De Soysa Hospital for Women - Colombo

 Dinamina - Aarogya artcle - 2nd March 2011


කාන්තාවන් සඳහාම  වු ශ්‍රී ලංකාවේ ප්‍රථම රෝහල ද සොයිසා කාන්තා රෝහල



ඔබ පින්බර මවකි. නිරෝගී දරු සම්පතක් ලබා ගැනීමට උත්සාහ වන්නී ඔබ යි. ඔබ දයාබර පියෙකි.
පී‍්‍රතිමත් පවුලක නියමුවා ඔබ යි. එසේ නම් සායනයේ වැඩ කටයුතු අවසන් වූ පසු සෞඛ්‍ය අධ්‍යාපන ඒකකයට පැමිණ දැනුමින් පිරිපුන් මවක් වෙන්න. එය ඔබට සාර්ථක දරු උපතකට මඟ පෙන්වයි.
මේ කොටස උපුටා ගන්නා ලද්දේ ද සොයිසා කාන්තා රෝහලේ සායන සඳහා පැමිණෙන මවුවරුන් ලියාපදිංචියේ දී ලබාදෙන කවරයෙනි.
මෙරට කාන්තාවන් සඳහාම ඉදිවූ පළමු රෝහල වන ද සොයිසා කාන්තා රෝහලේ සේවාව ලබාදීම පිළිබඳව එහි කාර්ය මණ්ඩලයට ඇති අවශ්‍යතාව එම කොටස තුළ ගැබ්ව ඇත.
ද සොයිසා කාන්තා රෝහලේ සේවාව පිළිබඳවත්, එම සේවාව ලබා ගන්නේ කෙසේ ද යන්නත් පිළිබඳව මෙවර කරුණු ගෙන එන්නේ ද සොයිසා රෝහලේ රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා යි.
මෙරට ප්‍රධානම කාන්තා රෝහලත්, පළමු කාන්තා රෝහලත් වන්නේ මේ රෝහල යි.
මේ රෝහල ප්‍රධාන වශයෙන්ම මාතෘ හා ස්ත්‍රී රෝග සඳහාම වෙන්වූ රෝහලක්, මාතෘ සායනත්, නාරි රෝග පිළිබඳ සායනත් තිබෙනවා.
මේ රෝහලේ විශේෂයෙන්ම සෞඛ්‍ය අධ්‍යාපනයට මුල් තැනක් ලබා දී තිබෙනවා. ඒ සඳහා වෙනමම සෞඛ්‍ය අධ්‍යාපන ඒකකයක් පවත්වා ගෙන යනවා.
මේ ඒකකය හරහා සතියේ දිනවල මවුවරුන්ට හා පියවරුන්ට අවශ්‍ය උපදේශන සේවා ක්‍රියාත්මක කරනවා.
ප්‍රසව කාලය ඇතුළත මව ක්‍රියා කළ යුතු ආකාරය ගැන මෙහිදී අවබෝධය ලබා දෙනවා. දරුවා ලැබීමෙන් පසුව මව හැඩ ගැසිය යුතු ආකාරයත් මෙහිදී කියා දෙනවා.
මවගේ ජීවිතයත් බේරාගෙන නිරෝගී දරුවෙක් මෙලොවට බිහි කරන ආකාරය ගැන ඉතා හොඳින් මවුවරුන් දැනුම්වත් කිරීම අපේ වගකීමක්.
ගර්භනී කාලයේ මවගේ පෝෂණය ලබාගන්නා ආකාරය පිළිබඳවත් ළදරු මිතුරු සුව සේවාව යටතේ මවුකිරි දීම පිළිබඳවත් මවුවරුන් දැනුම්වත් කරනවා.
මවු කිරි ලබා දීමේ දී අනුගමනය කළ යුතු ආකාර සියල්ල මේ රෝහලේ දී කියා දෙනවා. මේ සඳහා රෝහල් කාර්ය මණ්ඩලය ලොකු වෙහෙසක් දරනවා. විශේෂයෙන් ස්වාභාවික ප්‍රසවයක් ලබා ගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග එකින් එක සායනික සම්මන්ත්‍රණවලදී කියා දෙනවා.
රෝහල් සේවාවේ ගුණාත්මක වර්ධනයක් සඳහා මේ ඒකකයේ මූලිකත්වයෙන් රෝහල් කාර්ය මණ්ඩල දැනුම්වත් කිරීමත් කෙරෙනවා.
විශේෂඥ වෛද්‍ය ඒකක හතරක් ප්‍රධාන වශයෙන් තිබෙනවා. පූර්ව ප්‍රසව, නාරිවේද, ළදරු සායන යන අංශත් ක්‍රියාත්මක යි.
කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය අංශයට අනුයුක්ත මහාචාර්ය ඒකකයක් ක්‍රියාත්මක යි. මේ සෑම අංශකටම විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවය ලැබෙනවා. ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරිවරු පශ්චාත් උපාධි හදාරන වෛද්‍යවරු සහ වෛද්‍ය ශිෂ්‍යයින් ගේ පුහුණුවීම් අධ්‍යාපනික කටයුතුත් මේ රෝහලේ කෙරෙනවා.
සතියේ දිනවල පෙරවරුවේ මාතෘ සායන පවත්වනවා. සවස්වරුවේ නාරි රෝග පිළිබඳ සායන ක්‍රියාත්මක යි.
මේ රෝහලේ බාහිර රෝගීන් ඇතුල් කෙරෙන්නේ අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා යන දිනවල පමණයි. බාහිර රෝගී අංශය පැය 24 පුරාම ක්‍රියාත්මක යි. ඊට අමතරව සාමාන්‍ය මවක් දරුවා ලැබීමට මේ රෝහලට ඇතුළත් වීමට නම් මේ රෝහලේ සායන සඳහා සහභාගී වී සිටිය යුතුයි.
සායන සඳහා සහභාගි වී ඇති මවුවරුන් ඕනෑම වේලාවක ප්‍රතිකාර සඳහා මේ රෝහලට ඇතුළත් කර ගන්නවා. දරුවා පිළිසිඳගෙන පළමු මාස තුන ඇතුළත රෝහලේ සායන සඳහා ලියාපදිංචි විය හැකියි.
මේ රෝහල මාතෘ රෝහල් අතරින් අංග සම්පූර්ණ රෝහලක්. ඒ නිසා විවිධ සංකූලතා ඇති විශේෂිත මවුවරුන් ලංකාවේ විවිධ රෝහල්වලින් මේ රෝහලට යොමු කරනවා.
එම මවුවරුන් රැක බලා ගැනීමත් අපේ වගකීමක්. තෘතීක සේවා සපයන රෝහලක් හැටියට ඕනෑම රෝහලකින් මේ රෝහලට එවන රෝගීන් අපි බාර ගන්නවා. දියවැඩියාව, හෘද රෝග, අධි රුධිර පීඩනය හා වෙනත් විශේෂිත රෝග සහිත මවුවරුන් බොහෝ විට යොමු කරන්නේ මේ රෝහලට යි.
ප්‍රධාන විකිරණ අංශයක් ක්‍රියාත්මක යි. ඒ වගේම අල්ත්‍රා සව්න්ඩ් ස්කෑන්, රසායනාගාර පහසුකම්වලින් මේ රෝහල සමන්විත යි. රෝහලේ සෑම වාට්ටුවක් සඳහාම අල්ත්‍රා සව්න්ඩ් ස්කෑන් යන්ත්‍ර ලබා දී තිබෙනවා. මේ සඳහා රුපියල් මිලියන 13ක් පමණ වැය වී තිබෙනවා.
විශේෂිත ළදරු ඒකකයෙන් සිදුවන්නේ සුවිශාල මෙහෙවරක්. දරුවා බිහිවීමෙන් පසු දරුවාට විශේෂ රෝගී තත්ත්ව තිබෙනවා නම් හෝ දරුවා නියමිත දිනට පෙර ඉපදී ඇත්නම් (අඩු බර දරු උපත්) එම දරුවන් මේ ඒකකයේ තබාගෙන ප්‍රතිකාර කරනවා.
දරුවන් ලැබීමෙන් පසු පවුල් සංවිධාන ක්‍රම පිළිබඳව මව හා පියාව දැනුම්වත් කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් මේ රෝහලේ ක්‍රියාත්මක යි.
වාට්ටුවලින් හා වෙනත් රෝහල්වලින් පවුල් සැලසුම් ක්‍රම පිළිබඳව උපදෙස් ලබා ගැනීමටත් ඊට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීමටත් මේ ඒකකයට පිරිස් යොමු කරනවා. මේ ඒකකයට සම්බන්ධ වෙන ඕනෑම අයෙක්ට පවුල් සැලසුම් ක්‍රම හා ඊට අවශ්‍ය ප්‍රතිකාරත් නොමිලේ ලබා දෙනවා.
විශේෂයෙන් පවුල් සැලසුම් ක්‍රමයක් භාවිතා කිරීමේ ඇති වැදගත් කම පිළිබඳව අපි ඔවුන් දැනුම් වත් කරනවා.
මේ පිළිබඳව නොදන්නා කම නිසා බොහෝ අය අපහසුතාවට පත්වන අවස්ථා පිළිබඳව අපට වාර්තා වෙනවා.
මේ රෝහලේ දැඩි සත්කාර ඒකකය කොටස් දෙකකින් යුක්තයි. අඩු බර දරුවන් හා විශේෂිත මවුවරුන් මේ කොටස් දෙකට යොමු කරනවා.
විශේෂිත රැකවරණ යටතේ තැබිය යුතු අඩුබර මෙන්ම මවු කුස දී අපද්‍රව්‍ය පෙවීමෙන් රෝගී වන දරුවන් ද මේ ඒකකයට යොමු කරනවා.
මේ ඒකකයේ දී කෘත්‍රිම ස්වසනය ලබා දෙමින් විශේෂිත ආකාරයට ළමුන් රැක බලා ගැනීම කෙරෙනවා.
සති 27ත් 28ත් වැනි කාලවල දී උපදින දරුවන් මේ ඒකකයට යොමු කෙරෙනවා.
 වෙනත් රෝහල්වලින් ද මේ ඒකකයට එවැනි දරුවන් යොමු කරනවා. මාසයකට දරුවන් 25 ක් පමණ මේ ඒකකයට ඇතුළත් කෙරෙනවා.
විශේෂිත මවුවරුන් ඇතුළත් කිරීම සඳහා වෙනම දැඩි සත්කාර ඒකකයක් ක්‍රියාත්මක යි. විශේෂිත අවස්ථාවන්ට ලක්වූ මවුවරුන් මේ ඒකකයට ඇතුළත් කෙරෙනවා.
එමෙන්ම ශල්‍යාගාරයේ දී ඇතිවන සංකූලතාවල දීත් මවුවරුන් රෝගී වෙනවා.
එවැනි අවස්ථාවලදීත් මේ ඒකකයට මවුවරුන් ඇතුළත් කෙරෙනවා.විශේෂඥ සේවා, රසායනාගාර, ශල්‍යාගාර, හා අනිකුත් වෛද්‍ය පහසුකම් අතින් ඉතා දියුණු මට්ටමක පවතින මේ රෝහල ගැබිනි මවුවරුන්ගේත් කාන්තාවන්ගේ සියලුම රෝග සඳහාත් ප්‍රතිකාර ලබාදීමට සූදානමින් සිටිනවා.














------------------------------------------------------------------------------------------------------------

පහත ලිපියේ සඳහන් වෛද්‍යවරුන්ගේ නම් යාවත්කාලීන නොවිය හැකි බව කරුණාවෙන් සලකන්න.

Dinamina - Aarogya article - 2nd January 2013


කාන්තා සායන

කාන්තාවන් සඳහාම වෙන්වූ රෝහල් අතරින් සුවිශේෂි රෝහලක් ලෙස කොළඔ ජාතික රෝහල අසළ පිහිටි ද සොයිසා කාන්තා රෝහල හැඳින්විය හැකියි.
ඕනෑම නාරි හා ප්‍රසව ගැටලුවකට විසඳුම් ලබාදිය හැකි ප්‍රසව සහ නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් රැසකින් සමන්විත දිවයිනේ පහසුකම් රැසකින් හෙබි රෝහලක් ලෙස දැක්විය හැකි ද සොයිසා කාන්තා රෝහලේදී දිනකට දරු උපත් රැසක් සිදුවන අතර නාරි ගැටලු සඳහාද විශේෂඥ වෛද්‍ය සායන රැසක් පැවැත්වෙනවා. දැයේ දරුවන්ට අධ්‍යාපනය සලසන අධ්‍යාපනික වෛද්‍ය ආයතනයක් ලෙස මහාචාර්ය ඒකකයකින්ද මෙම රෝහල සමන්විත වෙනවා.

ඕනෑම ප්‍රසව හා නාරි ගැටලු සඳහා විසඳුම් ලබාදෙන ද සොයිසා කාන්තා රෝහලේ සායන පැවැත්වෙන දිනයන් සහ වේලාවන්

නාරි හා ප්‍රසව ගැටලු සඳහා ද සොයිසා කාන්තා රෝහලේදී හමුවිය හැකි නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරුන්ගේ නම්, සායන පැවැත්වෙන දින සහ වේලාවන් පහත දැක්වේ.
පූර්ව ප්‍රසව සායනයේදී නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය යූ.ඩී.පී. රත්නසිරි සඳුදා උදෑසන 8.00 සිට දහවල් 12.00 දක්වා වාට්ටු අංක 02 දී සහ 05දී හමුවිය හැකියි.
අඟහරුවාදා උදෑසන 8.00 සිට දහවල් 12.00 දක්වා පූර්ව ප්‍රසව සහ නාරිවේදීය සායනයේදී පූර්ව ප්‍රසව සහ නාරිවේදීය විශේෂඥ වෛද්‍ය මහාචාර්ය හේමන්ත සේනානායක වාට්ටු අංක 03, 15 සහ 39 දී හමුවීමට පුළුවන.
පූර්ව ප්‍රසව සායනයේදී නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය රුවන් පතිරණ බදාදා උදෑසන 8.00 සිට දහවල් 12.00 දක්වා වාට්ටු අංක 16 දී හමුවිය හැකියි.
බ්‍රහස්පතින්දා උදෑසන 8.00 සිට දහවල් 12.00 දක්වාත් සෙනසුරාදා උදෑසන 8.00 සිට දහවල් 12.00 දක්වාත් පූර්ව ප්‍රසව සහ නාරිවේද සායනයේදී නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය මහාචාර්ය හේමන්ත සේනානායක වාට්ටු අංක 03, 15 සහ 39 දී හමුවිය හැකියි.
නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය නීල් සෙනෙවිරත්න පූර්ව ප්‍රසව සායනයේදී සිකුරාදා උදෑසන 8.00 සිට දහවල් 12.00 දක්වා වාට්ටු අංක 07 සහ 12 දී හමුවීමට පුළුවන.
ප්‍රසව සහ නාරිවේද විශේෂඥ වෛද්‍ය රුවන් පතිරණ සඳුදා සවස 01.00 සිට
සවස 04.00 දක්වා වාට්ටු අංක 14 සහ 16 පැවැත්වෙන නාරිවේදීය සායනයේදී හමුවිය හැකියි.
නාරිවේදීය සායනය පැවැත්වෙන බදාදා සවස 1.00 සිට සවස 4.00 දක්වා වාට්ටු අංක 17 දී නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය නීල් සෙනෙවිරත්න හමුවීමට පුළුවන.
නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය යූ.ඩී.පී. රත්නසිරි සිකුරාදා සවස 1.00 සිට සවස 4.00 දක්වා වාට්ටු අංක 08 පැවැත්වෙන නාරිවේදීය සායනයේදී හමුවිය හැකියි.
මඳසරු මවුවරුන් සඳහා පැවැත්වෙන සායනය බ්‍රහස්පතින්දා සවස 1.00 සිට සවස 4.00 දක්වා වාට්ටු අංක 03 සහ 15 දී පැවැත්වේ.
ළමා රෝග විශේෂඥ වෛද්‍ය ඇම්.බී.ජී. ද සිල්වා සහභාගී වන ළදරු සායනය සඳුදා සවස 1.00 සිට සවස 4.00 දක්වා වාට්ටු අංක 16 දීත් බදාදා සවස 1.00 සිට සවස 4.00 දක්වා වාට්ටු අංක 07 සහ 11 දීත් සිකුරාදා සවස 1.00 සිට සවස 4.00 දක්වා වාට්ටු අංක 02 සහ 05 දීත් පැවැත්වේ.
මහාචාර්ය ඒකකය මඟින් පවත්වන ළදරු සායනය අඟහරුවාදා සවස 1.00 සිට සවස 4.00 දක්වාත් බ්‍රහස්පතින්දා සවස 1.00 සිට සවස 4.00 දක්වා වාට්ටු අංක 03 සහ 15 දීත් පැවැත්වේ.
පවුල් සැලසුම් ක්‍රම භාවිතයේදී ඇතිවන ගැටලු නිරාකරණය කිරීමත් පවුල් සැලසුම් ක්‍රම හදුන්වා දීම සඳහා පැවැත්වෙන පවුල් සෞඛ්‍ය සායනය සඳුදා සිට සිකුරාදා දක්වා පෙරවරු 8.00 සිට සවස 4.00 දක්වාත් සෙනසුරාදා උදෑසන 8.00 සිට දහවල් 12.00 දක්වාත් පැවැත්වේ.

කාන්තාවන්ගේ දත් සම්බන්ධ ගැටලු සඳහා ප්‍රතිකාර කිරිම සඳුදා , අඟහරුවාදා , බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා උදෑසන 8.00 සිට සවස 04.00 දක්වාත් සෙනසුරාදා උදෑසන 8.00 සිට දහවල් 12.00 දක්වාත් සිදුකෙරේ.
ළමා ප්‍රතිශක්ති කරණ සායනය සඳුදා, අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා සවස 1.00 සිට සවස 4.00 දක්වා පැවැත්වේ.


No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.