Teaching Hospital - Kandy

Dinamina - Aarogya article - 29th May 2013


ගතවන සෑම තත්ත්පරයකදීම අසරණ රෝගීන් උදෙසා හෘදයාංගම සේවයක් ඉටු කරන මහනුවර ශික්ෂණ රෝහල



මහනුවර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ
වෛද්‍ය ඩබ්ලිව්.ජී.ඒ. දිසානායක
හන්තාන කදු පාමුලෙහි පිහිටුවා ඇති මහනුවර මහා ශික්ෂණ රෝහල දෙවැනි වන්නේ කොළඹ මහා රෝහලට පමණි. 1866 දී ස්ථාපිත කළ මහනුවර රෝහල අසරණ රෝගී ජනතාවගේ ප්‍රතිකාර සේවා සඳහා වෙන් කෙරිණි. අක්කරයකුත් පර්චස් 31 ක් වන භූමි ප්‍රමාණයකින් ඇරඹී මෙම රෝහල සතු වත්මන් ඉඩකඩ ප්‍රමාණය. අක්කර 52ක්.
වසර 2003 - 2009 කාලයේ නියොජ්‍ය අධ්‍යක්ෂ ධූරයේ කටයුතු කළ වෛද්‍ය ඩබ්ලිව්.ජී.ඒ. දිසානායක මහතා 2011 අප්‍රේල් 5 දා මහනුවර මහා රෝහලේ අධ්‍යක්ෂවරයා ලෙස වැඩ භාර ගත්තේය.
භාහිර ප්‍රතිකාර අංශය සඳහා රෝගීන් 311279 ද සායන සඳහා රෝගීන් 855381 ක්ද, නේවාසික ප්‍රතිකාර සඳහා රෝගීන් 193985 ක්ද වශයෙන් වාර්ෂිකව 1360635 ක් වූ රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර ලබා දෙන මහනුවර මහා රෝහලේ මහඟු සේවාවන් පිළිබඳව රෝහල් අධ්‍යක්ෂවරයා අදහස් දැක්වූයේ මෙසේයි.
මහා රෝහලක් වශයෙන් ක්‍රියාත්මක වන විට ලංකාවේ පළාත් හතක රෝගීන් වෙනුවෙන් අපි සේවය කිරීමට සූදානමින් සිටිය යුතු වෙනවා.
බස්නාහිර සහ දකුණු පළාත්වලින් පමණක් රෝගීන් මහනුවර රෝහල වෙත පැමිණියේ නැති වාතාවරණයක් පසුගිය වසරවල දක්නට ලැබුණා. නමුත් මෙම වසරේ එම පළාත්වල රෝගීන්ද, වකුගඩු ඒකකයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට මහනුවරට පැමිණෙනවා. මහනුවර රෝහලේ ප්‍රධානතම අඩුපාඩුවක්ව පැවැති ශල්‍යාගාර සංකීර්ණය, සායනයන් සඳහා පහසුකම්වලින් සමන්විත ගොඩනැගිල්ලක් සාදා නිමකොට ජනතා අයිතියට පත් කිරීමට අපට හැකියාව ලැබුණා.
උගුර කන නාසය ප්‍රතිකාර වාට්ටුව නවීකරණය කිරීමටත්, අපිරිසිදු තත්ත්වයේ පැවැති වාට්ටු රැසක් ප්‍රති සංකස්කරණය කිරීම සඳහා රුපියල් මිලියන 36 ක මුදලක් වියදම් කළා. ඒ සමඟම රෝහලේ රථගාල, පිවිසු මාර්ගය, පිවිසුම් දොරටුව අසළ තදබදය අවම කිරිම සඳහා වෙළඳසැල් ඉවත් කිරීම ඇතුලු කටයුතු රැසක් සිදු කළා.
ඒ අනුව ප්‍රධාන පිවිසුම් දොරටුවෙන් ඇතුලුවන වාහන තනිමඟ ඔස්සේ, රථ ගාලට ඇතුලු කොට දකුණුු පස දොරටුවෙන් පිටව යාම නිසා පෙර පැවති බාධක සියල්ල තුරන් වී රෝගීන්ටත්, අමුත්තන්ටත් රෝහල් කාර්යය මණ්ඩලයටත් බෙහෙවින් පහසුවක් වෙනවා. එහි රථගාලේ වාහන 550 ගාල් කළ හැකියි.
රජයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මහඟු වූ සේවාව සඳහා 2013 - 2017 පස් අවුරුදු සැලැස්ම අනුව, ඉදිරියේදී මහල් 10 කින් යුත් හදිසි ප්‍රතිකාර ඒකකය, වෛද්‍යවරුන් සඳහා කාමර 30 ක් නේවාසික පහසුකම් සහිත ගොඩනැගිල්ලත්, හෙද නිලධාරීන්ගේ නේවාසිකාගාරයත් ඉදි කිරීමට සැලසුම් කර තිබෙනවා.
මධ්‍යම පළාත් මහා ඇමති අරමුදලින් රුපියල් ලක්ෂ 35 වියදම් කර හදිසි අනතුරු වාට්ටුව නවීකරණය කළා.
ඒ සමඟම රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් වන කපිල ගුණවර්ධන, ඩබ්ලිව්. ඩී. එල්. සිරිවර්ධන, නියාස්, දුෂ්‍යන්ත මැද ගෙදර, අනෝමා සිරිබද්ධන, ගාමිණී එදිරිසිංහ, සුනන්ද උඩගෙදර, යන මහත්ම මහත්මීන් ඔවුන්ගේ කැපවීමෙන් ධානපතීන්ද සමඟ එක්ව රෝහලේ වාට්ටු රැසක් නවීකරණය කළා.
රෝහල් සංවර්ධන කමිටුව සෙසු බොහොමයක් පිරිස් එක්ව නව පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථානය ඉදිකිරීමේ කටයුතු දැන් ආරම්භ කැර තිබෙනවා.
මේ සියලුම පහසුකම් අපි ඇති කරන්නේ, ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මහනුවර රෝහලට පැමිණෙන අසරණ රෝගීන් සඳහාමයි.
රෝගීන් වෙනුවෙන්, හාරදහස් හයසිය තිස් දෙකක කාර්යය මණ්ඩලයක් රෝහලේ සේවය කරනවා.
නියෝජ්‍ය අධ්‍යක්ෂ 1 - වෛද්‍ය ලක්මිණී පෙරේරා, නිේ‍යීජ්‍ය අධ්‍යක්ෂ 11 වෛද්‍ය සුසිල් සිරිවර්ධණ, යන වෛද්‍ය නිලධාරීන් මනා කැපවීමකින් රෝහලේ සංවර්ධන උදෙසා කටයුතු කරනවා.
ඒ සඳහා ප්‍රධාන ගණකාධිකාරී ආර්.එම්. කේ. රාජපක්ෂ, ගණකාධිකාරී 11 යූ.එල්. වීරසිංහ, රෝහල් ලේකම් 1 ඩී.බී. බණ්ඩුල, රෝහල් ලේකම් 11, එස්.කේ. රත්නවීර, යන මහත්ම මහත්මීහුද දැඩි කැපවීමෙන් කටයුතු කරනවා.
විශේෂඥ වෛද්‍ය 93 දෙනෙක්, වෛද්‍යවරුන් 717ක්ද දන්ත වෛද්‍යවරු 22 ක්ද, හෙද නිලධාරීන් 1730 ක්ද, කණිෂ්ඨ කාර්යය මණ්ඩලය 1600, තාක්ෂණික නිලධාරීන් ඖෂධවේදීන්, කාර්මිකයින්, රසායනාගාර සහායකයින් 150 දෙනෙකුද, රියදුරන්ද නිරතුරුවම රෝහලේ සේවාවන් සඳහා ඇප කැප වී සිටී.

මහා රෝහලේ අන්තර් හදිසි මරණ පිළිබඳ සෙයා බැලීමේ ඒකකය, හෘද රෝග හදිසි ප්‍රතිකාර ඒකක, ශල්‍ය හදිසි ප්‍රතිකාර ඒකක, ස්නායු ශල්‍ය හදිසි ප්‍රතිකාර ඒකක, ළමා හදිසි ඒකක, ළමා හදිසි ප්‍රතිකාර ඒකක, බද්ධ කිරීමේ හදිසි ප්‍රතිකාර ඒකක ක්‍රියාත්මක වන්නේ, දිවා රාත්‍රී කාලයේ උපරිම කැපවීමෙන්. “රෝහලක් කියන්නේ පුහුණුවීමේ ආයතනයක්. මෙහි පශ්චාත් උපාධි වෛද්‍ය පුහුණුවීම්, පිළිබඳව ආයතනයට සම්බන්ධව පුහුණු වන්නන් සිටිනවා.
තවද රෝහල් අභ්‍යන්තරයේ වෛද්‍යවරු නිරන්තර පුහුණුවීම්වල යෙදෙනවා. රෝග ප්‍රතිකාර ක්‍රියාකාරකම් හරහා හෙද පුහුණු පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ද ප්‍රායෝගික පුහුණුවීම්වල යෙදෙනවා. රෝහලේ කාර්යය මණ්ඩලය සහයෝගයෙන් වාර්ෂිකව ක්‍රීඩා උත්සව අවුරුදු උත්සව වෙසක්, පොසෙන්, දන්සැල් ඇතුලුව සුභ සාධන කටයුතු ක්‍රියාත්මක කරනවා. ඒ තුළින් එකිනෙකා අතර සුහදතාවය වර්ධනය වන නිසාම එහි ප්‍රතිඵල පසු කාලීනව සේවා කටයුතු සාර්ථක කර ගැනීමට ඉවහල් වෙනවා.
මහනුවර මහා රෝහලට වාර්ෂිකව සේවක වැටුප් වෙනුවෙන් රුපියල් මිලියන 2850 ක්ද, ඖෂධ වෙනුවෙන් රුපියල් මිලියන 1150 ක්ද ආහාරපාන සඳහා රුපියල් මිලියන 56 ක්ද ජලය සහ විදුලිය සඳහා රුපියල් මිලියන 270 ක්ද වියදම් කිරීමට සිදුවෙනවා. මේ සියල්ල වියදම් කරමින් අපි සෑම තත්ත්පරයකදීම සිදු කරන්නේ මහජනාතාව උදෙසා වූ හෘදයාංගම සේවයක්.

සමන්ති වීරසේකර

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.