National Hospital for Respiratory Diseases - Welisara

Dinamina - Aarogya artcle - 26th January 2011


වැලිසර ළය රෝහලට යන්න බියවන්න එපා


ළය රෝග සඳහාම ප්‍රතිකාර ලබාදීමට මෙරට පිහිටුවා ඇති එකම රෝහල වැලිසර ළය රෝහලයි.
ක්ෂය රෝගය ප්‍රධාන කොට ගත් පෙනහලු ආශ්‍රිත රෝග සඳහා ප්‍රතිකාර ලබාදීමේදී මේ රෝහලෙන් සිදුවන්නේ සුවිශාල සේවාවකි.
බෝවන රෝගී තත්ත්වවලදී රෝගී සත්කාරයට බොහෝ දෙනා මැලිකමක් දැක්වුවද, වැලිසර ළය රෝහලේ කාර්ය මණ්ඩලය සිදුකරණ සේවය ඉතා වටිනේය.
වැලිසර ළය රෝහල සම්බන්ධයෙන් “ආරෝග්‍යා” වෙත අදහස් දැක්වූ එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතා.
පෙනහලු ආශ්‍රිත රෝගවලට ප්‍රතිකාර ලබාදීම සඳහා ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති එකම රෝහල මේ රෝහලයි.
ක්ෂය රෝගය කියන්නේ පෙනහලු ආශ්‍රිත එක රෝගයක් පමණයි. අතීතයේ දී මේ රෝහලින් ප්‍රතිකාර ලබාදී තිබෙන්නේ කාස රෝගයට පමණයි.
නියුමෝනියාව, බ්‍රෝන්කයිටීස්, පෙනහලු පිළිකා, ඇදුම, කල්පවතින කැස්ස ආදී සියලුම රෝගවලට මේ රෝහලෙන් ප්‍රතිකාර කරනවා.
පෙනහලු රෝගවලට අදාළ සියලුම නවීන විද්‍යාත්මක පරීක්ෂණ මේ රෝහලේ කෙරෙනවා. සෑම අංශයකටම අදාළ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවාවන් මේ රෝහලෙන් සපයනවා.
පෙනහලු රෝගයක් බවට වෛද්‍යවරුන් හඳුනාගත් පසු මේ රෝහලට රෝගීන් යොමුකරනවා. එසේත් නැතිනම් තමන්ට එවැනි රෝගයක් ඇතැයි සැකයක් පවතින්නේ නම් රෝගීන්ට මේ රෝහලට පැමිණිය හැකියි.
වැලිසර ළය රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ
වෛද්‍ය ජී.විජේසූරිය
බාහිර රෝගී අංශය උදේ 8.00 සිට සවස 4.00 දක්වා විවෘතයි. ඒත් ඕනෑම හදිසි අවස්ථාවකදී ඕනෑම වෙලාවක රෝගීන්ට මේ රෝහලට ඇතුළත් විය හැකියි. අපි පැය 24 පුරාම රෝගීන්ට ප්‍රතිකාර ලබාදීමට හැකි ලෙස රෝහල් සේවාව දියුණුකර තිබෙනවා.
ඇදුම රෝගය රාත්‍රි කාලයේ දී වැඩිවිය හැකි රෝගයක්. ඒ නිසා අපේ සේවය ලබාදීමේ දී වෙලාවක් වෙන්කර නැහැ. ඕනෑම වෙලාවකදී මේ රෝහල රෝගීන්ට විවෘතයි.
ක්ෂය රෝගීන් සඳහා වෙන්වූ වාට්ටු තිබෙනවා. ඒවගේම පෙනහලු ආශ්‍රිත අනෙක් රෝගීන් සඳහා වෙනම වාට්ටු තිබෙනවා. ක්ෂය රෝගීන් වෙන්කර තැබීම නිසා මේ රෝහලේ දී රෝග බෝවීම සිදුවන්නේ නැහැ.
ශල්‍යකර්ම සඳහා වෙනම ශල්‍ය ඒකකයක් තිබෙනවා. දැඩි සත්කාර ප්‍රතිකාර ලබා දීමට දැඩි සත්කාර ඒකකයක් තිබෙනවා. රසායනාගාර පහසුකම්, එක්ස්රේ කිරණ පරීක්ෂණ අංශයක්, සෙම පරීක්ෂණ ඒකකයක්, අධ්‍යාපන ඒකකයක්, හදිසි ප්‍රතිකාර ඒකකයක් තිබෙනවා.
ශ්වසන රෝග උත්සන්නවී මාරාන්තික තත්ත්වයට පත්වන රෝගීන්ට ඉතාම කෙටි කාලයකින් හදිසි ප්‍රතිකාර ලබාදීමේ හැකියාව මේ රෝහල සතුයි.
මේ රෝහල බෝවන රෝග සඳහාම පමණක් යන සංකල්පය අතීතයේදී තිබුණා. ඒ නිසා මේ රෝහලේ සේවයට රෝහල් සේවකයින් එතරම් කැමැත්තක් දැක්වූයේ නැහැ. වර්තමානයේදී අපි සේවකයිනට හොඳ පහසුකම්, සෞඛ්‍ය සම්බන්ධ දැනුවත් කිරීම් ලබා දුන්නා. සේවකයින් ළඟ තිබුණු අනියත බිය අපි ඉවත්කළා. මේ රෝහලේ කාර්ය මණ්ඩලය ඉතාම හොඳ කැපවීමකින් සේවය කරනවා. ඔවුන් හොඳ මානසික මට්ටමක සිටීම රෝගී ප්‍රතිකාරයේ දී වැදගත්වෙනවා.
රෝග වළක්වා ගැනීමේ ක්‍රමවේදය රෝහල් කාර්ය මණ්ඩලයට අපි කියා දුන්නා. හොඳීන් ප්‍රතිකාර ලබාගන්නේ නම් ක්ෂය රෝගය සති දෙකක් තුල තවත් අයෙක්ට බෝවීමේ ප්‍රතිශතය අඩුවෙනවා. මෙය සමාජයේ පවතින රෝගී තත්ත්වයක්. මේ සඳහා බියවියයුතු නැහැ. අවශ්‍ය වන්නේ නියමාකාරයෙන් ප්‍රතිකාර ලබා ගැනීමයි. මෙය නිට්ටාවට සුවකළ හැකි රෝගයක්.
සෑම ශ්‍රේණියකම සේවකයිනට හොඳ මට්ටමේ නිල නිවාස රෝහල් භූමිය තුළ ලබාදී තිබෙනවා.
රෝහලේ සෞඛ්‍ය අධ්‍යාපන ඒකකය මඟින් වෛද්‍යවරයාගේ පටන් සනීපාරක්ෂක කම්කරුවා දක්වා සෞඛ්‍ය අධ්‍යාපන පුහුණුවීම් ලබා දෙනවා. සෑම වාට්ටුවකටම ගොස් රෝගීන් දැනුම්වත් කිරීමත්, බාහිර රෝගී අංශයට ගොස් එහි සිටින රෝගීන් හා වෙනත් අය දැනුම්වත් කිරීමත් කරනවා. රෝග හා රෝග නිවාරණය හොඳ සෞඛ්‍ය පුරුදු ගැන මෙහිදී දැනුවත් කිරීම් කරනවා.
රෝගීන්ගේ පවුලේ අය හා රෝගීන් ළඟින් ඇසුරු කරන අය රෝහලට ගෙන්වා, රෝගී තත්ත්වය ගැන පැහැදිලි කරනවා. ඒ වගේම එම රෝගය පවුලේ අනෙක් අය අතර පැතිර නොයන්නට කළ යුතු දේ පිළිබඳත් ඔවුන් දැනුම්වත් කරනවා. මේ නිසා ක්ෂය රෝගය පැතිර යාමේ අඩුවක් දක්නට ලැබෙනවා.
අපි මේ රෝහල අවට පරිසරය සමඟ හොඳ සබඳකමක් පවත්වනවා. බෝවන රෝග සහිත රෝහලක් නිසා විශාල භූ®මි ප්‍රමාණයක රෝහල පැතිර තිබෙනවා. රෝහල බිම අක්කර 35ක් පමණ වෙනවා. අතීතයේදී රෝහල අවට පදිංචි වෙන්න පවා මිනිස්සු බිය වුණා. ඒත් දැන් එවැනි පසුබිමක් නැහැ. අවට මිනිසුන් රෝහල සමඟ සුහදව කටයුතු කරනවා.
මේ භූමිය පිරිසුදු කිරීමට නාවික හමුදාව සහ බන්ධනාගාර රැඳවියන් අපට සහාය දෙනවා. අවට පාසල් හා ස්වේච්ඡා සංවිධානත් අප සමඟ හොඳ සබඳතාවක් පවත්වනවා. ඒ අයට රෝහලෙන් අවශ්‍ය පහසුකම් හා උපදෙස් අපි ලබාදෙනවා. අපිට තිබෙන විශාලම ගැටලුව සී.ටී. ස්කෑන් යන්ත්‍රයක් නොමැති වීමයි. එය ඉතා කඩිනමින් ලබා ගැනීම අපේ අරමුණයි.
බෝවන රෝග පාලනය කර ගැනීම සඳහා අපි වරින් වර පත්‍රිකා මුද්‍රණය කර බෙදා හරිනවා. ජාතික ක්ෂය රෝග හා ළය රෝග මර්දන ව්‍යාපාරය මේ සඳහා මූලිකත්වය ගන්නවා.
මාර්තු 24 දින ලෝක ක්ෂය රෝග මර්දන දිනය ලෙස නම්කොට තිබෙනවා. එදින විවිධ වැඩසටහන් අප ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන්ම ක්ෂය රෝගය සුවකළ හැකියි යන පණිවිඩය අපි ගෙන යනවා. ජාතික ක්ෂය රෝග හා ළය රෝග මර්දන ව්‍යාපාරයේ කොටසක් ලෙස මේ රෝහල ක්‍රියාත්මක වෙනවා.
ක්ෂය රෝගය ශ්‍රී ලංකාවේ වැඩීවීමක් දක්නට ලැබෙන්නේ නැහැ. ඒත් අපි බලාපොරොත්තු වූ ආකාරයට රෝගය පාලනය වීමක් සිදුවී නැහැ. ඒ නිසා අපේ ප්‍රචාරක කටයුතු, සමාජය දැනුම්වත් කිරීමේ කටයුතු, ප්‍රතිකාර සේවාව, දිනෙන් දින කරන නවතම පර්යේෂණ සියල්ල නොකඩවා කරගෙන යනවා.
මේ රෝගය මෙරට විශාල මහජන ප්‍රශ්නයක් නොවී රෝගය පාලනය කර ගැනීමට අවශ්‍ය කටයුතු කරගෙන යනවා.
රෝහලේ ඉවතලන දෑ ඉතාම පරෙස්සමින් ඉවතට මුදා හැරිය යුතුයි. ඒ නිසා කසල කළමනාකරණයේ දී අපි ඉතාම වගකීමෙන් කටයුතු කරනවා. සම්පූර්ණ කසල කළමනාකරණය රෝහල මගින්මයි කරන්නේ. කිසිදු අපද්‍රව්‍යයක් බාහිරට මුදා හරින්නේ නැහැ.
බාහිර ආයතන මේ කසළ ගෙනයාමට මැලිකමක් දක්වනවා. ආසාධන සහිත ලේ, මුත්‍රා හා සෙම සාම්පල් හා අනෙකුත් ද්‍රව්‍ය අධි උෂ්ණත්වයකින් යුතු ඉන්සියුලේටරයක් මඟින් පුළුස්සා දැමීම කරනවා. සැක සහිත කැස්ස, උණ, ලේ වැනි දේ පිටවෙන්නේ නම්, ආහාර අරුචිය, රාත්‍රී කාලයේ දහඩිය දැමීම, මද උණගතිය, වැනි රෝගී තත්ත්ව ඇත්නම් ළඟම ඇති ළය චිකිත්සාගාරයට ගොස් ප්‍රතිකාර ගැනීම වැදගත්.
තමන්ට ක්ෂය රෝගය ඇතැයි දැනගත් දින පටන් මාස 06ක් එක දිගට ප්‍රතිකාර ගැනීමෙන් මේ රෝගී තත්ත්වය සම්පූර්ණයෙන් සුව වෙනවා. මේ බැක්ටීරියා රෝගී තත්ත්වයක්. බැක්ටීරියාව විනාශ වුණු පසු රෝගය සුව වෙනවා.
පෙනහලු පිළිකා පැතිරීම වැඩිවී තිබෙනවා. ඊට ප්‍රධානම හේතුව දුම්පානය බව පැහැදිලියි. මේ රෝහලේ කෙරෙන පෙනහලු සම්බන්ධ ශල්‍යකර්ම වැඩි ප්‍රමාණයකට හේතුව දුම් පානය බව හෙළිවී තිබෙනවා. මේ රෝහලේ ඇදන් ප්‍රමාණය 632ක් වෙනවා. මේ රෝහලේ රෝගීන්ට දිනපතාම හොඳ පෝෂ්‍යදායී ආහාර නොමිලේ ලබාදෙනවා.
රෝහලේ බිම් ප්‍රමාණය ප්‍රයෝජනයට ගෙන අපි අක්කර 3ක පොල් වගාවක් ඇතිකළා. රෝහලේ භූමිය වගා කටයුතු සඳහා යොදා ගැනීම අපේ අරමුණක් වෙනවා. රෝහල් කාර්ය මණ්ඩලයේත් රෝගීන්ගේත් පහසුව සඳහා අපි බෞද්ධ හා කතෝලික බැතිමතුන් සඳහා ආගමික මධ්‍යස්ථාන දෙකක් රෝහල් භූමියේ පිහිටුවා තිබෙනවා.

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.