District General Hospital - Monaragala - Haemo Dialysis Unit

Dinamina Aarogya article - 7th March 2018

රුධිර කාන්දු පෙරණ ඒකකය -  මොණරාගල දිස්ත්‍රික් මහ රෝහල

මොණරාගල දිස්ත්‍රික් මහ රෝහල තුළ ක්‍රියාත්මක රුධිර කාන්දු පෙරණ ඒකකය හරහා ප්‍රදේශයේ වකුගඩු රෝගීන්ට සිදුවන්නේ ඉතා ඉහළ සේවාවක්. නේවාසික වෛද්‍යවරියන් දෙදෙනෙක් ද ඇතුළු 7 දෙනෙකුගෙන් සැදුම් ලත් හෙද කාර්ය මණ්ඩලය මෙන්ම 05 දෙනෙකුගෙන් යුතු සහායක කාර්ය මණ්ඩලය මඟින් ඉටුවන සේවාව මෙහිදී ඉතා විශේෂිතයි. මෙම රුධිර කාන්දුපෙරණ ඒකකය වෙත රෝගීන් යොමු වීම සිදුවන්නේ විධිමත් ක්‍රමවේදයකට අනුගතවයි. එම ක්‍රමවේදයට අනුව මොනරාගල දිස්ත්‍රික්කය පුරා පුර්ව හඳුනා ගැනීමේ සායන මඟින් සිදු කෙරෙන මූලික පරීක්ෂාවන් හරහා රෝගීන් හඳුනා ගැනෙන අතර ඔවුන්ගේ වකුගඩුවලට සැලකිය යුතු හානියක් ඇති බවට සැක කිරීමක් ඇති වූවොත් ඉන් අනතුරුව විශේෂඥ වෛද්‍ය පරීක්ෂාවකට යොමු කරනු ලැබේ. එම විශේෂඥ වෛද්‍ය පරීක්ෂාවෙන් අනතුරුව අදාළ වෛද්‍ය නිර්දේශ මත රෝගීන් මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලේ රුධිර කාන්දුපෙරණ ඒකකය වෙත යොමු වේ. එසේ ප්‍රතිකාර ලබන රෝගීන් 93 ක් පමණ මේ වනවිට එම ඒකකය මඟින් රුධිර කාන්දුකරණය සඳහා ලියාපදිංචි වී තිබේ. බිබිල, සියඹලාණ්ඩුව, බඩල් කුඹුර, වැල්ලවාය, ඇතුළු මොණරාගල දිස්ත්‍රික්කය පුරා විසිරුණු පූර්ව හඳුනා ගැනීම් මත මෙම රෝගීන් අදාළ ඒකක වෙත යොමු වන අතර මොණරාගල දිස්ත්‍රික්කයෙන් පිටත ද රෝගීන් මෙම ඒකකය වෙත යොමු කිරීම ද ඇතැම් අවස්ථාවල සිදු කෙරේ. ඒ අනුව ඇඹිලිපිටිය, පනාමුරය, ගොඩකවෙල වැනි රත්නපුර දිස්ත්‍රික්කය මූලික කරගත් රෝගීන් ද මෙම ඒකකයට ප්‍රතිකාර සඳහා යොමු කරනු ලබේ.
මෙම රුධිර කාන්දුපෙරණ ක්‍රියාවලිය සඳහා යොමු වන රෝගීන් අතුරින් බහුතරයකගේ මූලිකම අරමුණ තමන්ගේ ආයු කාලය තවදුරටත් වැඩි කර ගැනීමයි. නමුත් ඊට අමතරව වකුගඩු බද්ධ කිරීමේ අරමුණ ඇතිව ද මෙම ඒකකය යටතේ ප්‍රතිකාර ලබන රෝගීන් ද සිටිනු ලබන අතර එම පිරිස 10% ක් පමණ වේ. එසේ වුවත් මේ වන විට මොණරාගල දිස්ත්‍රික් මහ රෝහල තුළ වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් සිදු නොකෙරෙන අතර එම රෝගීන් නුවර, මාලිගාවත්ත , කරාපිටිය වැනි පහසුකම් වලින් යුත් රෝහල් වෙත මාරු කර යැවෙන තුරු විශේෂඥ වෛද්‍ය අධීක්ෂණය යටතේ මෙම ඒකකය තුළ ප්‍රතිකාර කරනු ලැබේ.
වර්ෂ 2011 දී එක් රුධිර කාන්දුකරණ යන්ත්‍රයක් පමණක්ව තිබියදී ආරම්භ කරන ලද මොණරාගල දිස්ත්‍රික් මහ රෝහල තුළ ක්‍රියාත්මක රුධිර කාන්දුපෙරණ ඒකකය මේ වනවිට යන්ත්‍ර 07 කින් සමන්විතයි. සාමාන්‍ය සේවා මුර යටතේ උදෑසන 7.30 ට පමණ ආරම්භ වන මෙම රුධිර කාන්දුකරණ ක්‍රියාවලිය සඳහා එක් යන්ත්‍රයකට එක් රෝගියෙකුට පැය 04 ක පමණ කාලයක් ගත වනු ලැබේ. එසේ එක් යන්ත්‍රයකින් රුධිරය කාන්දුකරණ සිදු කිරීමෙන් අනතුරුව නැවත රෝගියෙක් ඊට සම්බන්ධ කිරීමට ප්‍රථම එය පිරිසුදු කළ යුතු අතර එම යන්ත්‍රය පිරිසුදු කිරීමට පැයක පමණ කාලයක් අවශ්‍ය වේ.
සාමාන්‍යයෙන් රුධිර කාන්දුපෙරණ ක්‍රියාවලිය සඳහා රෝගීන් දින 03 කට වරක් එසේත් නොමැති නම් දින 04 කට වරක් රෝහල වෙත පැමිණිය යුතු වේ. නමුත් එය ස්ථීරව නිර්ණය කිරීමක් කළ නොහැකි අතර රෝගියා නැවත කොපමණ දින ගණනකින් පැමිණිය යුතු දැයි තීරණය වන්නේ අදාළ රෝගියාගේ ශාරීරික තත්ත්වය හා වෛද්‍ය නියමය අනුවය. මෙම රෝහල තුළ සිදුවන රුධිර කාන්දුකරණ ක්‍රියාවලිය සඳහා පැය 03, 04 කට පෙර රෝහල වෙත රෝගියා පැමිණිය යුතු අතර එහිදී ඔවුන්ව වාට්ටුව තුළට ඇතුළත් කර ගැනීම මූලිකව සිදු වේ. වාට්ටුවට ඇතුළත් වීමෙන් පසුව රෝගියාගේ වකුගඩු අකර්මණ්‍ය වීම මත මුහුණ දී ඇති සංකූලතා පිළිබඳව (රුධිර පීඩනය, ඇනීමියා තත්ත්වය, එරිත්ත්‍රොපොයිටීන් හෝර්මෝන ප්‍රමාණය ආදිය) මූලිකව පරීක්ෂා කර බලනු ලැබේ. පසුව එම තත්ත්වයන් මත ප්‍රතිකාර ලබා දීමට අවශ්‍ය නම් ප්‍රතිකාර ලබා දීම ද සිදු වේ. මෙම අවධානය රෝගියා රුධිර කාන්දුකරණය සිදු කරන අතරතුරදී මෙන්ම රෝහලෙන් පිටව යන තුරුම තබා ගැනීමට ද අදාළ වෛද්‍ය කාර්ය මණ්ඩල කටයුතු කරයි.
දැනට මොනරාගල දිස්ත්‍රික් මහ රෝහල තුළ රුධිර කාන්දුකරණය සඳහා ලියාපදිංචි වී ඇති 93 දෙනාට අමතරව නැවතත් අලුතින් රෝගීන් දෙදෙනෙක් හෝ තිදෙනෙක් පමණ එම පිරිසට එකතු වේ. එම සමස්ත රෝගීන් අතුරින් බහුතරය පිරිමි පාර්ශවයේ අයයි. ඒ වගේම එම පිරිස අතුරින් බොහෝදෙනා වයස අවුරුදු 20 -50 ත් අතර පසුවන අතර වයස අවුරුදු 16 - 17 වැනි වයස්වල පසුවන අය කිහිපදෙනෙක් ද ඒ අතර වේ.
මෙම රුධිර කාන්දුකරණ යන්ත්‍රයක් මඟින් සිදුවන ක්‍රියාවලිය පිළිබඳ විමසා බැලීමේදී එය කෘත්‍රිම වකුගඩුවක් ක්‍රියාකාරීත්වය හා සමානකමක් දක්වනු ලැබේ. එමඟින් ශරිරය තුළ වකුගඩු මඟින් සිදුවන බහිස්‍රාවීය අපද්‍රව්‍ය ඉවත් කිරීමේ ක්‍රියාපාටිපාටිය කෘත්‍රිමව සිදු කරනු ලැබේ. මෙම යන්ත්‍රයට රෝගියකු සම්බන්ධ කිරීමට ප්‍රථම අදාළ තැනැත්තාගේ ශරීරයෙන් පිටතට රුධිරය ඉවත් කර ගැනීමට මාර්ගයක් සකසා ගැනෙන අතර එය ජ්ඪඵබභතච ලෙසින් නම් වේ. එම ජ්ඪඵබභතච කුඩා සැත්කමක් මාර්ගයෙන් සකසා ගන්නා අතර එම විවරය මඟින් අපිරිසුදු රුධිරය ශරීරයෙන් ඉවත් කර ගැනීම සහ යන්ත්‍රය හරහා පිරිසුදු කරගෙන නැවත ශරීරගත කිරීම ද සිදු වේ.
සාමාන්‍ය ආකාරයට රෝගීන් රුධිර කාන්දුකරණය සඳහා එසේ යොමු වූවත් කෙටිකාලීන හා හදිසි තත්ත්වයන් යටතේ රුධිරය කාන්දුකරණය කළ යුතු වූ විට ඒ සඳහා කැතීටරයක් භාවිතා කරනු ලැබේ. එය ච්ඪචතරඵඪඵ ජචබඩඥබඥප නම් වන අතර මේ සඳහා තෝරාගනු ලබන්නේ ශරිරයේ තිබෙන ප්‍රධානතම රුධිර නාලිකාවකි. එය ශරීරයේ, ඉකිලි, පපු ප්‍රදේශය, ගෙල ආශි‍්‍රතව ප්‍රදේශවල වෛද්‍යවරයා විසින්ම සකසනු ලැබේ. එම කැතීටරය හරහා ද අදාළ රෝගියා කාන්දුකරණ යන්ත්‍රයට සම්බන්ධ කිරීමෙන් රුධිරය පිරිසුදු කළත් එය වැඩිපුර කාලයක් භාවිතා නොකරනු ලැබේ. ඊට හේතුව එම විවරය ශරීරයේ ප්‍රධාන රුධිර නාලිකාවක් හා සම්බන්ධ වීම නිසා විසබීජ ඇතුළු වීමේ යම් අවධානමක් තිබෙන බැවිනි.
මෙම යන්ත්‍රයට රෝගියකු සම්බන්ධ කිරීමට ප්‍රථම අදාළ රෝගියාගේ දත්තයන් ඊට ඇතුළත් කරනු ලැබේ. එසේ සම්බන්ධ කිරීමෙන් පසුව රුධිර පීඩනය, ග්ලූකෝස් මට්ටම, හෘද ස්පන්දනය ආදී විවිධ ශාරීරික තත්ත්වයන් පිළිබඳ දැඩි අවධානයක් මෙන්ම දැඩි නිරීක්ෂණයක් ද තබා ගැනීම මෙහිදි සිදු වේ. පෙර පැහැදිලි කළ පරිදි රෝහලට රෝගියා ඇතුළත් කර ගන්නා මොහොතේ පටන් රුධිර කාන්දුකරණය සිදු කෙරෙන අවස්ථාව හා රෝහලෙන් පිටව යන තුරු අදාළ රෝගියා පිළිබඳ ඉතා ඉහළ සැලකිල්ලක්, අවධානයක් තබා ගනිමින් විවිධාකාර හේතු මුල් කර ගනිමින් වකුගඩු අකර්මණ්‍ය වීම නිසා රුධිර කාන්දුකරණයට ලක්වන රෝගීන් වෙනුවෙන් මොණරාගල රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකය මඟින් ඉටුවන සේවාව සැබැවින්ම අගය කළ යුත්තක්.

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.