Ayurveda Research Institute - Navinna

Dinamina - Aarogya article - 29th December 2010

ගත සිත සුවපත් කරන නාවින්න බණ්ඩාරනායක ආයුර්වේද පරියේෂණායතනය



ආයුර්වේදය ස්වභාවික පරිසරය සමඟ ඉතා තදින් බැඳී පවතින්නකි. ආයුර්වේද ඖෂධ සියල්ලම ගස්කොළන් හා බැඳී පවතී. මේ නිසාම ආයුර්වේද ප්‍රතිකාරයේ දී පාරිසරික බලපෑම්ද සැලකිල්ලට ගත යුතු වේ.
නාවින්න බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණායතන භූමියට පිවිසෙනවාත් සමඟම ඇතිවන සිසිල් පරිසරය ගත සිත සුවපත් කිරීමට සමත් වන්නේ මේ සත්‍ය අපට පසක්කර දෙමිනි.
තුරු ලතාවන්ගෙන් ගහණ මේ පරිසරයේ ඇති සෑම පැලෑටියකම, මහා වෘක්ෂයකම ඖෂධීය වටිනාකමක් තිබීමද වැදගත්ය.
රෝගීන්ගේ කායික මෙන්ම මානසික තත්ත්වයද ඉහළ මට්ටමක පවත්වාගෙන යන්නට නාවින්න ආයුර්වේද රෝහල සමත්වී ඇත්තේ තුරුලතාවන්ගෙන් ගහණ සිසිල් සුවදායි පරිසරය බැව්, එහි යන ඕනෑම අයෙකුට පසක් වනවා නො අනුමානය.
බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණායතනයත් ඊට අනුබද්ධිත නාවින්න ආයුර්වේද රෝහල පිළිබඳවත් එහි අධ්‍යක්ෂ ආචාර්ය එම්. එල්. ඔබේසේකර මහතා අදහස් දැක්වූයේ මෙසේයි.
ආයුර්වේදය හා දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ පර්යේෂණ කිරීම මේ ආයතනයේ ප්‍රධාන වැඩපිළිවෙළයි. ඒ සඳහා අවශ්‍ය රෝහලක්ද මේ භූමියේ පිහිටුවා තිබෙනවා.
ආයුර්වේද ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීමේදී දේශීය වෛද්‍ය විද්‍යාව කාලීන වශයෙන් වැදගත්. අද බෝවන රෝගවලට වඩා බෝ නොවන රෝග ගැන වැඩිදෙනා කතා කරනවා. අපි මේ වනවිට බෝ නොවන රෝග පිළිබඳත් ඊට අදාළ ඖෂධ පිළිබඳවත් කරුණු අධ්‍යයනය කරමින් සිටිනවා. මේ කාර්යයේ දී නාවින්න ආයුර්වේද රෝහල සායන පරීක්ෂණ සඳහා යොදාගෙන තිබෙනවා.
මේ පර්යේෂණායතනයේ ප්‍රමිති අංශය මඟින් ඖෂධ ප්‍රමිතිකරණයකට ලක් කරනවා. නමුත් තවම අපිට මේ රටේ සියලුම ඖෂධ ප්‍රමිතිකරණයට ලක් කිරීමට හැකියාව ලැබී නැහැ.
ඉදිරියේදී ඖෂධ සංස්ථාව නිපදවන ඖෂධ ප්‍රමිතිකරණයට ලක් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉන් පසු ආයුර්වේද රෝහල් හා වෛද්‍යවරුන්ට එම ප්‍රමිති සහතිකය සහිත ඖෂධ නිකුත් කිරීම අපේ බලාපොරොත්තුවයි.
මේ ආයතනයේ සාහිත්‍ය පර්යේෂණ අංශයත් ඉතා වැදගත් මෙහෙයක් කරනවා. ආයුර්වේදයට දිගු ඉතිහාසයක් තිබෙනවා.
එදා රෝග නිවාරණයට ලබාගත් ඖෂධ, වෛද්‍ය ක්‍රම අදත් භාවිත වෙනවා. පාරම්පරික වෛද්‍යවරුන්ගේ වෛද්‍ය ක්‍රම හා පුස්කොළ පොත්වල සටහන් කර ඇති ඖෂධ වට්ටෝරු නැවත භාවිතයට ගත හැකි ලෙස සංරක්ෂණය කිරීම මේ ඒකකයේ ප්‍රධානම කාර්යයක්.
ජනගහණය වැඩිවීම, කාර්යබහුල වීම වැනි කාරණා නිසා ක්ෂණික ප්‍රතිකාර ක්‍රම සඳහා අපිට යොමුවෙන්න සිදුවුණා. මේ නිසා ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම අපෙන් ටිකෙන් ටික ඈත්වුණා. ආයුර්වේදයේ ක්ෂණික ප්‍රතිකාර තිබුණේ නැහැ.
මේ නිසා අද අපිට හිතන්න වෙලා තියෙනවා නිසි ප්‍රමිතිකරණයකින් යුක්තව පහසුවෙන් ලබාගත හැකි පරිදි සකස් කළ ආයුර්වේද ඖෂධ වෙළෙඳ පොළට නිකුත් කිරීමේ ක්‍රමවේදයක් ගැන. අපි ඒ සඳහා මේ වනවිට කටයුතු යොදමින් සිටිනවා.
බටහිර ලෝකය අපේ දේශීය ප්‍රතිකාර ක්‍රම ගැන පැහැදීමකින් ඉන්නවා. ඒ නිසා ඔවුන්ට පිළිගත හැකි තත්ත්ව සහතික ඇති ඖෂධ අප නිපදවිය යුතුයි.
පසුගිය කාලයේ ආයුර්වේදය යම් නොසලකා හැරීමකට ලක්වූවත් මේ වනවිට ඊට යම්කිසි උනන්දුවක් ලෝකයේ හැම තැනකින්ම දක්නට ලැබෙනවා. ආයුර්වේද ප්‍රතිකාරයේ දී ආහාරවලට හිමිවන්නේ විශේෂ තැනක්. ක්ෂණික ආහාර නිසා මිනිසා රෝගී වන්නට පටන් ගෙන තිබෙනවා. ඒ වගේම රෝගී තත්ත්වයන්ට ක්ෂණික පිළියම් එතරම් වැඩදායි නොවන බවත් බොහෝදෙනා වටහාගෙන තිබෙනවා.
ආයුර්වේදය කියන්නේ රෝගයක් එන්නට ප්‍රථමයෙන් එය හඳුනාගෙන එයට අවශ්‍ය ප්‍රතිකාර කිරීමයි. ආයුර්වේදයට අනුව නිවැරැදි ආහාරය රෝගයකට හොඳම ප්‍රතිකාරයයි.
අපේ එක් අරමුණක් වන්නේ පර්යේෂණ මගින් නිවැරැදි ආහාර හඳුන්වා දීමයි. ඖෂධීය ගුණාංගවලින් යුක්ත ආහාර හඳුන්වාදිය යුතුයි. ඊට ගැලපෙන්නා වූ ඖෂධීය ගුණයෙන් යුක්තවූත් ශරීරයට ගැලපෙන්නා වූත් ඖෂධ හඳුන්වා දීම අපේ ඊළඟ වගකීම වෙනවා.
දියවැඩියාව වැනි රෝග තත්ත්වලට අවශ්‍ය ඖෂධ මෙන් ම ආහාර පිළිබඳත් අපි සොයා බැලීම්, පර්යේෂණ කළා. මේ යටතේ සාර්ථක අත්හදා බැලීම් අප කළා. මධුමේහ තත්ත්වයටත් සාර්ථක ඖෂධ අපි ලබා දෙනවා. මේ පර්යේෂණායතනය හරහා ත්‍රිපෝෂ වැනි ආහාරයක් හඳුන්වා දෙනවා. දැනටමත් ඒවායේ පරීක්ෂණ කටයුතු සාර්ථකව නිමවෙමින් පවතිනවා. බොහොම කෙටි කාලයකින් මේ ආහාරය එළිදැක්වීමට හැකියි.
නිරෝගී පරපුරක් ගොඩනගන්න නම් ආයුර්වේදයට අනුව පෝෂණීය ආහාරත් රසායනික ද්‍රව්‍යවලින් තොර ඖෂධත් අවශ්‍යයි.
විදේශීය රටවල ඖෂධ නිෂ්පාදනය වන්නේ ඔවුන්ගේ පරිසරය හා ආහාර රටාව අනුවයි. අපි අපේ ආහාර හා පරිසරයට උචිත ඖෂධ නිෂ්පාදනය කරගත යුතුයි.
අපේ සමාජය කාර්යබහුලයි. මේ සමාජයට ක්ෂණිකව භාවිතයට ගත හැකි ඖෂධ නිෂ්පාදනය කළ යුතුයි. අපි මේ තත්ත්වය හොඳීන් තේරුම්ගෙන තිබෙනවා. ඉදිරියේදී ආයුර්වේද ඖෂධ පෙති, කරල් හා බාම් වැනි ආකාරයෙන් නිෂ්පාදනය කිරීමට කටයුතු කරගෙන යනවා.
ඒ වගේම පැරැණි බෙහෙත් ගුලි පහසුවෙන් ලබාගත හැකි ක්‍රමවේදයන් ගැන සොයා බලනවා. උණ හෙම්බිරිස්සාව වැනි අවස්ථාවලදී පහසුවෙන් ලබාගත හැකි ඖෂධ ආයුර්වේදයට අනුව නිෂ්පාදනයට ඇති හැකියාව ගැන පර්යේෂණ කරනවා.
සාහිත්‍ය පර්යේෂණ අංශය පැරැණි වෛද්‍යවරුන් හමුවීමට යනවා. ඔවුන් ළඟ තිබෙන පාරම්පරික වෙදකම පිළිබඳ දත්ත ලබා ගන්නවා. පැරැණි ඖෂධ වට්ටෝරු පුස්කොළ පොත් ලබාගෙන ඒවා පිළිබඳ විශේෂ පර්යේෂණ කරනවා. මේවා ලබා ගන්නා වෛද්‍යවරුන්ගේ නමින් ඖෂධ නිපදවා ඒවා ලියාපදිංචි කරනවා.
ඒ වගේම විශේෂ ඖෂධ වර්ග සඳහා ඔවුන්ගේ නම්වලින් පේටන්ට් බලපත්‍ර ලබා දීමටත් කටයුතු කරනවා. අපේ අවට ඇති ශාක පරිසරයෙන් 90% ක් පමණ ඖෂධීය වටිනාකමක් ඇති ශාකයි. අපි මෑතකදී ආදිවාසීන් සොයා ගියා.
ඒ අයගේ පැරැණි ඖෂධ වට්ටෝරු ලබා ගත්තා. ඔවුන් පියයුරු පිළිකා සඳහා ඉතාම දුර්ලභ ශාකයකින් ඖෂධ නිපදවාගෙන තිබුණා. අප ඒ ශාකය හඳුනා ගත්තා. ආදිවාසී භාෂාවෙන් මේ ශාකය හඳුන්වන්නේ තනහලු ශාකය ලෙසයි.
මේ ශාකය රතුගල, දඹාන ආදී ප්‍රදේශවල වැවෙනවා. මේ ශාකය දකුණු ඉන්දියාවේ මයිසූර්, බැංගලෝර් වැනි ප්‍රදේශවල කැලෑවේ වැවෙන ශාකයක්. නමුත් ඉන්දියාව මේ ශාකය වෙනත් ප්‍රතිකාර සඳහා යොදා ගත්තත් පියයුරු පිළිකා සඳහා යොදාගෙන නැහැ. ආදිවාසීන් පියයුරු පිළිකා මුල් අවස්ථාවේ සුව කිරීම සඳහා මේ ශාකය යොදාගෙන තිබෙනවා.
ආයුර්වේද සංරක්ෂණ සභා දැනට ක්‍රියාත්මක වෙනවා. ප්‍රජා සෞඛ්‍ය නිලධාරින් හරහා මේ වාගේ සීමිත පාරම්පරික වෛද්‍යවරුන් දැනුවත් කෙරෙනවා.
අපේ ආභාෂයෙන් ගිලිහීී ගොස් නැවත අපේ ආභාෂයට පැමිණෙන ඖෂධ ප්‍රජාවට ලබාදී ඒවා ව්‍යාප්ත කිරීමට හැකි පරිසරයක් මේ වනවිට නිර්මාණය වෙමින් තිබෙනවා.
මේ පර්යේෂණායතනයේම එක් කොටසක් වන්නේ් ඔසු උයනයි. ඔසු උයන් පරිසරය අපිට ලැබුණු හොඳ දායාදයක්. මේ ඔසු පරිසරය බොහෝ දෙනෙක්ගේ මානසික සුවය ඇති කරනවා. ඔසු ශාකවලින් නිපදවන වාෂ්පශීලීත්වය බොහෝ රෝග නිවාරණයට හේතු වෙනවා.
ආයුර්වේද පර්යේෂණ රෝහල, සාහිත්‍ය හා ඖෂධ පර්යේෂණ අංශ, ප්‍රමිතිකරණ අංශය, නිෂ්පාදන අංශය, හොඳ සේවයක් සපයනවා. කාන්තා රෝග සඳහා ආයුර්වේදයේ විශේෂ ප්‍රතිකාර තිබෙනවා.
කාන්තා හා පුරුෂ වඳ භාවයට අපි ඉතාම සාර්ථක ප්‍රතිඵල සහිත ප්‍රතිකාර ක්‍රම සොයාගෙන තිබෙනවා. දරු ඵල නොමැතිවීම නිසා දස ලක්ෂ ගණනින් වියදම් කොට ප්‍රතිඵල නොලැබුණු අයට පවා මේ ප්‍රතිකාර යටතේ දරුවන් ලබාදීමට හැකිවුණා.
මුල් කාලයේ මේ සායනය සතියකට එක් දිනයක් පැවැත්වූවත් මේ වනවිට සතියේ දින හයක් මේ සායනය පවත්වනවා. මේ ප්‍රතිකාර ක්‍රමයේදී අදාළ කාන්තාව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාගත යුතුයි.
මේ රෝහලේ පරිසරය නිසාත් රෝහලට එන ප්‍රමාණය වැඩියි.
සෑම බදාදාවකම වැඩිහිටි සායනයක් පවත්වනවා. මේ සඳහා වයස අවුරුදු 50 ඉක්ම වූ වැඩිහිටියන් එනවා. ඒ අය බෙහෙත් ලබාගෙන මේ පරිසරයේ සුවය ටික වේලාවක් විඳීමෙන් පසුවයි රෝහලෙන් නික්ම යන්නේ. ඒ වගේම මේ පරිසරයේ නිස්කලංකබව තුළින් මානසික සුවයක් ලබා ගැනීම සඳහා එන අයත් සිටිනවා.
ඕනෑම පළාතක ඕනෑම අයෙක් සඳහා මේ රෝහලේ ප්‍රතිකාර සියල්ල නොමිලේ ලබා දෙනවා. බාහිර රෝගී අංශය උදේ 8 සිට ක්‍රියාත්මකයි. බාහිර අංශයේ වෛද්‍යවරුන්ගෙන් බෙහෙත් ලබා ගැනීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර අවශ්‍ය නම් රෝගීන් සායන සඳහා යොමු කෙරෙනවා.
නේවාසික ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් නේවාසික කොට ප්‍රතිකාර ලබා දෙනවා. වෛද්‍යවරුන් පුහුණු කිරීමත් මේ පර්යේෂණායතනයේ ප්‍රධාන කාර්යයක්. මේ ආයතනයේ සියලුම වෛද්‍යවරුන් පර්යේෂණ වෛද්‍යවරුන් නිසා ඔවුන්ගෙන් විශේෂ කාර්යයක් සිදුවෙනවා.

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.