගිල්ලක් ලැබීමත් සමඟ රෝහලේ දියුණුවීම ඇරැඹුණා.
මේ රෝහලේ ප්‍රධාන විශේෂඥ වෛද්‍ය ඒකක හතරම ක්‍රියාත්මක වෙනවා. ළමාරෝග, ප්‍රසව හා නාරි වේද, කායික රෝග හා ශල්‍ය වෛද්‍ය සේවාවට අමතරව අක්ෂි විශේෂඥ වෛද්‍ය සේවාවන් සිදුවෙනවා.
කඹුරුපිටිය මූලික රෝහලේ
වැඩ බලන රෝහල් අධ්‍යක්ෂ
වෛද්‍ය ප්‍රභාත් ගජධීර
සමස්ත රෝහල් කාර්ය මණ්ඩලය 300කින් සමන්විතයි. විශේෂඥ වෛද්‍යවරු 05ක්, සාමාන්‍ය වෛද්‍යවරු 34ක්, හෙද කාර්ය මණ්ඩලය 98ක් මේ අතර වෙනවා.
දිනකට බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා ගන්න රෝගීන් ගණන 600ක්. නේවාසික ප්‍රතිකාර ලබාගන්නා ප්‍රමාණය 200ක් පමණ වෙනවා. කාර්යමණ්ඩලයේ හිඟකම අපට තිබෙන ප්‍රධාන ගැටලුවක්. ශල්‍යගාරයක්, රසායනාගාරයක්, එක්ස්රේ ඒකකයක් ලේ බැංකුවක් රෝහල සතුයි. වාට්ටු 10ක් තිබෙන මේ රෝහල ඇඳන් 235 කින් සමන්විතයි.
රෝගියාට බාහිර ප්‍රතිකාර ප්‍රමාණවත් නෑ කියලා බාහිර රෝගී අංශයේ කෙරෙන රෝග පරීක්ෂාවලදී අපට දැනුනොත්, අපි එවැනි රෝගීන්ට නේවාසික ප්‍රතිකාර කරනවා.
උදේ 8 ට බාහිර රෝගී අංශයේ ප්‍රතිකාර කිරීම ආරම්භ කරලා, දහවල් 12ට නිම කෙරෙනවා. නැවත සවස 2 සිට 4 දක්වා ප්‍රතිකාර ලබාදීම ක්‍රියාත්මකයි. සෙනසුරාදා උදේ 8 සිට 12 දක්වාත්, ඉරිදා උදේ 8 සිට උදෑසන 10 දක්වාත් ප්‍රතිකාර කෙරෙනවා.
ධනාත්මක චින්තනය පිළිබඳ රෝහල් කාර්යමණ්ඩලය දැනුම්වත් කිරීම් කළා. ඉන්පසු මේ රෝහලේ කාර්යමණ්ඩලය බොහෝ සෙයින් රෝගී උපස්ථානයට කැපවී කටයුතු කරනවා.
කොළඹ හොඳ තත්ත්වයේ තියෙන රෝහල් කීපයක නිරීක්ෂණ චාරිකා සඳහා රෝහල් කාර්ය මණ්ඩලය යොමුකළා. ඔවුන්ට එම රෝහල්වල වැඩකරන ආකාරය පිළිබඳ දැනුම්වත් වීමක් ලබාදුන්නා.
සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ විශේෂ පුහුණුවීම් කළා. මේ හරහා සේවකයන්ගේ ආකල්පමය වෙනසක් සිදුවී තිබෙනවා.
රෝහල් අපද්‍රව්‍ය යොදාගෙන බයෝගෑස් නිපදවීම සඳහා බයෝගෑස් ඒකකයක්, රෝහලේ ස්ථාපිත කළා. ඒ මඟින් රෝහල් මුළුතැන්ගෙයි ගෑස් අවශ්‍ය තාවයෙන් 50%ක ප්‍රමාණයක් ලබාගත හැකිවුණා.
රෝහලේ තිබෙන හිස් භූ®මි ප්‍රමාණය සේවකයිනට වගා කිරීමේ කටයුතු සඳහා වෙන්කර දුන්නා.
ප්‍රධාන හෙද නිලධාරිණී
ධර්මා ජයසූරිය
රෝහලේ අපිරිසුදු ජලය හා වැසිකිළි පද්ධතිය එක ස්ථානයකට හරවා එහි එක් රැස්වන ජලය පිරිසුදු කර ගෙවත්තට මුදා හරිනවා. ඉතිරිවන කොටස කාබනික පොහොර ලෙස ගෙවත්තට යෙදීමට හැකි ලෙස සකස්කර තිබෙනවා.
මේ රෝහලේ කිසි දිනෙක ඖෂධ හිඟයක් ඇතිවී නැහැ. දැනට කිසිම රෝගියෙක් සඳහා බෙහෙත් පිටින් ලබා ගැනීමට අපි නිර්දේශ කරන්නේ නැහැ. ඉතා ම මිල අඩු බෙහෙත් ද්‍රව්‍යවල සිට මිල අධික බෙහෙත් ද්‍රව්‍ය පවා රෝහල සතුයි.
රසායනාගාර පරීක්ෂකවරුන්ගේ හිඟයක් පවතින නිසා, එම සේවාව රාත්‍රී කලයේ දී ලබාදීමේ ගැටලු මතුවී තිබෙනවා.
කායික වෛද්‍ය ඒකකයේ සායන සතියකට දින දෙකක් කෙරෙනවා. නාරිවේද, පූර්ව ප්‍රසව, මදසරු බව සහිත මවුවරුන්ට සායන, උපත්පාලන සායන ළමාරෝග සායන ක්‍රියාත්මක වෙනවා.
සතියේ බදාදා දිනවලදී මානසික සෞඛ්‍ය සායනයක් පවත්වනවා.
රෝහල් සෞඛ්‍ය අධ්‍යාපන අංශය මඟින් සෑම දිනකම උදෑසන සායන සහ බාහිර ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගීන්ට සෞඛ්‍ය දැනුම ලබාදීමේ වැඩසටහන් කෙරෙනවා.
විවිධ කාලවල පැතිරයන වසංගත රෝග පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීම අපේ වගකීමක්.

1 comment:

Note: Only a member of this blog may post a comment.