National Institute of Mental Health - Angoda

Dinamina - Aarogya article - 1st December 2010


රෝගී මනස සුවපත් කරන අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය
 

අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ
අධ්‍යක්‍ෂ මනෝ වෛද්‍ය විශේෂඥ
ජයාන් මෙන්ඩිස්
මිනිසා හසුරුවන්නේ සිතට අවශ්‍ය පරිදිය. සිත යනු සිතුවිලිවල එකතුවකි. සියලුම මානසික තත්ත්ව හා සිතුවිලිවල ක්‍රියාකාරීත්වය ඇතිවන්නේ අප ශරීරයේ වැදගත්ම අංගයක් වන මොළයේ ආධාරයෙනි.
මොළයේ ක්‍රියාකාරීත්වය රෝගී වුවහොත් ශරීරික නිරෝගී භාවය කෙතරම් උසස් මට්ටමක තිබුණද ප්‍රයෝජනයක් නැත. එනිසා මානසික නිරෝගී භාවය ඉතාම වටිනේය.
මානසික රෝග ඇතිවීමේදී මොළය තුළ ජීව විද්‍යාත්මක වෙනස්කම් රැසක් ඇතිවේ. ඊට අමතරව සමාජයීය වෙනස්කම්, විවිධ මානසික තත්ත්වද මේ රෝග ඇතිවීමට හා දීර්ගකාලීනව පැවතීමට හේතුවේ.
මානසික රෝගීන් මෙන්ම ඔවුන්ගේ ඥාතීන්ද මුල් කාලයේදී තම ඥාතියාට මානසික රෝගයක් වැළඳී ඇතැයි පිළිගැනීමට අකමැතිය. අවාසනාවකට මෙන් අප රටේ සිදුවන්නේ එවැනි රෝගීන් රෝහල් ගතකරනවා වෙනුවට වෙනත් දෙයකි. අනවබෝධය හා මිත්‍යා මත කෙරෙහි ඇති ඇල්ම නිසාත් සමාජ කැළල නිසාත් නොයෙක් වැරැදි මාර්ගවලට යොමුවී ප්‍රතිකාර ලබා ගැනීමට ගොස් දුකට පත්වූ අය බොහෝ වෙති.
කායික රෝගයක් වැළදුණු අයට සමාජයෙන් ලැබෙන සැලකිල්ල මානසික රෝගියෙක් වෙත නොලැබීමද අවාසනාවකි. මානසික රෝගියෙකුහට සමාජයෙන් බොහෝවිට ලැබෙන්නේ විහිළුවට ලක්වීම, කොන් කිරීම හා නොසලකා හැරීමයි.
මේ තත්ත්වය වහා වෙනස්විය යුත්තකි. ඔවුන්ද මේ සමාජයේම කොටස්කරුවෝය. එබැවින් මානසික රෝගීන් කෙරෙහි සමාජය මීට වඩා සාධාරණව බැලිය යුතුය.
මෙවර අපේ රෝහල වෙන්්වන්නේ මානසික රෝගීන් උසස් මට්ටමින් රැකබලා ගන්නා අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය වෙනුවෙනි. එහි අධ්‍යක්‍ෂ මනෝ වෛද්‍ය විශේෂඥ ජයාන් මෙන්ඩිස් මහතා අදහස් දැක්වූයේ මෙසේය.
මානසික රෝගීන් වර්ග කීපයක් ඉන්නවා. මේ ඕනෑම රෝගියෙක් සඳහා අපි ප්‍රතිකාර කරනවා. වයසට යද්දී ඇතිවන මානසික ආබාධ සහ මතකය අඩුවීම නිසා ඇතිවන තත්ත්වවලදී ප්‍රතිකාර ලබාදීමත් මේ රෝහලේදී කෙරෙනවා. වයසක රෝගීන් ඇතුළත් කිරීම සඳහා වෙනම වාට්ටුවක් තියෙනවා.
අධිකරණ මනෝ වෛද්‍ය ක්‍ෂේත්‍රයේ රෝගීන් වෙනුවෙන් වෙනම වාට්ටුවක් තියෙනවා. මේ වැඩ සටහන හිරගෙදර සමඟ අත්වැල් බැදගෙන යන වැඩ සටහනක්. හිරගෙදරදී ඇතිවන මානසික ආබාධ සඳහා ප්‍රතිකාර ලබාදීම මෙහිදී සිදුවෙනවා.
කාන්තාවන්ට බබෙක් ලැබුණු පසු ඇතිවන මානසික රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා දරුවාත්, මවත්, පවුලේ උදවියත් එකට සිටිය හැකි වෙනම වාට්ටුවක් තියෙනවා. මානසික රෝගීන්ට ඇතිවන වෙනත් රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර ලබාදීමට වෙනම සායනික වාට්ටුවක් තියෙනවා. සමහර මානසික රෝගත්, කායික රෝගත් එකට එක්ව පවතිනවා.
මානසික රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා වූ විද්යුත් කම්පන තරංග ප්‍රතිකාර ඒකකයක් රෝහල සතුයි.
මන්ද බුද්ධික අවස්ථාවේදී මානසික රෝග හැදෙන්න තිබෙන ප්‍රවණතාව වැඩියි. එවැනි අය ඇතුළත් කිරීමට වෙනමම වාට්ටු සංකීර්ණයක් තිබෙනවා.
මානසික රෝගියෙකුගේ රෝගී තත්ත්වය සති 3ක්, සති 6ක් ගත වෙද්දී සුව වෙනවා. සමහර අයගේ රෝගී තත්ත්වය සුවවීමට ටික කාලයක් ගතවෙනවා. මෙවැනි අයට රැකියාව අහිමිවීම, සමාජයට යාමට නොහැකිවීම වැනි පරිසරයක් නිර්මාණය වෙනවා. ඒ අය පුනරුත්ථාපනය කළ යුතුයි.
දීර්ග කාලීනව රෝහලේ ඉන්න මානසික රෝගීන් ඉන්නවා. ඒ අයව කිසියම් හේතුවක් නිසා ඥාතීන් නිවසට ගෙනයාමට අකමැතියි. මේ අයව දීර්ඝ කාලීනව පුනරුත්ථාපනය සඳහා වෙනම වාට්ටුවකට යොමු කරනවා.
මානසික සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ විවිධ පුහුණුවීම් කළ යුතුයි. රෝගියා බලා ගන්නා ආකාරය, දීර්ගකාලීනව රෝගියෙක් බලා ගැනීම, පුනරුත්ථාපන ක්‍රමයක් පවත්වාගෙන යන්නේ කොහොමද? වයස්ගත මානසික රෝගීන් රැකබලා ගැනීම, මතකය අමතක වූ රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම වැනි ක්‍ෂේත්‍ර සඳහා සේවක මණ්ඩල පුහුණුවීම් ලබා දෙනවා.
මානසික ප්‍රතිකාර ඒකකවල සියලුම කාර්යමණ්ඩල පුහුණු කරන්නේත් මේ රෝහල ආශි‍්‍රතවයි.
මානසික සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ විවිධ පර්යේෂණ කිරීමත් මේ රෝහලේ කාර්යභාරයක්. සියදිවි නසාගැනීමට තැත්කළ මානසික රෝගීන් ඉන්නා පවුල්වල තත්ත්වය, එවැනි රෝගීන් හා එම පවුලේ අය අතර නැවත යහපත් සබඳතා ගොඩනැගීම වැනි පර්යේෂණ මේ රෝහලේ කෙරෙනවා.
මානසික රෝගවලට ප්‍රධාන වශයෙන් බලපාන්නේ ජානමය හේතුයි. ඉපදෙද්දීම ජානවල ඇතිවන තත්ත්ව අනුවයි බොහෝ මානසික රෝග හටගන්නේ. සමහරවිට මව හෝ පියා මානසික ආබාධයකින් පෙළෙන්නේනම් උපදින දරුවාටත් එවැනි තත්ත්වයක් ඇතිවිය හැකියි. ඊට අමතරව නොයෙක් පීඩා අවස්ථා ඒ වගේම විවිධ වයස් කාණ්ඩවලදී ඇතිවන තත්ත්වත් මානසික රෝග සඳහා බලපානවා.
මොළයේ ඇතිවන රසායනික වෙනස්වීම් හේතුවෙන්ද මානසික ආබාධ ඇති වෙනවා. අපි හිතනවා ළමයිනට මානසික රෝග හැදෙන්නේ නැහැ කියලා. නමුත් ළමයින්හටත් මානසික රෝග හැදෙනවා. බුද්ධිය අඩුවීම නිසා ඇතිවන මානසික රෝග, හැසිරීමේ වෙනස්වීම්, ක්‍රියාකාරීත්වය වැඩිවීම, උපතින්ම ඇතිවන මානසික රෝග ළමයිනට ඇතිවිය හැකියි.
භින්නෝන් මාදය උග්‍ර මානසික රෝගී තත්ත්වයක් මේ රෝගී තත්ත්වයට ඉක්මනින් ප්‍රතිකාර කිරීමෙන් රෝගය සුවවෙනවා. මේ රෝගීන් වෛද්‍යවරයෙක් නියමකරන බෙහෙත් නිසි පරිදි ලබාගැනීම ඉතා වැදගත්. ඒ වගේම නව යොවුන් වියේ ළමයාගේ හැසිරීමේ වෙනස්කමක්, වෙනදාට වඩා කේන්ති යනවානම්, ක්‍රියාකාරීත්වයේ වෙනසක් ඇතිවෙනවානම් මවුපියන් ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. මේ වෙනස්කම් වයසෙ වැරැද්ද කියලා හිතන්න හොඳ නැහැ. වහාම තම ළමයාව මානසික වෛද්‍යවරයෙක් ළඟට ගිහින් පෙන්වීම ඉතාම වැදගත්.
විශේෂයෙන් යොවුන් වියේදී අන්තර් සම්බන්ධතා, පේ‍්‍රම සබඳතා, පන්තියේ ළමයින් කරන අනවශ්‍ය විහිළු, ඉගෙනීම සම්බන්ධ ගැටලු නිසා මානසික රෝගී තත්ත්වලට පත්විය හැකියි.
අවුරුදු 21ත් 22 කාලයේදී විෂාදය නමැති මානසික රෝගී තත්ත්වය වැළඳීමේ ඉඩකඩ වැඩියි. මේ අවස්ථාවේදී වෙනදා මෙන් පීඩාකාරී දේවල් දරාගැනීමට නොහැකියි. හිත කණස්සලුගතිය වගේම, ජීවත්වෙලා වැඩක් නැහැ වැනි සිතුවිලිත් ඇති වෙනවා. මේ රෝග තත්ත්වයටත් කඩිනමින් ප්‍රතිකාර ලබාදිය යුතුයි. සුළු මානසික රෝගී තත්ත්ව වන නිතර නිතර අතසේදීම, අනවශ්‍ය බියක් ඇතිවීම සමාජය ඉදිරියට ගොස් කතා කිරීමේ අපහසුව සමාජ කණ්ඩායම් සමඟ ගැවසීමේ අකමැත්ත වැනි තත්ත්වත්, තරුණ කාලයේදී ඇතිවිය හැකියි. මෙවැනි රෝගී තත්ත්ව ඇති අය ගැනත් සමාජය වැඩි අවධානයක් යොමු කිරීම වැදගත්.
කාන්තාවන්ගේ ඔසප්වීම නැවතීමේ අවස්ථාවට එනවිට විෂාදය වැනි මානසික ආබාධ තත්ත්වයට ලක්වීමේ අවධානම තිබෙනවා. හෝමෝනවල ඇතිවන වෙනස්වීම්වලට මුහුණදීමට නොහැකිවීම නිසා මේ තත්ත්වය ඇතිවිය හැකියි. සමහර කාන්තාවන්ට මුළු ඇඟම පිච්චෙනවා, දැවිල්ල ගන්නවා විවිධ ඇෙඟ් අමාරු ඇතිවීම් දැනෙනවා. මෙවැනි තත්ත්වවලදී ප්‍රතිකාර ලබාගත යුතුයි.
අවුරුදු 60න් පසු ඇතිවන මානසික රෝගී තත්ත්වයක් වන්නේ මතකය අඩුවීමයි. මතකය අඩුවීම වයසට යාමත් සමඟ සිදුවන දෙයක්. නමුත් වයසට සාපේක්‍ෂව මතකය අඩුවීම වැඩිනම් එය මානසික රෝග ලක්‍ෂණයක්.
මානසික රෝග සියල්ලටම ප්‍රතිකාර තිබෙනවා, නමුත් ප්‍රතිකාර කඩිනමින් නියමිත පරිදි ලබා ගැනීමෙන් මානසික රෝගී තත්ත්වයන්ගෙන් මිදිය හැකියි.
මේ රෝහලට වැඩිපුරම ඇතුල්වන්නේ දරුණු මානසික රෝග තියෙන අය. නමුත් අපි සෑම මානසික රෝගියෙක් සඳහාම ප්‍රතිකාර කරනවා. මේ රෝහලේ මානසික විශේෂඥ වෛද්‍යවරුන් බොහෝ රෝහල්වල වෛද්‍ය සායන පවත්වනවා. ඒ වගේම මේ රෝහලෙත් සායන පවත්වනවා. මානසික රෝග හැදෙන හැම කෙනෙක්වම රෝහල් ගතකළ යුතු නැහැ. මානසික රෝගී තත්ත්වයකදී රෝගියා නිවසේ තබාගෙන ප්‍රතිකාර කළ නොහැකිනම් රෝහල්ගත කිරීමේ වරදක් නැහැ. විශේෂයෙන් රෝගියා බෙහෙත් බොන්නේ නැතිනම් ටික දිනක් රෝහල්ගත කිරීම වරදක් නොවෙයි.
රෝගියා නේවාසික ප්‍රතිකාර සඳහා යොමුවූ පසු බෙහෙත් ලබාගත යුතු ආකාරය අපි පහදා දෙනවා. රෝගියාගේ ඥාතීන්ට රෝගියා රැකබලාගත යුතු ආකාරය ගැන කියා දෙනවා. සමහර රෝගීන්ගේ ඥාතීන් හිතනවා රෝගියා කරන්නේ බොරුවක් කියා. එවැනි අවස්ථාවලදී රෝගියා හා පවුලේ අනිත් අය අතර අඬදබර පවා ඇතිවෙනවා. එවැනි අවස්ථාවලදී අපි ඊට මැදිහත්වී අවශ්‍ය උපදෙස් ලබා දෙනවා.
මේ රෝහලේ කාර්ය මණ්ඩලය මීට වසර 10කට පමණ පෙර හොඳ පුහුණු තත්ත්වයක හිටියේ නැහැ.ඒත් මේ වන විට රෝහලේ සියලුම කාර්යමණ්ඩල මේ රෝහලට ගැලපෙන පරිදි පුහුණු කෙරෙනවා.
මානසික රෝගීන්ට ප්‍රතිකාර ලබාදිය යුතු ආකාරය ගැන කාර්ය මණ්ඩලයට විදේශීය පුහුණුවීම් පවා ලබාදෙනවා. විදේශ නිලධාරීන් රෝහලට ගෙන්වා ඒ අය යටතේ විවිධ පුහුණුවීම් ලබාදුන්නා. මේ නිසා මේ වන විට මානසික රෝගීන් බලාගැනීම සඳහා රෝහල් කාර්ය මණ්ඩලය හොඳ තත්ත්වයක සිටිනවා. රෝහල් කාර්යමණ්ඩලයේ ආකල්පමය වෙනසක් ඇතිකිරීම නිසා හොඳ සේවාවක් ලබාගත හැකි වුණා.
නොයෙකුත් බාහිර ආයතන සමඟ අපි සම්බන්ධ වුණා. ඒ අයගේ සහභාගීත්වය තුළින් රෝහලේ කටයුතු වැඩි දියුණු කළා.
විශේෂයෙන්ම විදේශ රටවල මානසික රෝගීන් සමඟ කටයුතු කරන අය මේ රෝහලට ආවා. ඔවුන් අපේ කාර්ය මණ්ඩලය සමඟ වැඩකරනවා. විදේශීය විශ්වවිද්‍යාල, පුහුණු ආයතන ලෝක සෞඛ්‍ය සංවිධානය අපට විවිධ වැඩසටහන් ලබාදෙනවා.
අද මම හොඳීන් හිටියට හෙට මට මානසික රෝගයක් හැදෙයිද කියන්න බැහැ. අවුරුදු 60 ඉවරවෙලා මානසික රෝගයක් හැදෙයිද දන්නේ නැහැ. මේ සමාජයේ හැමෝටම මානසික රෝගයක් හැදීමේ අවධානම තියෙනවා. මානසික රෝගයක් කාගෙන්වත් බෝවන්නේ නැහැ.
සමාජය හැමවිටම දකින්නේ බෙහෙත් ගන්න බැරුව පාරට වැටිච්ච මානසික රෝගීන් විතරයි. මානසික රෝග හැදිච්ච අයගෙන් කලබලකාරී තත්ත්වයට පත්වන්නේත් දරුණුවන්නේත් ඉතාම අඩු පිරිසක්. එහෙත් සමාජය හිතන්නේ මානසික රෝගයක් සමානයි දරුණු රෝගයක් තව කෙනෙක්ට කරදර කාරයෙක්, ප්‍රචණ්ඩකාරී කෙනෙක්, කියලයි. මානසික රෝගීන් ප්‍රචණ්ඩ වන්නේ සමාජය නිසයි.
මානසික රෝගීන්ගේ ක්‍රියාකාරකම් බලන්නට නේවාසික වාට්ටු වෙත අප ගියවිට ඔවුන් අප පිළිගත්තේ ඉතා සුහදශීලීවයි. ඇත්තෙන්ම ඒ වාට්ටුවල ඔවුන් ගතකරන්නේ ඉතා පී‍්‍රතිමත් ජීවිතයක්. එහෙත්... මානසික රෝගියෙක් අප හමුවේ කියූ මේ කවි පදවැල්වලින් කියන්නේ ලොකු කථාවක්. ඒ ගැන සිතන්න ඔබට බාරයි.
ගන්නකො අයියෙ මල් දෝතක් ඔබෙ අතට
ගොසින් පුදන්නකො මා සිහිකර කළුතර බෝධියට
කියන්න අයියෙ ගාථාවක් අහගන්න
පතන්න අයියෙ එක කුස මතු උපදින්න
අතින් පෑන අරගෙන මම ලියනවිට
දෙනෙතින් කදුළු වැටෙනව මේ ලිපිය මත
වමතින් පිස දමා දකුණින් ලියනවිට
හොඳින් සිහි වුණා අම්මේ ඔබව මට
විශේෂ ස්තුතිය
අංගොඩ ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ හෙද නිලධාරිනී නිර්මලා පෙරේරා මෙනවියට

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.