Ayurveda Hospital - Nildandaheenna


Dinamina Aarogya article - 10.05.2017

නිල්දණ්ඩාහීන්න ආයුර්වේද රෝහල


තට්ටු පිට තට්ටු ගොඩනැගිලි පරයමින් ඉදිවෙන මහා කුළුණු, පාලම්, පසුකර මේ පිවිසෙන්නේ ඉතාමත් දැකුම්කළු කොළපාට වන ගහණයෙන් හෙබි මනරම් වූ ඉසව්වකටය. පුංචි පුංචි දිය පාර හරහා ගොඩනැඟුණු නිල්ල පිරුණු කෙත්යාය ඉදිරියේ ඈතින් පෙනෙන දසුන ඕනෑම අයෙකුගේ සිත සන්සුන් කරයි. කඳුකරයට පිවිසි අප මේ යන්නේ පුංචි දිය දහරා, උයන් වතු, සරුසාරයට වැවුණු එළවළු බිම් වටකරගත් රවුම් පාරකින් කඳුශිඛර වට කරගත් කුඩාවට පිහිටි නිල්දණ්ඩාහීන්න ගම් ප්‍රදේශයේ වගේම නුවරඑළිය දිස්ත්‍රික්කයටම පිහිටි ආයුර්වේද රෝහල් 2 න් එකක් වන නිල්දණ්ඩාහීන්න ආයුර්වේද රෝහලටයි.
1990.09.08 වන දින නිල්දණ්ඩාහීන්න ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව නමින් ආරම්භ වී රෝහලක් බවට පත් වූයේ 2003 අපි‍්‍රයෙල් 17 වනදායි. ඒ නිල්දණ්ඩාහීන්න ආයුර්වේද ග්‍රාමීය රෝහල ලෙසයි.
ඒ නමින්ම අදටත් භාවිතා වන මෙම ආයුර්වේද රෝහල මධ්‍යම පළාත් ආයුර්වේද දෙපාර්තමෙන්තුව යටතේ පාලනය වෙයි. වලපනේ ප්‍රාදේශීයලේකම් කොට්ඨාශයේ මනරම් වටපිටාවක පිහිටි රෝහල දිස්ත්‍රික්කයේ ඇති එකම අනෙක් සහෝදර රෝහල වනුයේ කොත්මලේ ආයුර්වේද රෝහලයි.
රෝහලේ සේවාවන්
ප්‍රදේශයේ ගම්මාන බොහොමයක් ප්‍රතිකාර සඳහා ඒකරාශි වන්නේ මේ නිල්දණ්ඩාහීන්න රෝහල වෙතයි.
මෙහි,
*බාහිර රෝගී අංශය
*නේවාසික රෝගී අංශය
*ඖෂධ නිෂ්පාදනාගාරය
*ඖෂධ උයන
*ඖෂධ ගබඩාව
*විශේෂ පංචකර්ම ඒකකය
යන අංශ මෙම රෝහලේ ස්ථාපිත වී ඇත්තේ රෝගීන්ට සේවය සැලසීමටයි. නිල්දණ්ඩාහීන්න ආයුර්වේද රෝහලේ මෙම සේවාවන්වල කාර්යක්ෂමතාවය ඉතා හොඳින් පවතින නිසා පැමිණෙන රෝගීන් දිනෙන් දින වැඩි වී ඇති බව සඳහන් වේ.
දිනකට පැමිණෙන රෝගීන්
සාමාන්‍යයෙන් බාහිරව ප්‍රතිකාර ලබා ගැනීමට දිනකට සියයට අධික ප්‍රමාණයක් පැමිණෙනවා. නමුත් නේවාසිකව තබාගත හැක්කේ රෝගීන් 14 ක් පමණයි. මේ සඳහා වාට්ටු 2 ක් පැවතියත් එය ගැහැණු හා පිරිමි වශයෙන් වෙන් වී එක් කොටසකට ඇඳන් ඇත්තේ 7ක් නිසා රෝගීන් නේවාසික වීම එපමණකට සීමා කිරීමට සිදුව ඇත.
විශේෂ සායන
විශේෂ රෝග වැළැක්වීම සම්බන්ධව විශේෂ සායන හා ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් මෙහි පවත්වනු ලබනවා. රෝහලේ සිටින ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි මඟින් වලපනේ කොට්ඨාසයේ 100 ට අධිකව පවතින ග්‍රාමසේවා වසම් සම්බන්ධ කරගෙන මෙම ප්‍රජා සෞඛ්‍ය නඟා සිටුවීමේ වැඩසටහන් ක්‍රියාත්මක වේ. මෙය සිදුකෙරෙන්නේ රෝහලේ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය අංශය මඟිනි. මෙම සේවා වර්ධන වැඩසටහන්, පාසල්වල දේශන ළදරු පාසල්වල පෝෂණය පිළිබඳව දෙමාපියන් දැනුවත් කිරීම් රෝහල් අධීක්ෂණය යටතේ සිදු වේ.
ආරම්භක වෙදදුරන් තවමත් සම්බන්ධයි.
මෙම රෝහලේ ආරම්භක වෛද්‍යවරයෙක් ලෙස සේවය කළ රම්බණ්ඩා වෙද මහතා මේ ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ වෙදදුරෙක් වශයෙන් තවමත් නිල්දණ්ඩාහීන්න රෝහල සමඟ සබඳකම් පවත්වයි. එය රෝහලට දැඩි ශක්තියක් බව දැන් සේවයේ යෙදෙන වෛද්‍යවරු පවසයි.
අවම ශ්‍රම සම්පතක්
කෙතරම් පිරිසක් පැමිණියත් නිල්දණ්ඩාහීන්න ආයුර්වේද රෝහලේ සේවය කරන වෛද්‍යවරු ගණන 6ක් වන අතර එකම හෙද නිලධාරියෙක් මෙහි සේවයේ යෙදෙයි. එසේම උපස්ථායකයන් 4 කි. රෝහලේ ප්‍රධාන වෛද්‍ය කාර්යභාර නිලධාරියා ඇතුළුව සියලු කාර්යය මණ්ඩලය 15 දෙනෙක් සේවයේ යෙදෙයි.
විශේෂ ප්‍රතිකාර
කැඩුම් බිඳුම්, සන්ධි රෝග, ස්වසන පද්ධතිය ආශි‍්‍රත රෝග හා වාතරක්ත රෝගවලට ප්‍රතිකාර යෙදීම බහුලව සිදු කෙරෙනවා. මේ අතර කැඩුම් බිඳුම් ස ඳහා සිදුකෙරෙන ප්‍රතිකාර විශේෂ වේ. ඒ සඳහා වෙනම ඒකකයක් මෙහි ස්ථාපිත වී තිබෙනවා.
ඖෂධ නිෂ්පාදනය රෝහලෙන්ම
පංචකර්ම හා විශේෂ ප්‍රතිකාර ඒකකවලට අවශ්‍ය සමහර ඖෂධ වර්ග රෝහලේ පවතින ඖෂධ නිෂ්පාදනාගාරය තුළම සිදු කෙරෙනවා. උදා. නිර්ගුණ්ඩි තෛලය පිණ්ඩ තෛලය, ඒ අතර වේ.
අලංකාරම උද්‍යානය
පසුගිය වසර 2 දීම වසරේ අලංකාරම උද්‍යානයට හිමි සම්මානය නුවරඑළිය දිස්ත්‍රික්කයෙන්ම තේරී පත් වී ඇත.
අලංකාර උද්‍යානයක් විධිමත් ලෙස පවත්වා ගෙන යමින් රෝහල පවත්වා ගෙන යන අන්දම එහි යන ඕනෑම අයෙකුට දැකිය හැකියි. රෝහල වටා ඇති කඳුයාය ඈතින් දිස්වන දියඇලි හා ඒ මේ අත ලෙල දෙන ගස්වැල් වල සිරිය ද අතරින් පතර මං මාවත් ද අපව නිරන්තරව සුන්දර අත්දැකීමකට හසුකර දෙයි.
විශේෂ පංචකර්ම ඒකකය
දක්ෂ කාර්ය මණ්ඩලයේ උනන්දුව මත ගමට ප්‍රජාවට සුවපත් භාවය සඳහා සිදු වූ සේවාව හේතු කොටගෙන නිල්දණ්ඩාහීන්න ප්‍රදේශවාසීන්ගේ ධන පරිත්‍යාගයෙන්ම මෙම ඒකකය පිහිටුවා ඇත.


No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.