District General Hospital - Kalutara

Dinamina - Aarogya article - 7th July 2010


අඩ සියවස ඉක්ම වූ කළුතර නාගොඩ මහ රෝහල



උස් කඳු ගැටයක් මත පිහිටි කළුතර නාගොඩ මහ රෝහල, කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රධානම රෝහලයි.
දකුණු කොළඹ (කළුබෝවිල) සහ ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහල් දෙක අතර පිහිටි රෝගීන්ට, සියලු සේවාවන් සපයන එක ම මහ රෝහල වන්නේ ද කළුතර නාගොඩ රෝහලයි.
මේ නිසා ම දිනකට රෝහලට පැමිණෙන රෝගීන් සංඛ්‍යාවද වැඩිය.
දර්ගානගරය, අලුත්ගම, හා බේරුවල යන දිස්ත්‍රික් රෝහල් තුන ද පාලනය වන්නේ කළුතර නාගොඩ මහ රෝහලෙන් ය.
රෝගී සත්කාරයේදී විශේෂ මෙහෙවරක් ඉටු කරන කළුතර නාගොඩ මහ රෝහල් අධ්‍යක්‍ෂ, වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා රෝහලෙන් වන සේවාවන් පිළිබඳ අප සමඟ අදහස් දැක්වීය.
සියලු ම ඒකක ඒකාබද්ධව, උසස් තත්ත්වයේ රෝගී සත්කාර සේවාවක්, සුහද ශීලි වාතාවරණයකදී කඩිනමින් ලබාදීම අපේ අරමුණයි.
සෞඛ්‍ය සම්පන්න නීරෝගී මිනිස් සම්පතක් ජාතියට බිහි කිරීම අපේ දැක්මයි.
මේ සඳහා අපේ කාර්ය මණ්ඩලයට විශේෂ පුහුණුවීම් පවා ලබාදී තිබෙනවා.
අද රජයේ රෝහල්වල කාර්ය මණ්ඩල ගැන නොයෙක් ආකාරයේ දෝෂාරෝපණ අසන්න ලැබෙනවා. ඒ නිසා ම රෝගී සත්කාරයේදී රෝගීන් සමඟ කටයුතු කළ යුතු ආකාරයත් රෝගී සත්කාරයේ වැදගත්කමත් ගැන අපේ කාර්ය මණ්ඩලය දැනුවත් කර තිබෙනවා.
මේ රෝහල රෝගීන් වෙනුවෙන් සියලු ම ආකාරයේ සේවා සපයනවා. විශේෂඥ වෛද්‍ය සේවාව, ශල්‍යකර්ම, එන්නත් උපදේශන සේවා, නේවාසික ප්‍රතිකාර සේවා, හදිසි අනතුරු, මාතෘ සායන, භික්‍ෂු ප්‍රතිකාර, මාතෘ සහ ළදරු සායන මේ අතර ප්‍රධානයි.
බාහිර රෝගී අංශය අපේ වැදගත්ම අංශයක්. රෝගීන්ට බාහිර රෝගී අංශයෙන් පහසුවෙන් ප්‍රතිකාර ලබාගන්න හැකි අයුරින් එම අංශයේ සේවා ලබාදීම අපේ අරමුණයි.
දැඩිසත්කාර ඒකකය, හදිසි අනතුරු ඒකකය හා රෝහල් වාට්ටු අසලම අලුතින් බාහිර රෝගී අංශය ස්ථාපිත කළා. මෙය රෝගීන්ට පහසුවක්.
අපේ රෝහල මූලික කරගෙන විවිධ අධ්‍යාපන වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන් ඩෙංගු මර්දනය, සනීපාරක්ෂක සේවා සහ සෞඛ්‍ය පුරුදුවලට ජනතාව යොමු කිරීම කෙරෙනවා.
රෝහල් වාට්ටුවල තිබෙන අනවශ්‍ය තදබදය අවම කරගන්න ප්‍රාථමික සත්කාර ඒකකයක් ආරම්භ කළා. සාමාන්‍ය රෝගීන් බොහෝ ප්‍රමාණයක් සිටියදී අත්‍යවශ්‍ය සේවාවක් අවශ්‍ය රෝගීන් සඳහා ප්‍රතිකාර ලබාගැනීමේදී අඩු කාලවේලාවක් වැය කිරීමේ ගැටලුව මේ මගින් මඟ හැරුණා. මේ නිසා හඳුනාගත් රෝගීන් සඳහා අප වැඩි කාල වේලාවක් යොමුකරනවා.
හදිසි ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් සඳහා මේ ඒකකයෙන් විශේෂ ප්‍රතිකාර සිදු කෙරෙනවා. නේවාසික ප්‍රතිකාර අවශ්‍ය නම් ඒ සඳහා කඩිනමින් යොමු කෙරෙනවා. ඒ වගේම විශේෂඥ සේවාව අවශ්‍ය රෝගීන් ඒ සඳහා යොමු කෙරනවා.
අපේ සායනවලට සහභාගී වන රෝගීන්ගේ පහසුව සඳහා පළමු සායනයට පැමිණි රෝගීන්ට දෙවැනි සායනය සඳහා නියමිත දිනයක් සහ වේලාවක් ලබා දෙනවා.
ඒ නිසා රෝගීන් පෙර දා රාත්‍රීයට රෝහලට පැමිණ, පෝලිමේ සිටි ක්‍රමය අපි වෙනස් කළා. මේ නිසා රෝගීන් නියමිත වේලාවට පැමිණීමෙන් කාලය නාස්ති වීමකින් තොරව රෝගියාට ප්‍රතිකාර හා උපදෙස් ලබාගෙන රෝහලෙන් පිටවන්න පුළුවන්.
පළමු සායනයට පැමිණෙන රෝගීන් නම් අංක පිළිවෙළට පැමිණිය යුතුයි. එහිදී රෝගීන් පැමිණෙන පිළිවෙළට අංක ලබාදීම සිදු කරනවා.
අද සමාජයේ දියවැඩියාව විශාල ගැටලුවක්. ඒ නිසා දියවැඩියා රෝගීන් සඳහා විශේෂ ප්‍රතිකාර ඒකකයක්, අධ්‍යාපන ඒකකයක් ඇතිකළා. ඒ මගින් දියවැඩියා රෝගී තත්ත්වය පාලනය කර ගැනීමට අවශ්‍ය උපදෙස් රෝගීන් ළඟටම ගොස් ලබාදීමට හැකියාව ලැබෙනවා.
මත්පැන් සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය සඳහා වෙනම සායනයක් අපි පවත්වාගෙන යනවා. මානසික රෝගීන් සඳහා වෙනම ඒකකයක් නාගොඩ රෝහලට අනුබද්ධ අලුත්ගම රෝහලේ ආරම්භ කර තිබෙනවා.
කළුතර දිස්ත්‍රික්කයේ එක ම ළය රෝගී වාට්ටුව නාගොඩ රෝහල සතුයි. ළය සම්බන්ධ ඕනෑම රෝගී තත්ත්වයකට ප්‍රතිකාර කිරීමේ පහසුකම් අප සතුයි. මෙහිදී ක්‍ෂය රෝගය හා ශ්වසන රෝග විශේෂයි. මේ රෝගීන් සඳහා නේවාසික ප්‍රතිකාර ලබාදීමට ඇඳන් 50 කින් සමන්විත වාට්ටුවක් රෝහල සතුයි.
කළුතර කටුකුරුන්දේ වෙනම සායනයක් අපි පවත්වාගෙන යනවා. ඒ සඳහා වෙනම වෛද්‍යවරයෙක් සහ කාර්ය මණ්ඩලයක් යොදවා තිබෙනවා. අපේ රෝහලට අනුයුක්ත වෛද්‍යවරු, ගම්බද ප්‍රදේශවලට ගොස් මානසික රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ සේවාවක නිරත වෙනවා. සමහර මානසික රෝගීන් රෝහලට එන්නේ නෑ. එවැනි අවස්ථාවක අපි රෝගියාගේ නිවසට යනවා.
අපි විවිධ අංශවල විශේෂඥ වෛද්‍යවරු 27 දෙනෙකුගේ සේවාව රෝගීන් සඳහා සපයනවා.
ඒ වෙනුවෙන් සාමාන්‍ය වෛද්‍යවරු 90 දෙනෙක් රෝහලේ සේවයට අනුයුක්ත කර සිටිනවා.


No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.