Ayurveda Hospital - Anuradhapura

Dinamina - Aarogya article- 09th April 2014


උතුරු මැද පළාතේ පිහිටි ප්‍රධානතම ආයුර්වේද රෝහල



ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය ක්‍රමයට හිමිවන්නේ සුවිශේෂි තැනක්. ආයුර්වේද ප්‍රතිකාර පිළිබඳව ශ්‍රී ලාංකිකයින් තුළ ඇත්තේ නිට්ටාවට රෝග සුවකළ හැකි ප්‍රතිකාර ක්‍රමයක් ලෙසයි. ආයුර්වේද රෝහල් මෙරට සෑම පළාතකම දැකිය හැකියි. අප මෙවර සාකච්ඡා කරන උතුරු මැද පළාතේ පිහිටි ප්‍රධානතම රෝහල වන අනුරාධපුර ආයුර්වේද රෝහලෙන් සිදුවන සේවාව සුවිශාලයි.
මේ රෝහලෙන් සිදුවන සේවාව පිළිබඳව රෝහල් අධ්‍යක්ෂිකා ආයුර්වේද වෛද්‍ය කුමාරි කුමාරසේකර මහත්මිය අදහස් දැක්වූයේ මෙසේයි.
උතුරු මැද පළාතේ තිබෙන ප්‍රධානතම ආයුර්වේද රෝහල ලෙස අනුරාධපුර රෝහල හඳුන්වාදිය හැකියි. ශ්‍රී ලංකාවේ දෙවැනියට ආරම්භ කළ ආයුර්වේද රෝහල ලෙස ද මේ රෝහල ඉතිහාස ගත වෙනවා.
දිනකට රෝගීන් 500ක් පමණ මේ රෝහලෙන් ප්‍රතිකාර ලබා ගන්නවා. විශේෂ සායන මෙන්ම විශේෂ ප්‍රතිකාර ක්‍රම ද මේ රෝහලේ සිදු වෙනවා. චීනකටු, පංචකර්ම පෝෂණ, ළමා රෝග, රූපලාවන්‍ය, සමේ රෝග සහ කැඩුම් බිදුම් සායන මේ රෝහලේ පවත්වාගෙන යනු ලබන ප්‍රධාන සායන වෙනවා. ඇදන් 119 කින් සමන්විත මේ රෝහලේ පිරිමි වාට්ටු 03ක් සහ ගැහැණු වාට්ටු 02ක් පවතිනවා.
ඉදිරියේදී ගෙවීමේ ක්‍රමයට ප්‍රතිකාර ලබාගත හැකි වාට්ටුවක් ඉදිකිරීම අපේ අරමුණයි. මේ මඟින් විශේෂයෙන්ම විදේශීකයන්ට ප්‍රතිකාර ලබාදීම කළ හැකියි. එමෙන්ම දේශීය රෝගීන්ට ද යම් මුදලක් ලබා දී ප්‍රතිකාර ලබාගත හැකියි.
ඖෂධ නිෂ්පාදනාගාරයක් ද මේ රෝහලේ පවතිනවා. මෙහි එදිනෙදා අවශ්‍ය කරන කසාය සෑදීමත් රෝගීන්ට අවශ්‍ය කරන අරිෂ්ඨ, ආශව, කල්ක, ගුලි, පත්තු සහ රෝගීන්ට අවශ්‍ය වෙනත් බෙහෙත් වර්ගත් නිෂ්පාදනය කරනවා.
විශේෂයෙන්ම රෝහල ආශි‍්‍රතව ඔසු උයනක් පවත්වාගෙන යනවා. එහි ඔසු පැළ ඉතා විශාල වශයෙන් පවතිනවා. ආයුර්වේද රෝහලක බාහිර පරිසරය සුවදායක විය යුතුයි. මේ සුවදායක බවට ඔසු උයන බෙහෙවින් ප්‍රයෝජනවත් වෙනවා. ආයුර්වේදයේදී ගස් කොළන් මෙන්ම අවට පරිසරයත් ඉතාම වැදගත් සාධකයක් බව කිව යුතුයි.
මේ පළාතේ ඔසුපැන් ඉතා ජනපි‍්‍රය පානයක්. ප්‍රදේශයේ විශේෂ උත්සව අවස්ථාවලදී ඔසුපැන් නොමිලේ ලබාදීමට අප රෝහල කටයුතු කරනවා. රෝහලේ සියලුම කාර්ය මණ්ඩලය මේ සඳහා සහාය ලබා දෙනවා. වෛද්‍යවරු 07 දෙනෙකුගෙන් සමන්විත මේ රෝහලේ අනෙකුත් කාර්ය මණ්ඩලය 58ක් වෙනවා.
දිනෙන් දින දියුණුවට පත්වන රෝහලක් ලෙස මේ රෝහල හැඳින්විය හැකියි.
බාහිර ප්‍රතිකාර අංශයට පැමිණෙන රෝගීන් වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමෙන් පසු රෝගියාට නේවාසිකව ප්‍රතිකාර කළ යුතු නම් අපි රෝගියාව රෝහලේ නවත්වා ගෙන නොමිලේ ප්‍රතිකාර කරනවා.
චීන කටු චිකිත්සා ප්‍රතිකාරය සඳහා පැවැත්වෙන සායනය සතියට දින 2ක් පැවැත් වෙනවා. බ්‍රහස්පතින්දා උදේ 8.00 සිට සවස 4.00 දක්වා මේ ප්‍රතිකාරය කෙරෙනවා. මේ යටතේ වාත, රක්ත, ස්නායු, සන්ධිගත රෝග සඳහා ප්‍රතිකාර කරනවා. එමෙන්ම කටු චිකිත්සාවෙන් ප්‍රතිකාර ලබාදිය හැකි රෝග හඳුනාගෙන ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර කෙරෙනවා. එමෙන්ම හිසකෙස් යාම වැනි තත්ත්ව සඳහා ද කටු චිකිත්සක ප්‍රතිකාර කරනවා.
පංචකර්ම ප්‍රතිකාර යටතේ වමන, විරේචන,නස්න,අනුවාසන, වස්ති ප්‍රතිකාර අඟහරුවාදා, ඉරිදා, සෙනසුරාදා දිනයන්හිදී කෙරෙනවා. එමෙන්ම උණ, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝගවල සිට සංකීර්ණ රෝග තත්ත්ව දක්වාම ප්‍රතිකාර සිදු කරනවා. ළමා රෝග සඳහා ද විශේෂ ප්‍රතිකාර මේ රෝහලේ සිදු කරනවා.
පාචනය, උදර ගත රෝග, ඇදුම මෙන්ම සෙම් රෝග සඳහා ද ප්‍රතිකාර ලබා දෙනවා.
රූපලාවන්‍ය ප්‍රතිකාර යටතේ සමේ අව පැහැ ගැන්වීම, කුරුලෑ වැනි තත්ත්ව සඳහා ප්‍රතිකාර ලබා දීමත් උපදෙස් ලබාදීමත් කෙරෙනවා.
අක්කර 5ක භූමි භාගයක ව්‍යාප්තව පවතින මේ රෝහල සෑම අතින්ම නිස්කලංක පරිසරයක් රෝගීන්ට ලබා දෙනවා. මේ නිසා රෝගීන්ට කායික මෙන්ම මානසික සහනයක් ද ලැබෙනවා.
රෝහලේ ප්‍රතිකාර කටයුතුවලදී මෙන්ම අනිකුත් කටයුතුවලදීත් කාර්ය මණ්ඩලයෙන් ලැබෙන සහය ඉතාම ඉහළ මට්ටමක පවතිනවා. ප්‍රජා වැඩ සටහන් සඳහා අපේ කාර්ය මණ්ඩලය විශේෂ දායකත්වයක් දක්වනවා.
පශ්චාත් යුද සමයේදී ඇතිවන ප්‍රධාන ගැටලුවක් වන්නේ අත් පා අහිමි වූවන් පුනරුත්තාපනයත් අස්ථි බිඳී ගිය රෝගීන්ට ප්‍රතිකාර කිරීමත් වෙනවා. මෙහිදී ආයුර්වේද ප්‍රතිකාර ඉතා සාර්ථක බව පෙනී ගොස් තිබෙනවා. විශේෂයෙන් අස්ථි බිඳී ගිය රෝගීන් බොහෝ පිරිසක් මූලික ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව පසු ප්‍රතිකාර සඳහා අප වෙත පැමිණෙනවා. ආබාධිත රණවිරුවන්ටත් අප ප්‍රතිකාර ලබා දෙනවා.

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.