Castle Street Hospital for Women - Colombo

Dinamina - Aarogya article - 30th June 2010


සුවහසක් දූ දරුවන්ගේ තිඹිරිගෙය කාසල් වීදිය කාන්තා රෝහල


කාසල් වීදිය කාන්තා රෝහලේ අධ්‍යක්‍ෂිකා
රානී ප්‍රනාන්දු මහත්මිය
කාන්තාවකට මවකගේ ලක්‍ෂණ පහළ වූදා සිට නිරෝගී දරුවකු බිහි කර ගැනීම සඳහා මහත් වෙහෙසක් දැරීමට සිදු වේ. එමෙන් ම කායික පීඩාවකින් තොරව දරුවා බිහි කිරීමට ලැබෙන්නේ නම් එය කාන්තාවක් ලබන වාසනාවන්තම අවස්ථාවකි.
එවැනි වාසනාවන්ත තත්ත්වයකට කාන්තාවක් පත්වීමට නම්, දරුවකු පිළිසිඳගත් දා සිට ම නිවැරැදි වෛද්‍ය උපදෙස් ක්‍රියාත්මක කළ යුතු ය. ඒ සඳහා රෝහලකින් සිදුවන සේවය අති විශාල ය.
කාන්තාවකට මවක් වීමට පෙර සිට ම මවක් වීමට අවශ්‍ය උපදෙස් ලබා දෙමින් සහ ඉන් පසු දරුවකු ලැබී සති 06 ක් යන තෙක් ඇය හා දරුවා කෙරෙහි සානුකම්පිත සේවාවක් සපයන කාසල් වීදිය කාන්තා රෝහලේ අධ්‍යක්‍ෂිකා රානී ප්‍රනාන්දු මහත්මිය කාසල් රෝහලේ සේවාවන් පිළිබඳ පැවසුවේ මෙසේ ය.
ශ්‍රී ලංකාවේ මවුවරුන් සඳහා පිහිටුවා තිබෙන ප්‍රධානම රෝහල විදිහට කාසල් රෝහල හඳුන්වන්න පුළුවන්.
මේ රෝහලේ දවසකට දරුවන් 60 ක් පමණත්, වර්ෂයකට දරුවන් 18000 ක් පමණ උපදිනවා.
මවුවරුන් හා ළමයින් රැක බලා ගැනීම පිළිබඳ විශේෂ පුහුණුවක් ලබා දුන් සේවක මණ්ඩලයක් මේ රෝහල සතුයි. විශේෂයෙන් ම නොමේරූ දරුවන් රැක බලා ගැනීම පිළිබඳ ඒ අයට උසස් පුහුණුවක් ලබාදී තිබෙනවා.
නාරිවේද වෛද්‍යවරු (ඍධඨ) 05 දෙනෙක් නේවාසික ප්‍රසව රෝග වෛද්‍යවරු (අධඨ) දෙදෙනෙක් හා කායික රෝග (ඍර්‍ථ) වෛද්‍යවරයෙක්ගේ සේවය මෙහිදී ලබාගන්න පුළුවන්.
උපතේ සිට මරණය තෙක් කාන්තාවකට ඇතිවන සියලු ම නාරි රෝග සඳහා මේ රෝහලෙන් ප්‍රතිකාර ලබා දෙනවා.
බාහිර රෝගී අංශය අපේ රෝහලේ වැදගත් අංශයක්. රෝහලට පැමිණෙන රෝගීන් බාහිර රෝගී අංශයේ මුලින් ලියාපදිංචි කරනවා.
ඉන් පසු අදාළ සායන වෙත රෝගීන් යොමු කෙරෙනවා. එසේ නැත්නම් බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගෙන පිටව යන්නත් පුළුවන්.
රෝගියාට නේවාසික ප්‍රතිකාර අවශ්‍ය යැයි වෛද්‍යවරයා නිර්දේශ කරන්නේ නම්, ඒ රෝගියාව නේවාසික ප්‍රතිකාර සඳහා යොමු කරනවා.
මද සරු බවින් යුක්ත කාන්තාවන් සඳහා විශේෂ සායන ක්‍රියාත්මකයි. ඒ අයට අවශ්‍ය විශේෂඥ වෛද්‍ය උපදෙස් සියල්ල, අවශ්‍ය පර්යේෂණ, විශේෂඥ වෛද්‍යවරයෙක්ගේ අධික්ෂණය යටතේ සිදු වෙනවා.
මේ සායනයට ඕනෑම අයෙකුට එන්න පුළුවන්. කිසිම අයෙක්ගෙන් ලිපියක් තුණ්ඩු කෑල්ලක් අවශ්‍ය වන්නේ නැහැ. සතියේ වැඩ කරන දවස් පහේම සායනයට සහභාගි වෙන්න පුළුවන්.
සෙනසුරාදා දිනයේදී සායන නැති වුණත්, අනෙකුත් පර්යේෂණ සිදු කරනවා.
උදේ සිටන් පැමිණෙන පිළිවෙළට රෝගීන් පුටුවල වාඩිවෙලා ඉන්න ඕනෑ. ඒ පිළිවෙළට වෛද්‍යවරයා වෙත යොමු කරනවා. කිසි ම පරීක්ෂණයක් පිටින් කරන්න අවශ්‍ය නැහැ. සියල්ල රෝහලෙන්ම නොමිලේ සිදු කරනවා.
කාසල් රෝහලෙන් ප්‍රතිකාර ලබා ගන්න මද සරු බවින් යුක්ත කාන්තාවන් රැසකට පසුව දරුවන් ලැබුණා. එය මං හිතන්නෙ විශාල සේවයක්.
සවස් කාලයේදී ගර්භාෂය ආශ්‍රිත රෝග සඳහා ප්‍රතිකාර කරනවා. එහිදී විශේෂඥ වෛද්‍ය සහාය ලැබෙනවා.
ලබාදිය යුත්තේ නේවාසික ප්‍රතිකාර ද, ශල්‍යකර්මයක් ද යන්න වෛද්‍යවරයා තීරණය කළාට පස්සෙ අප අවශ්‍ය පහසුකම් සපයනවා.
ගර්භණී කාන්තාවක් නම් පළමුව රෝහලේ ලියාපදිංචි විය යුතුයි. ඒ සඳහා ජාතික හැදුනුම්පත හෝ අනන්‍යතාව සඳහා අවශ්‍ය ලියවිල්ලක් හා ගර්භණී සටහන් පත රැගෙන සතියේ ඕනෑම දිනෙක උදේ 8 සිට සවස 4 දක්වා කාලයේදී රෝහලට පැමිණිය යුතුයි. එහිදී ප්‍රදේශයේ සෞඛ්‍ය නිලධාරී ගර්භණී සටහන් පතේ විශේෂ සටහන්දමා තිබෙන මවුවරුන්ට කඩිනමින් ප්‍රතිකාර ලබා දෙනවා.
රෝහලට පැමිණෙන පළමු දිනයේම මවට හා භාරකරුට විශේෂ දේශනයක් ලබා දෙනවා. එහිදී දරුවකු බිහි කිරීමට සිටිනා කාන්තාවක් ඉදිරියේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳ දැනුවත් කිරීමකුයි සිදුවන්නේ.
එමෙන් ම සෑම සෙනසුරාදා දිනකම මවුපිය හමුව උදේ 8 සිට දහවල් 12 දක්වා පැවැත්වෙනවා. ඊට සම්බන්ධ වීමට අදාළ දින ලබා දෙන්නේ මව ලියාපදිංචියට රෝහලට පැමිණෙන පළමු දිනයේදීමයි.
බොහෝ විට අවදානම් සහිත මවුවරු රෝහලේ නැවතී ඉන්නවා. ඒ අය හොඳින් රැක බලා ගැනීම කාර්ය මණ්ඩලය මගින් සිදු කරනවා. මවක් වෙනවා කියන්නේ රෝගී තත්ත්වයක් නෙවෙයි. ඒ නිසා මෙය රෝහලක් වුවත් රෝගීන් සිටින තැනක්මත් නෙමෙයි.
බොහෝ විට පිට පළාත්වලින් මවුවරු අපේ රෝහලට එනවා. එහිදී ඒ ඒ ප්‍රදේශවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සමඟ රෝහල මනා සබඳතාවකින් කටයුතු කරනවා.
රෝහලේ නැවතී සිටින මවුවරු වැඩිදුර ප්‍රතිකාර සඳහා වෙනත් රෝහලකට යැවිය යුතු නම් රෝහල මගින්ම වෙනත් රෝහලකට මාරුකර යැවීමක් කෙරෙනවා. එහිදී මවගේ් ඥාාතීන්ට කරදරකාරී ලෙස ක්‍රියා කරන්න අපි කටයුතු කරන්නේ නෑ.
නොමේරූ ළදරුවන් රැසක් මෙහි ප්‍රතිකාර ලබනවා. උපත් බර ග්‍රෑම් 700 – 800 වගේ අඩු බර ළමයින්ගේ ජීවිත රැසක් බේරා ගන්න අපට හැකි වී තිබෙනවා.
අඩු බර උපත් දරුවෙක් රෝහලේ වැඩි කාලයක් තියා ගන්නවා. ඊට පසු නිවසට ගොස් මවට දරුවා රැක බලා ගත යුතු ආකාරයත් කියා දෙනවා. මසකට අඩු
බර උපත් 250 ක් පමණ සිදු වෙනවා.
මවුකිරි කළමනාකරණ ඒකකය අපේ රෝහලේ තවත් වැදගත් අංශයක්. මවුකිරි සම්බන්ධයෙන් මවුවරුන්ට ඇතිවන ගැටලු නිරාකරණයට විශේෂ උපදෙස් ලබා දීම මෙහිදී සිදු කෙරෙනවා. පැය 24 පුරා ම මේ ඒකකය විවෘතයි.
දරුවා රෝහලෙන් නිවසට ගෙන ගියාට පසුව වුවත් මවුකිරි උරාබීමේදී ගැටලු මතුවුණොත්, ආපසු මේ ඒකකයෙන් උපදෙස් ලබා ගත හැකියි. රෝහලෙන් නිවසට යද්දී මවට මේ සම්බන්ධ දැනුවත් කිරීමේ පත්‍රිකාවක් ලබා දෙනවා.
ඒ වගේම පසු ප්‍රසව කාලයේදී ඇතිවන තත්ත්වයන්ටත් ප්‍රතිකාර ලබාදීමට අප සූදානමින් සිටිනවා. බබාට අවදානම් තත්ත්වයකදීත් මවට අවදානම් තත්ත්වයකදීත් කඩිනමින් රෝහල කරා පැමිණිය යුතුයි.
අපේ රෝහලේ ඉතා ම හොඳ කැළි කසළ බැහැර කිරීමේ ක්‍රමයක් සකසා තිබෙනවා. ඒ නිසා නේවාසිකව ප්‍රතිකාර ලබන මවුවරුන් බැලීමට පැමිණෙන අයගෙන් අපි ඉල්ලන්නේ රෝහල අපවිත්‍ර කරන ෂොපින් බෑග් තැඹිලි වැනි ද්‍රව්‍ය රෝහලට ගෙනවිත් නැවත ඒවා රෝහලෙන් පිටව යන විට රැගෙන යන්න කියලයි.
මේ රෝහල විශේෂිත රෝහලක්. බොහෝ විට විස බීජ පැතිරීයාම සිදුවීමක් වුණොත් එය මේ රෝහලේ දරුවන්ට බලපානවා. අලුත උපන් දරුවන් විස බීජ වලට ඔරොත්තු දෙන්නේ නෑ.
මේ නිසා ම රෝහලේ විශේෂිත කාඩ් ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව ක්‍රියාත්මක වෙන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ගර්භණී මවුවරුන් වෙනුවෙන් සතියේ දින පහ සඳහා පැවැත්වෙන සායනවලදී ඒ ඒ දිනට විවිධ වර්ණ සහිත පොත බැගින් ලබාදීම සිදු කෙරේ.
සායනයක් සඳහා සහභාගී වීමේදී අදාළ පොත රැගෙන ඒම අනිවාර්ය වේ.


No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.