National Institute for Nephrology, Dialysis and Transplantation (Kidney Hospital) - Maligawatta

Articles
1)  වකුගඩු රෝගීන් ගේ ජීවිතවලට බලාපොරොත්තුවක් කැඳවන වෘක්කවේද කාන්දුපෙරීම හා වකුගඩු බද්ධ කිරීමේ ජාතික මධ්‍යස්ථානය 
2) රාජකාරියෙන් ඔබ්බට මානුෂික මෙහෙවරක් ඉටු කරන මාළිගාවත්ත ජාතික වකුගඩු මධ්‍යස්ථානය
3) වකුගඩු රෝගීන් සඳහා වෙන්වූ මාළිගාවත්ත වකුගඩු රෝහල


Dinamina - Aarogya Article - 7th March 2018

වකුගඩු රෝගීන් ගේ ජීවිතවලට බලාපොරොත්තුවක් කැඳවන වෘක්කවේද කාන්දුපෙරීම හා වකුගඩු බද්ධ කිරීමේ ජාතික මධ්‍යස්ථානය

විශේෂඥ වෛද්‍ය රත්නසිරි ඒ. හේවගේ

අධ්‍යක්ෂ වෘක්කවේද කාන්දුපෙරීම හා වකුගඩු බද්ධ කිරිමේ ජාතික මධ්‍යස්ථානය

අද වන විට අප රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට විශාල අභියෝගයක්ව පවතින බෝ නොවන රෝග ප්‍රවණතාවේ කැපී පෙනෙන ගැටලුවක් ලෙසින් වකුගඩු රෝග ව්‍යප්තිය හඳුනාගත හැක. ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවේ ප්‍රදේශ ගණනාවකට දැඩි තර්ජනයක්ව පවතින නිදන්ගත වකුගඩු රෝගය සමස්ත සමාජයටම දැඩි බලපෑමක් සහිත සෞඛ්‍ය ගැටලුවලින් එකක් බවට පත් වී ඇත.
මෙහිදීරෝගියා ඇතුළු පවුලේ අයට මින් සිදුවන අගතියට අමතරව ඉන් සමස්ත රටට සිදුවන බලපෑම ද අතිමහත්ය. ඒ අනුව මෙම ගැටලුව හමුවේ. එය වළක්වා ගැනීමට, පාලනයට හා රෝගීනට අවශ්‍ය ප්‍රතිකාර සහ අනිකුත් පහසුකම් සැලසීම අද වන විට ජාතික අවශ්‍යතාවක්ව පවතියි.

වකුගඩු රෝග

ශ්‍රී ලංකාවේ වකුගඩු රෝග ගණනාවක් පිළිබඳ අපට හඳුනාගත හැක. එසේ වකුගඩුවලට බලපාන රෝග බොහොමයක් හඳුනාගත හැකි වුවත් නිදන්ගත වකුගඩු රෝග ලෙස හඳුනාගන්නා තත්ත්වය අපට මෙසේ පැහැදිලි කරගත හැක. එනම් මාස තුනකට වඩා වකුගඩුවේ පවතින ක්‍රියාකාරීත්වයේ හෝ ව්‍යුහයේ දැකිය හැකි වෙනසක් නිදන්ගත වකුගඩු රෝග තත්ත්වයක් ලෙසින් අපට හඳුනාගත හැක.
තව ද යම් අවස්ථාවක මෙවැනි නිදන්ගත රෝග තත්ත්වයක් පටන් ගැන්මේදී කිසිදු වෙනසක් නොපෙන්විය හැක. එසේ වුවත් එවැනි තත්ත්වයකදී වකුගඩුවේ ව්‍යුහය හානියට පත්වෙමින් තිබිය හැක. එසේම යම් අවස්ථාවක වකුගඩුවේ ව්‍යුහයේ ගැටලුවක් නැතත් ක්‍රියාකාරීත්වයේ ගැටලු තිබිය හැකිය. මෙය නිදන්ගත වකුගඩු රෝගයක මුලික අවස්ථාව ලෙසින් හඳුනාගත හැක. මෙම තත්ත්වයේ සිට වකුගඩුවල ක්‍රියාකාරීත්වය මුළුමනින්ම නැතිනම් සම්පුර්ණයෙන්ම නතර වීම මෙම රෝගී තත්ත්වයේ අවසාන නැතිනම් උග්‍රතම අවස්ථාව ලෙසින් හඳුනාගත හැක.
මෙම සියවසේ ආරම්භයේ පටන් ලොවට පෙනී ගිය කරුණක් නම් වකුගඩු රෝගවල ව්‍යාප්තියයි. ශ්‍රී ලංකාවේද ක්‍රමයෙන් මෙහි ප්‍රවණාතාවක් විශේෂයෙන් 2000 වසරෙන් පසු දැකගත හැකි වු අතර වර්ෂ 2008 දී මෙම වකුගඩු රෝග ප්‍රවණතාවට පිළිතුරක් ලෙස සෞඛ්‍යය අමාත්‍යංශය මඟින් මෙම ජාතික වකුගඩු මධ්‍යස්ථානය ආරම්භ කරනු ලැබීය.
එහිදී 2005 - 11 - 15 වන දින මෙම ජාතික වකුගඩු මධ්‍යස්ථානයට මුල්ගල තැබුණු අතර 2009 - 11 - 14 වැනි දින මෙම මධ්‍යස්ථානය ඉදිකිරිම් සම්පුර්ණ කර විවෘත කෙරිණි. ඉන් අනතුරුව මෙම මධ්‍යස්ථානයේ පළමුවැනි සායනය 2010 - 01 - 19 දින ආරම්භ කෙරිණි. මේ වන විට වසරකට රෝගීන් තුන්දහසක් පමණ මෙම ජාතික මධ්‍යස්ථානයේ ලියාපදිංචි වන අතර, වර්ෂ 2010 වකුගඩු බද්ධ කිරීම් දෙකකින් ඇරඹි මෙම ආයතනය 2017 වසර වන විට වසරකට වකුගඩු බද්ධයන් 52ක් දක්වා සිදුකිරීමේ හැකියාව ලබා ඇත. වෘක්කවේද කාන්දුපෙරීම හා වකුගඩු බද්ධ කිරිමේ ජාතික මධ්‍යස්ථානය මුලින් ආරම්භ වුයේ ජාතික රෝහලේ අනුබද්ධිත ආයතනයක් ලෙසින්ය. නමුත් මේ වන විට මෙම ජාතික වකුගඩු මධ්‍යස්ථානය ස්වාධීන ආයතනයක් ලෙසින් ක්‍රියාත්මක වේ.

කාර්යයන්

වෘක්කවේද කාන්දුපෙරීම හා බද්ධ කිරීමේ ජාතික මධ්‍යස්ථානය නැතිනම් ජාතික වකුගඩු මධ්‍යස්ථානය මගින් වකුගඩු රෝග වැළැක්වීම සම්බන්ධව සිදු කරන කාර්යයභාරයන්
සායන පැවැත්වීම
රුධිර කාන්දුකරණය
පරිතාන කාන්දුකරණය
වකුගඩු බද්ධ කිරීම්
වකුගඩු රෝග පෙර හඳුනා ගැනීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
වකුගඩු දන්දීමේ කාඩ්පත හඳුන්වා දීම
පර්යේෂණ
කාර්ය මණ්ඩල සඳහා පුහුණුව ලබාදීම
දැනුවත් කිරීම් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
සහන සත්කාරක සේවා සැලසීම
ප්‍රතිපත්ති හා සැලසුම් සම්පාදනය

වකුගඩු බද්ධයන් සඳහා රෝගීන් ගැලපීමට අවශ්‍ය තත්ත්ව සොයා බැලීම සඳහා වූ පරිගණක මෘදුකාංගයක් හඳුන්වා දීම

මෙය ද ජාතික වකුගඩු මධ්‍යස්ථානය මගින් වකුගඩු රෝග ප්‍රතිකාර ක්‍රියාවලිය සඳහා ක්‍රියාත්මක කර ඇති ඉතා සුවිශේෂී වැඩපිළිවෙළකි. මෙම පහසුකම අනුව රෝගියකුට බද්ධයක් සඳහා අවශ්‍ය වෙනත් අයෙකුගේ වකුගඩුවක් ගැලපීමේ කටයුතු ඉතා සාර්ථකව මෙහිදී සිදුකළ හැකිය.
මීට අමතරව ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින වකුගඩු රෝගීන් අතර එකමුතුවක් ඇති කරවන වැඩසටහන් ගණනාවක් එනම් වකුගඩු සංගම් ඇති කිරීමට කටයුතු කිරීම, විවිධ සුබ සාධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, මහජනතාව, පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම ආදි සේවා රැසක් මෙම ජාතික වකුගඩු මධ්‍යස්ථානය හරහා සිදු කෙරේ.
මේ අතර සෞඛ්‍යය අමාත්‍යංශය වකුගඩු රෝග නිවාරණය පිළිබඳ ජනාධිපති කාර්යසාධන බලකාය ඉතා සුවිශේෂී මැදිහත් වීමක් හා දායකත්වයක් මීට ලබා දේ. ඊට අමතරව වකුගඩු රෝග නිවාරණය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන දිවයිනේ වෙනත් විවිධ ආයතන රැසක් සමඟ එක් වී කටයුතු කිරීමට ද මෙම ජාතික වකුගඩු මධ්‍යස්ථානය ක්‍රියාකරයි.

--------------------------------------------------------------------------------------------------------------------------

Dinamina - Aarogya Article - 3rd May 2017


රාජකාරියෙන් ඔබ්බට මානුෂික මෙහෙවරක් ඉටු කරන මාළිගාවත්ත ජාතික වකුගඩු මධ්‍යස්ථානය

වකුගඩු රෝගය ශ්‍රී ලංකාව තුළ මේ වනවිට ජාතික ගැටලුවක් බවට පත්වෙමින් පවතී. වකුගඩු රෝගයට ගොදුරුවන රෝගීන් සංඛ්‍යාව අවම කර ගැනීමට, දැනටමත් රෝගයට ගොදුරු වී ඇති පිරිස එයින් මුදවා ගැනීමට විශේෂ වැඩසටහන් රටපුරා දියත් වෙමින් පවතී. වකුගඩු රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට වෙහෙසෙන, මෙම රෝගය පිළිබඳ පර්යේෂණ සිදු කරමින් සුවිශේෂී සේවාවක් සපයන රෝහලක් වෙත පසුගිය දිනෙක අපි ගියෙමු.
ඒ කොළඹ 10 මාළිගාවත්ත ප්‍රදේශයේ ජයන්ත වීරසේකර මාවතේ නො. 349 දරන ස්ථානයේ පිහිටි වෘක්කවේද, කාන්දුපෙරීම සහ වකුගඩු බද්ධ කිරීමේ ජාතික මධ්‍යස්ථානයයි. මෙය වකුගඩු රෝගීන් සඳහාම ප්‍රතිකාර කෙරෙන, මෙම රෝගය පිළිබඳව විද්‍යාත්මක පර්යේෂණ සිදු කරන ලංකාවේ පිහිටි එකම රෝහලයි.
මෙම රෝහලින් ප්‍රතිකාර ගැනීමට පැමිණෙන පිරිස විශේෂ රෝගීන් ලෙස සළකා ඔවුනට අවශ්‍ය සියලුම ප්‍රතිකාර අවශ්‍යතාවන් සපයා දීමට රෝහල් අධ්‍යක්ෂවරයාගේ පටන් සියලුම සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ගන්නේ අපමණ වෙහෙසකි. ඔවුන් සිදු කරන්නේ තමන්ගේ රාජකාරියට එහා ගිය ඉතා මානුෂීය සේවාවකි.
මෙම රෝහල ආරම්භ වූයේ 2008 වර්ෂයේදීය. ඒ, වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය රිෂ්වි ෂෙරීෆ් ඇතුළු පිරිසක් මෙවැනි රෝහලක අවශ්‍යතාවය අදාල බලධාරීන්ට පෙන්වා දීමෙන් පසුවය.
මෑතක් වනතුරුම කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරු මෙහි සේවාවන් සඳහා නොමසුරුව දායක වී ඇත. සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ පවතින වෙනමම රෝහලක් ලෙස, වකුගඩු රෝගය පිළිබඳව පර්යේෂණ කරන ඒ පිළිබඳව ප්‍රතිපත්ති සම්පාදනය කරන ජාතික මධ්‍යස්ථානයක් ලෙසත් තම සේවය ඉතා පුළුල් ලෙස සිදු කිරීමට මේ වනවිට මෙම රෝහලට හැකියාව ලැබී ඇත. වර්තමානයේදී මෙම වකුගඩු රෝහලේ රෝහල් අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන්නේ වෛද්‍ය රත්නසිරි ඒ හේවගේ මහතාය.
වකුගඩු රෝගයට ගොදුරු වී ඇති අයකු මුලින්ම හඳුනා ගනු ලබන්නේ එම රෝගියා මූලික ප්‍රතිකාර ගනු ලැබූ වෛද්‍යවරු විසිනි. වකුගඩු රෝගයේ අදියරයන් පහක් (5) හඳුනාගෙන ඇති අතර අදාළ රෝගියාගේ රෝගය 1,2 හෝ 3 වන අදියරේ පවතී නම් එම රෝගියාට ලංකාවේ පිහිටි ඕනෑම රෝහලකින් ප්‍රතිකාර ගැනීමේ හැකියාව ඇත.
එහෙත් රෝගය පවතින්නේ 4 වන හෝ 5වන අදියරේ නම් අදාළ රෝගියා සඳහා විශේෂිත ප්‍රතිකාර ලබාදිය යුතුය. ඒ සඳහා වකුගඩු රෝගීන් සඳහාම වෙන්වූ විශේෂ පහසුකම් සහිත රෝහලක් වෙත යොමු කළ යුතුය.
මාළිගාවත්ත ප්‍රදේශයේ පිහිටි මෙම රෝහල එවැනි විශේෂිත රෝහලකි. මෙහි බාහිර රෝගී අංශයක් (ර්‍ණර්‍ථච්) නොමැත. මෙම රෝහල වෙත රෝගීන් යොමුවන්නේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්දේශයන් මතය.
මාළිගාවත්ත වකුගඩු රෝහල වෙත පැමිණෙන රෝගීන් පළමුව ලියාපදිංචි කෙරේ. ඉන්පසුව රෝගියාව සායනයක් වෙත යොමු කෙරේ. ඉන්පසුව විශේෂඥ වෛද්‍යවරු ඇතුළු වෛද්‍ය කාර්ය මණ්ඩලයේ අධීක්ෂණ යටතේ රෝගියාට ප්‍රතිකාර කෙරේ.
රෝගියකුගේ සායන දිනයට සතියකට කලින් රෝගියාව රෝහලට කැඳ වේ. ඒ, අවශ්‍ය වෛද්‍ය පර්යේෂණ සඳහා රුධිරය ලබා ගැනීමටය. රෝගියා සායනයට පැමිණෙන දිනය වනවිට එම වෛද්‍ය වාර්තා රෝගියා වෙනුවෙන්ම සැකසූ ලිපි ගොනු වේ ඇත. රෝගියා වෛද්‍යවරයා වෙත යොමුවන්නේ එම වෛද්‍ය වාර්තා ද සමඟය. එම සියලුම වෛද්‍ය පරීක්ෂණ සිදු කිරීම සඳහා පරීක්ෂණාගාරයක් රෝහලේ ඇත.
ඒ සඳහා පුහුණුවලත් පරීක්ෂණාගාර කාර්ය මණ්ඩලයක් කඩිසරව සේවයේ යෙදී සිටිති. වකුගඩු රෝගීන් සඳහා වන වෛද්‍ය පරීක්ෂණවලින් 90%කටත් වැඩි සංඛ්‍යාවක් මෙහිදී සිදු කළ හැකි අතර රෝගීන් සඳහා අවශ්‍ය වන ඇතැම් පරීක්ෂණ පමණක් පිටතින් සිදු කෙරේ.මෙම පරීක්ෂණාගාරයේ දිනකට රෝගීන් 100කට අධික සංඛ්‍යාවකගේ පරීක්ෂණ වාර්තා සැකසේ.
මෙහිදී සායන වෙතින් වෛද්‍යවරු නිර්දේශ කරනු ලබන ඖෂධ නිකුත් කිරීමට රෝහල තුළ ඖෂධ ශාලාවක් ද ඇත.
රුධිර කාන්දු පෙරීමේ අංශය හෙවත් ඩයලයිසිස් ප්‍රතිකාර ලබාදෙන අංශය මෙම රෝහලේ සුවිශේෂී අංශයකි. මේ සඳහා යොමුවන්නේ විශේෂඥ වෛද්‍ය නිර්දේශය මතය.
ස්වභාවික වකුගඩු මඟින් සිදු කෙරෙන කාර්ය කෘත්‍රිමව සිදු කෙරෙන්නේ මෙම අංශයේදීය. ඒ සඳහා යන්ත්‍ර 19ක් මෙහි පවතින අතර දිනකට 40කට අධික ඩයලයසිස් ප්‍රතිකාර සංඛ්‍යාවක් මෙහිදී සිදු වේ.
මෙම රෝහලේ ඇති තවත් වැදගත්ම අංශයක් වන්නේ ශල්‍යාගාරයයි. ඉතා කාර්යශූර කාර්ය මණ්ඩලයක් මෙහිදී තම සේවය සපයති.
මෙම ශල්‍යාගාරය අති නවීන පහසුකම්වලින් සමන්විතය. වකුගඩු බද්ධ කිරීම සිදුවන්නේ මෙම ශල්‍යාගාරයේය. ශල්‍ය වෛද්‍යවරු දෙදෙනෙකුට එකවර වැඩ කළ හැකිවන පරිදි මෙම ශල්‍යාගාරය නවීනතම පහසුකම්වලින් සමන්විතය.
වකුගඩු බද්ධ කිරීම ක්‍රම දෙකකට සිදු වේ. මියගිය රෝගියෙකුග් වකුගඩුවක් වකුගඩු රෝගියකුට බද්ධ කිරීම එක් ක්‍රමයකි. අනෙක් ක්‍රමය වන්නේ වකුගඩුවක් ප්‍රද්‍රනය කිරීමට කැමැති නිරෝගී අයකුගේ වකුගඩුවක් රෝගියාට බද්ධ කිරීමය.
දෙවැනි ක්‍රමයේදී, නීරෝගී පුද්ගලයාගෙන් වකුගඩුව ලබා ගැනීමත්, රෝගී පුද්ගලයාට එම වකුගඩුව බද්ධ කිරීමක් යන දෙක සඳහාම ශල්‍යකර්ම සිදු කළ යුතුය.
එකම අවස්ථාවේ සිදු කළ යුතුය. වකුගඩු බද්ධ කිරීම සඳහා ශල්‍ය වෛද්‍යවරු දෙදෙනෙකුට එකවර වැඩ කළ හැකි ශල්‍යාගාරයක් අවශ්‍ය වන්නේ ඒ නිසාය. 2013 සිට මේ දක්වා එවැනි සාර්ථක වකුගඩු බද්ධයක් 134ක් මෙම ශල්‍යාගාරය තුළ සිදුකර ඇත.
මෙම වසරේ ගෙවී ගිය කාලය තුළ මියගිය පුද්ගලයින් 09 දෙනෙකුගේ වකුගඩු ද පරිත්‍යාශීලීන් 06 දෙනෙකුගේ වකුගඩු ද මෙම ශල්‍යාගාරය තුළ බද්ධ කිරිම් ශල්‍යකර්ම සිදු කර ඇත. වකුගඩු බද්ධ කිරීමකින් පසුව රෝගියාව දින 07ක් පමණ තබන්නේ සුවිශේෂී කාමරයක් තුළය. ඉන්පසුව රෝගියා වාට්ටුව වෙත යොමු වේ.
වකුගඩු රෝගයට ගොදුරුවූවන් ලෙස තමන් ගත යුතු නොගත යුතු ආහාර මොනවාද යන වග, ඉදිරියේදී තම ජීවනරටාව කෙසේ සකස් කරගත යුතුද යනවග වැනි කරුණු පැහැදිලි කරදීම සඳහා සෞඛ්‍ය අධ්‍යාපනික අංශයක් ද මෙහි ඇත.
එම සේවය මනාලෙස ඉටු කරන්නේ හෙද නිලධාරීන් රශ්මි අමාලිකා මහත්මියයි. මෙම රෝහලේ එක් තැනකදී අප නෙත ගැටුණු පහත සඳහන් කවිපද දෙක මෙහි සේවයේ යෙදී සිටින කාර්ය මණ්ඩලය රෝගීන් වෙත දක්වන සෙනෙහසට කදිම සාක්ෂියක් සපයනු නොඅනුමානය.
ඔබ මෙහි එන විටදී අපගේ මෙහෙය පතා
එය අප ඉටුකරන්නේ සෙනෙහසිනි ඉතා

Dinamina - Aarogya Article - 8th December 2010

වකුගඩු රෝගීන් සඳහා වෙන්වූ මාළිගාවත්ත වකුගඩු රෝහල



වකුගඩු රෝගීන් සඳහා වෙනමම රෝහලක අවශ්‍යතාව මතුවන්නේ මෙරට වකුගඩු රෝගීන් ප්‍රමාණය ඉහළ යාම නිසාය. එසේ ම වකුගඩු රෝගවලට හේතු පිළිබඳ පර්යේෂණ කිරීමද ඉතා වැදගත් පියවරකි.
ඒ සඳහා වෙනමම ඒකකයක අවශ්‍යතාවද වැඩි වශයෙන් මතුවන්නේ මෙතෙක් වකුගඩු රෝග සම්බන්ධව කිසිදු පර්යේෂණයක් සාර්ථකව සිදු නොවීම නිසාය.
වකුගඩු රෝග සඳහා ප්‍රතිකාර කිරීම, පර්යේෂණ කිරීම හා වකුගඩු රෝග පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමටත්, ඊට අදාළ කාර්ය මණ්ඩල පුහුණු කිරීම සඳහාත් පිහිටුවා ඇති මාළිගාවත්ත ජාතික වෘකවේදී ( වකුගඩු ) කාන්දු පෙරීම සහ බද්ධ කිරීමේ ආයතනය පිළිබඳ එහි නියෝජ්‍ය අධ්‍යක්‍ෂ, වෛද්‍ය ඇලන් ලුඩවයික් මහතා අදහස් දැක්වූයේ මෙසේයි.
මේ රෝහල පටන් ගත් මුල්කාලයේ රෝගියෙක් රෝහලට ඇතුළත් කළේ ජාතික රෝහල හරහායි. ඒත් අපි දැන් ඕනෑම වකුගඩු රෝගියෙක් මේ රෝහලට භාර ගන්නවා. ඒ වගේම සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හා වෛද්‍ය පීඨය සමඟ සම්බන්ධව රෝහල් කටයුතු කරනවා.
සායන පැවැත්වෙන දිනවලදී මේ රෝහලේ සායනික රෝගීන් පරීක්‍ෂාව විශේෂඥ වෛද්‍යවරු 07 දෙනෙක් යොදා ගෙන කෙරෙනවා. සායන සඳහා රෝගීන් ලියාපදිංචි වීම අනිවාර්යයි.
මේ රෝහල ආරම්භයේදී නේවාසික රෝගීන් සඳහා වාට්ටු තිබුණේ නැහැ. කාන්දු පෙරන ඒකකය පමණයි තිබුණේ. ඒත් මේවනවිට රෝගීන්ට නේවාසික ප්‍රතිකාර ලබාදීමේ හැකියාවත් අපට තිබෙනවා.
කාන්දු පෙරන ඒකකයේ යන්ත්‍ර 10ක් තිබෙනවා. මේ රෝහලේ වැඩ කිරීම සඳහා වෙනමම පුහුණු කාර්ය මණ්ඩලයක් අවශ්‍යයි. මේ රෝහල විශේෂ රෝහලක් .
ඌව , උතුරු - නැගෙනහිර, උතුරු මැද හා වයඹ පළාත්වල හඳුනා නොගත් විශේෂ වකුගඩු රෝගයක් පැතිර යනවා. දියවැඩියාව, අධික රුධිර පීඩනය, වකුගඩුගල්, මුත්‍රාගල්, වැනි කාරණා වකුගඩු රෝගවලට මුල් වුණත්, මේ ප්‍රදේශවල පැතිර යන විශේෂිත වකුගඩු රෝගවලට යම් විෂවර්ගයක් මුල් වී ඇතැයි අප සැක කරනවා. මේ විෂ වර්ගය ශරීර ගතවීමෙන් වකුගඩු අක්‍රිය වීමේ අවදානමක් තිබෙනවා.
මේ විෂවර්ගය හඳුනාගැනීම සඳහා අප පර්යේෂණ ආරම්භ කළා. මේ රෝගී තත්ත්වයට වැඩිපුරම ගොදුරුවන්නේ නව යොවුන් වයසේ පසුවන පිරිමි අයයි. මේ රෝගීන්ට කාන්දු පෙරණ ප්‍රතිකාර නොමැතිව ජීවත්වීමට හැකියාවක් නැහැ. ඒ නිසා අපි උපරිම ප්‍රමාණයෙන් මේ රෝහලේ තිබෙන අවම පහසුකම් උපයෝගී කරගෙන, රෝගීන්ට ප්‍රතිකාර සපයනවා. වකුගඩු රෝගීන් සඳහා කෙරෙන පරීක්‍ෂණ මේ රෝහලේදී කෙරෙනවා.
අවශ්‍ය ප්‍රතිකාර සඳහා රෝගීන් යොමු කරන්නේ ඉන් පසුවයි. මේ රෝහලෙන් ප්‍රතිකාර ලබාගන්නා වකුගඩු බද්ධ කළයුතු රෝගීන්ගේ වකුගඩු බද්ධ කිරීම තවම කෙරෙන්නේ ජාතික රෝහලෙන්. ඒත් වකුගඩු බද්ධ කළ පසු එම රෝගීන් නේවාසික ප්‍රතිකාර සඳහා මේ රෝහලට නැවත ගේනවා.
අපේ පහසුකම්වලට වඩා අපි බලන්නේ රෝගීන්ගේ පහසුවයි. අපි රෝගීන්ට කිසිම අඩුවක් කරන්නේ නැහැ. විශේෂඥ වෛද්‍යවරුන්ගේ අනුමැතිය මත රෝගීන් රෝහලට ඇතුළත් කරනවා.
මේ රෝහල ඇරැඹුවේ ජාත්‍යන්තර මට්ටමේ වකුගඩු රෝහලක් බවට පත්කිරීමේ අරමුණ ඇතිවයි. ඒ තත්ත්වයට අපි ටිකෙන් ටික ලංවිය යුතුයි. මේ රෝහලට දැනටමත් බාහිර ආයතන විශාල ප්‍රමාණයක් උදවු ලබා දෙනවා. ඒ වගේම පරිත්‍යාගශීලින්ගේ උදවු ලැබෙනවා. එය අපේ රටේ හොඳ ප්‍රවණතාවක්.
මේ රෝහල දියුණු කර ගැනීම සඳහා පරිත්‍යාගශීලීන්ගේ උදවු අවශ්‍යයි. ඒ නිසා මං ඉල්ලීමක් කරනවා මේ රෝහලේ දියුණුව සඳහා ඔබේ පරිත්‍යාග ලබාදෙන්න . එවිට අපට වකුගඩු රෝගයෙන් පීඩාවිඳින වැඩි දෙනෙකුට පිහිට වෙන්න පුළුවන්.
වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය අනුර පි‍්‍රයන්ත හේවාගීගන
මේ රෝහල සම්පූර්ණයෙන්ම වකුගඩු රෝහලක්. ජාතික වකුගඩු මධ්‍යස්ථානයක්. වකුගඩු රෝගීන්ට සම්පූර්ණ ප්‍රතිකර්ම කිරීම මෙන්ම , වකුගඩු රෝගී තත්ත්වයන් පිළිබඳ පර්යේෂණ කිරීම සහ ජාතික දත්ත බැංකුවක් සම්පාදනය කිරීමත් මේ රෝහලේ බලාපොරාත්තුවක් .
වකුගඩු රෝගීන් කොපමණ ප්‍රමාණයක් ඉන්නවාද යන්න ගැන අප තවම දන්නේ නැහැ. මේ අඩුව අප පිරවිය යුතුයි. මේ නිසා ශ්‍රී ලංකාව පිළිබඳ දත්ත සම්පාදනය විය යුතුයි. දැනට තිබෙන දත්ත අසම්පූර්ණයි.
වකුගඩු රෝග සහ ඊට ලබාදෙන ප්‍රතිකාර ගැන ප්‍රතිපත්ති සැකැසීමත් මේ රෝහල සතු කාර්යයක්. ඒ වගේම වකුගඩු රෝග සහ ඊට ලබාදෙන ප්‍රතිකාර පිළිබඳ සෞඛ්‍ය සේවකයන්, වෛද්‍යවරුන්, පශ්චාත් උපාධි අපේක්‍ෂකයන් පුහුණු කරන ජාතික ආයතනයක් හැටියටයි මේ රෝහල ආරම්භ කළේ. ඒ වගේම අන්තර් ජාතිකව තිබෙන වකුගඩු රෝග සම්බන්ධව වැඩකරන ආයතන, සංවිධාන සහ ක්‍රියාකාරීන් සමඟ සබඳතා පැවැත්වීමත් මේ රෝහලේ වගකීමක්.
තාවකාලික වකුගඩු රෝග සඳහාත්, නිදන්ගත වකුගඩු රෝග සඳහාත් අප ප්‍රතිකාර කරනවා. රෝගියා කුමන ප්‍රදේශයක වුවත් අපට ගැටලුවක් නැහැ. අපි සියලුම රෝගීන් බාර ගන්නවා.
තමන්ට වකුගඩු රෝගයක් ඇතැයි යමෙක් සැකකරනවා නම් , වෛද්‍යවරයෙක් පරීක්‍ෂාකර වකුගඩු රෝගයක් ඇතැයි කියනවා නම්, කිසිම ගැටලුවක් නැතිව අපි රෝගියා බාර ගන්නවා.
මුත්‍රා සමඟ ලේ පිටවීම, මුත්‍රා සමඟ සැරව පිටවීම, නිතර නිතර ඇතිවන මුත්‍රා ආබාධ, මුත්‍රාවල විෂබීජ , මුත්‍රාගල් ඇතිවීම, පාද ඉදිමීම, හන්දි ආබාධ වැනි රෝග ලක්‍ෂණ ඇත්නම් , වකුගඩු රෝගයක් දැයි සැකහැර දැනගැනීම සඳහා මේ රෝහලේදී පරීක්‍ෂණ කෙරෙනවා.
මූලික පරීක්‍ෂණවලදී වකුගඩු රෝගයක ලක්‍ෂණ නැතිනම් රෝගියාට අවශ්‍ය වෙනත් ප්‍රතිකාර සඳහා අප යොමුකරනවා.
සරල කොනදේ කැක්කුම වකුගඩු රෝගයක් නොවෙයි. වකුගඩු ආබාධ නිසා කොන්දෙ කැක්කුම එන්නේ ඉතාම සුළු පිරිසකට විතරයි. ඔබට වැලදෙන සෑම කොන්දේ කැක්කුමක්ම වකුගඩු රෝග ආබාධයක් නොවෙයි.
බොහෝවිට ඇතිවන කොන්දේ කැක්කුම් තමන්ගේ වැරැදි ඉරියව් නිසා හෝ වෙනත් හේතුවක් නිසා ඇතිවිය හැකියි. පේෂිවල ආතතියක්, කාටිලේජවල ආතතියක් හෝ අස්ථි බිදීමක්, ස්නායු තෙරපීමක් නිසා කොන්දේ කැක්කුම ඇතිවිය හැකියි.
වකුගඩු ආබාධ නිසා කොන්ද ප්‍රදේශයේ කැක්කුම ඇති වන්නේ මුත්‍රා ගල් හිරවීමෙන් ආසාධන ඇතිවී , වකුගඩුවේ සැරව ගෙඩි ඇතිවීම හෝ වකුගඩු ප්‍රාවාරයට ලේ ගැලීම නිසා අධික ලෙස වකුගඩුව ඉදිමීම නිසයි. මේ කැක්කුම රෝගියාට තීරණය කිරීම අපහසුයි.
ඇලපතේ සිට ඉකිලිය ප්‍රදේශයට පැතිරෙන කැක්කුමක් නම්, එය වකුගඩු රෝග ලක්‍ෂණ විය හැකියි. මෙවැනි කැක්කුමක් ඉතා ඉක්මනින් සුව වෙනවා.
වකුගඩු රෝගියෙක් නම් ඉතා පරෙස්සම් විය යුතුයි. නිරෝගී පුද්ගලයෙක් නම් සරල මුත්‍රා ආබාධ නොසලකා හරින්න එපා. මුත්‍රා යන ප්‍රමාණයේ , මුත්‍රායන වාර ගණනේ , මුත්‍රායන රටාවේ වෙනසක් තිබේ නම් හෝ මුත්‍රා සමඟ ලේ පිටවීම, සැරව පිටවීම වැනි තත්ත්වයක් නම් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් සමඟ රෝගී තත්ත්ව ගැන සාකච්ඡා කළ යුතුමයි.
මුත්‍රාවල සාමාන්‍ය කහපැහැවීම රෝග ලක්‍ෂණයක් නොවෙයි. මුත්‍රා රතුපාට හෝ මළකඩ පාට හෝ තේ කහට පැහැවීම මුත්‍රා ආබාධයක ලක්‍ෂණයි. මුත්‍රා පිට කිරීමට පෙර ඇතිවන වේදනාව ශරීරය ඉදිමීම, ආහාර අරුචිය, වකුගඩු රෝග ලක්‍ෂණ විය හැකියි.
සාමාන්‍ය පුද්ගලයෙක් දිනකට මුත්‍රා ලීටර් 1 1/2 පමණ පිට කරනවා. වාෂ්පවලින් පිටකරණ ශරීරයේ ජලය ප්‍රමාණය ලීටරයක් වෙනවා. මේ අනුව ශරීරයෙන් ජලය ලීටර් 2 1/2ක් පමණ දිනකට පිටවෙනවා.
ඊට අමතරව වෙනත් ස්‍රාවයන් ලෙස සුළු ප්‍රමාණයක් ජලය පිටවෙනවා.
මේ නිසා නිරෝගී පුද්ගලයෙක් දිනකට ජලය ලිටර් 3 ක් පමණ පානය කිරීම වැදගත්.

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.