Base Hospital - Tangalle

Dinamina - Aarogya article - 23rd March 2011

ප්‍රජා සත්කාර සේවාවන්ටද දායක වන තංගල්ල මුලික රෝහල



නිදහස් සෞඛ්‍ය සේවාවේ උපරිම ඵල ජනතාවට ලබා දීමට නම් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ කැපවීම මෙන්ම දැනුම ද ඉතා වැදගත් වේ.
ගුණාත්මක මෙන්ම කාර්යක්‍ෂම සේවාවක් ලබාදීම මගින් මෙරට රෝහල් ඉටුකරන මෙහෙවර පැසසුමට ලක්විය යුත්තකි. වර්තමානයේ බොහෝ රෝහල් කරා පිය නඟද්දී ඇතිවන පි‍්‍රය මනාප බව නිසාම රෝගී මානසිකත්වයට ඇතිවන්නේ තරමක සුවයකි.
රෝහල් සේවාව පිළිබඳව තංගල්ල මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී නිමල් අබේසිරිවර්ධන මහතා අදහස් දැක්වූයේ මෙසේයි.
මේ රෝහල මූලික රෝහලක් බවට පත්වූයේ 2005 වසරේ මැයි මාසයේයි.
මේ රෝහල සීඝ්‍ර දියුණුවකට ලක්වුණේ සුනාමි ව්‍යසනයෙන් පස්සෙ ලැබුණු මහජන ආධාරත්, විදේශ ආධාරත් නිසයි. මේ රෝහලේ තිබෙන වෛද්‍ය උපකරණ වැඩි ප්‍රමාණයක් ලැබුණේ විදේශ ආධාර හා මහජන ආධාර ලෙසයි.
මේ රෝහලට පැමිණෙන රෝගීන්ට හා අනෙකුත් අයට හොඳ පහසුකම් සපයා තිබෙනවා. විශේෂයෙන් ෆිල්ටර් කරන ලද ජලය පවා ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි.
රෝහල් පරිසරය ඉතාම අලංකාර ආකාරයට සාදා තිබෙනවා. රෝගීන්ගේ මානසික සුවය ඇතිවන ආකාරයට රෝහල් පරිසරය නිර්මාණය කිරීමට හැකි වී තිබෙනවා.
මේ රෝහලට පැමිණෙන රෝගීන් සංඛ්‍යාව ඉහළ නිසා සාමාන්‍ය තදබදයක් පවතිනවා. නමුත් අපි මේ තත්ත්වය පාලනය කර ගැනීමට උපරිම වෙහෙසක් ගන්නවා.
හදිසි ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් සඳහා හදිසි ප්‍රතිකාර ඒකකයෙන් ප්‍රතිකාර ලබා දෙනවා. මේ ඒකකය පැය 24 පුරාම විවෘතයි.
මේ ඒකකයේ වෛද්‍යවරුන්ගෙන් මූලික ප්‍රතිකාර ලබාගැනීමෙන් පසුත් රෝගියාට වැඩිදුර ප්‍රතිකාර අවශ්‍ය නම් විශේෂඥ වෛද්‍යවරුන් වෙත යොමු කෙරෙනවා.
දිනකට බාහිර රෝගීන් 400 ක් පමණත් නේවාසික රෝගීන් 100 ක් පමණත් මේ රෝහලට පැමිණෙනවා. රෝහල් ඇඳන් 223 ක්, වාට්ටු 10 ක්, විශේෂ ඒකක 10 ක් මේ රෝහලේ තිබෙනවා.
බාහිර රෝගී අංශයේ විශේෂ කවුන්ටරය මගින් අංක ලබාගත යුතුයි. මේ අංශයේ සේවය සඳහා වෛද්‍යවරුන් හත්දෙනෙකු යොදවා ඉන්නවා. බාහිර ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගීන් ලියාපදිංචියෙන් පසු කඩිනමින් වෛද්‍යවරුන් වෙත යොමු කෙරෙනවා.
නේවාසික රෝගීන් සිටින සෑම වාට්ටුවකටම පැය 24 පුරාම එක් වෛද්‍යවරයෙකුගේ සේවය ලබා දෙනවා.
සායනවලින් විශේෂ සේවාවක් සපයනවා. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 06 ක ජනතාවක් මේ රෝහලෙන් ප්‍රතිකාර ගන්නවා. සායන සඳහා දිනකට රෝගීන් 600 ක් පමණ සහභාගි වෙනවා.
සායන රෝගීන් නිසා ඇතිවන තදබදය අවම කිරීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා. සායන රෝගීන්ට සායන සඳහා පැමිණිය යුතු දිනයක් සහ අදාළ වේලාවක් කලින් ලබා දෙනවා.
මේ නිසා රෝගීන් අනවශ්‍ය ලෙස රෝහලේ රැඳී සිටිය යුතු කාලය අවම කළා. ඊට අමතරව ස්වයංක්‍රීයව අංක ලබා දෙන යන්ත්‍ර සායන කාමර ඉදිරියේ සවිකර තිබෙනවා.
ළමා, ශල්‍ය, මානසික, මාතෘ, නාරිවේද හා කායික රෝග වෛද්‍ය සායන සතිය පුරාම පැවැත්වෙනවා. කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ සේවය ලැබෙනවා. නාරි හා විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙක් සිටිනවා.
මානසික රෝග විශේෂ ඒකකයට රෝගීන් විශාල වශයෙන් පැමිණෙනවා. මේ ඒකකය පවත්වාගෙන යන්නේ ඒ පිළිබඳ විශේෂ පුහුණුව ලත් වෛද්‍යවරුන් දෙදෙනෙකු යටතේයි.
සතියකට දින 4 ක් මේ ඒකකය විවෘතයි. රෝහල් අභ්‍යන්තර සේවයට අමතරව වලස්මුල්ල, බෙලිඅත්ත, වීරකැටිය වැනි රෝහල්වලට ගොස් එහි සිටින මානසික රෝගීන්ට මේ වෛද්‍යවරු ප්‍රතිකාර ලබා දෙනවා.
රෝහලට පැමිණිය නොහැකි රෝගීන්ට නිවෙස්වලට ගොස් අදාළ ප්‍රතිකාර ලබා දෙනවා.
මානසික රෝගීන්ට උපදේශන සේවා ලබාදීම සඳහා ස්වේච්ඡාවෙන් කටයුතු කරන මානසික රෝග ස්වේච්ඡා නිලධාරීන් 4 දෙනෙකුගේ සේවයත් මේ ඒකකයට ලැබෙනවා. තවමත් ලංකාවේ මානසික රෝග සඳහා ප්‍රතිකාර ලබාගැනීමට පෙළෙඹෙන ප්‍රමාණය අඩුයි.
නමුත් මේ රෝහලේ ඕනෑම මානසික ආබාධයක් සඳහා නොමිලේ උපදේශන සහ ප්‍රතිකාර ලබා දෙනවා.
මේ නිසා මානසික අසහනයකින් පෙළෙන ඕනෑම අයෙක්ට මේ ඒකකයට යොමුවිය හැකියි. ඔවුන්ගේ සියලු තොරතුරු රහසිගතව තබාගන්නවා.
ශල්‍යකර්ම කිරීමට අවශ්‍ය රෝගීන් ද ඉතා හොඳ පරීක්‍ෂණයකට ලක්කෙරෙනවා. ශල්‍යකර්ම බොහොමයක් දැන් මේ රෝහලේ කෙරෙනවා.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඕනෑම තැනක සිට පැයකින් රෝගියෙක්ට මේ රෝහලට පැමිණිය හැකියි. මේ ප්‍රදේශයේ ගමනාගමන පහසුකම් හොඳ තත්ත්වයේ තිබෙන නිසාම බොහෝ රෝගීන්ගේ ජීවිත බේරාගැනීමට හැකියාව ලැබෙනවා.
මේ රෝහලේ රෝහල් කමිටුව ඉතාම ශක්තිමත්. විශේෂයෙන් උගත්, බුද්ධිමත් පිරිසක් අප සමඟ සිටිනවා.
මේ රෝහලේ දැඩි සත්කාර ඒකකය සෑදීමට බොහෝ වෙහෙස වූයේ රෝහල් කමිටුවයි. මේ දැඩි සත්කාර ඒකකය සෑදීමට මැලේසියා බෞද්ධ මහා විහාරයෙන් උපකාර ලැබුණා. මේ දැඩි සත්කාර ඒකකය ඇඳන් 06 කින් හා නවීන උපාංගවලින් සමන්විතයි. රෝහලට ඖෂධ අවශ්‍ය වන බොහෝ අවස්ථාවලදී ඖෂධ ලබාදීමට පවා රෝහල් කමිටුව ඉදිරිපත් වෙනවා.
මේ රෝහලේ සේවාව රෝහල තුළ පමණක් නොවෙයි ඉන් පිටතදීත් සපයනවා. සෞඛ්‍ය අධ්‍යාපනය මගින් රෝග නිවාරණය සඳහා ජනතාව දැනුම්වත් කිරීමත්, අපේ කාර්යයක්. ප්‍රජා සත්කාරක සේවා ලෙස කෙරෙන වෛද්‍ය සායන සඳහා අපි සහභාගි වෙනවා.
රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලින් අපට විශාල සේවාවක් ලැබෙනවා. තංගල්ල බන්ධනාගාරයෙන් මෑතකදී රෝහලේ තීන්ත ආලේපය සඳහා ශ්‍රම දායකත්වය ලැබුණා. ඒ වගේම රුහුණු නාවික අංශයෙන් ද අපට හොඳ සේවාවක් ලැබෙනවා. මේ ආයතනවල සිටින රෝගීන් සඳහා අප නිරන්තරවම අධීක්‍ෂණය කර අවශ්‍ය වෛද්‍ය උපදෙස්, ඖෂධ ලබා දෙනවා.
නිදහස් සෞඛ්‍ය සේවාව ලබාදෙන්නේ මහජනයාගෙන් ලැබෙන බදු මුදල්වලින්. රෝහල් කාර්ය මණ්ඩලයට වැටුප් හා දීමනා ගෙවන්නේ මේ බදු මුදල් වලින්. ඒ නිසා කාර්යය මණ්ඩලය හොඳින් සේවයට කැපවිය යුතුයි. විශේෂයෙන් රෝගී උපස්ථානය පිළිබඳව මේ රෝහලේ කාර්ය මණ්ඩලයේ ආකල්පමය වෙනසකට ලක්කර තිබෙනවා.
බාහිර රෝගී අංශය තමයි රෝහලක ඉතාම වැදගත් ස්ථානය. මේ ස්ථානයේ සිට රෝගියා රෝහලෙන් නික්ම යනතුරු රෝගියාට හොඳ පිළිගැනීමක් ලබාදෙනවා.
මේ රෝහලේ ආසාධන පාලන ඒකකයෙන් විශාල සේවාවක් ඉටු වෙනවා. ශල්‍ය කර්මයකින් පසු රෝගීන්ට ආසාධන ඇතිවීම වැඩියි. නමුත් මේ රෝහලේ ශල්‍යකර්ම වලින් පසු ආසාධන ඇතිවීම ඉතාම අඩු මට්ටමකයි තිබෙන්නේ.
ඊට හේතුව රෝහලේ පිරිසුදුබව පිළිබඳව අප දැඩි අවධානයකින් සිටීමයි. කාර්යමණ්ඩලය මේ සඳහා විශාල වෙහෙසක් ගන්නවා. අපද්‍රව්‍ය කළමනාකරණය අතින් මේ රෝහල හොඳ මට්ටමක ඉන්නවා.
මේ රෝහල රැකබලා ගැනීම ප්‍රදේශයේ ජනතාවගේ වගකීමක්, යුතුමක්. විශේෂයෙන් අනවශ්‍ය වේලාවල්වල දී වාට්ටුවල රෝගීන් බැලීමට පැමිණීම පුරුද්දක් කරගෙන තිබෙනවා.
ඒ තත්ත්වය එතරම් හොඳ දෙයක් නොවෙයි. මේ නිසා රෝගීන්ට අපහසුතා ඇතිවෙනවා. එපමණක් නොවෙයි රෝගීන්ට විෂබීජ ඇතුල්වීමේ අවදානමත් වැඩියි. ඒ නිසා රෝහලට පැමිණෙන අය මේ ගැනත් සිතිය යුතුයි.
රෝහල් කාර්ය මණ්ඩලයට වෙන්වුණු වෙනම සුබසාධක සංගමයක් තිබෙනවා. මේ සංගමය මගින් රෝගීන්ට ලබාදෙන සේවාව දියුණු කිරීම සඳහා මාසිකව රුපියල් දස දහසක මුදලක් රෝහලට ලබාදෙනවා.
සේවකයන්ගේ ගැටලු විසඳීම සඳහා වෙනම ඒකකයක් තිබෙනවා. සේවකයන්ගේ පෞද්ගලික ගැටලුවලට පවා මේ ඒකකයෙන් විසඳුම් ලබාදීමට කටයුතු කෙරෙනවා. රෝගීන්ට සත්කාර කිරීමේ දී සේවක මානසිකත්වය ඉතා වැදගත්.
ක්‍ෂය රෝගය සඳහා විශේෂ ප්‍රතිකාර මේ රෝහලේ දී කෙරෙනවා. සෙම පටල පරීක්ෂාව පවා මේ රෝහලේ දී කෙරෙනවා.
කල්පවතින කැස්ස, අසාමාන්‍ය ලෙස බර වැඩිවෙනවානම්, සවස් කාලයේ උණ වැනි ලක්ෂණ ඇත්නම් ඕනෑම මොහොතක ක්‍ෂය රෝග පරීක්ෂාව සඳහා මේ රෝහලට පැමිණිය හැකියි. ඊට අවශ්‍ය සියලුම පහසුකම් මේ රෝහලේ තිබෙනවා.

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.