ආයුර්වේදයේ ගුණාත්මක බව රකින මකුද්දල ආයුර්වේද රෝහල
නිවැරදි ප්‍රමිතීන්ට අනුව ආයුර්වේද ප්‍රතිකාර ලබාදෙන්නේ නම් බොහෝ රෝග නිට්ටාවට සුවකළ හැකියි.
එසේ ම නිවැරදි ප්‍රතිකාර මෙන් ම නිවැරදි ඹෟෂධ තීරණය කිරීමත් ආයුර්වේද ප්‍රතිකාරයේ දී ඉතා වැදගත් වේ.
උපරිම ප්‍රතිඵල ලබාගැනීමට නම් මේ සියල්ල ලබාදෙන අතරතුර හොඳ සාත්තු සේවයක් ද රෝගියාට ලැබිය යුතුමය.
ආයුර්වේද ප්‍රතිකාරයේ දී රෝගියාගේ නිරෝගී බවම ප්‍රාර්ථනා කරන මකුද්දල ආයුර්වේද රෝහල පිළිබඳව එහි කාර්යභාර වෛද්‍ය නිලධාරිනි පී. පී. ඩිල්මා ප්‍රේමතිලක මහත්මිය අදහස් දැක්වූයේ මෙසේයි.

යට්ටෝගොඩ සිට බෙලිගල වේරගොඩ මාර්ගයේ කි. මී. 8ක් පමණ දුරින් පොල්ගහවෙල කෑගල්ල මාර්ගයේ කෝන්ගස් හන්දියේ සිට බටුවත්ත වේරගොඩ මාර්ගයේ කි. මී. 04ක් පමණ දුරින් මේ රෝහල පිහිටා තිබෙනවා.
බාහිර රෝගී අංශයේ ලියාපදිංචි වන රෝගීන්ට තුන්ඩුවක් නිකුත් කරනවා.
ඉන්පසු රෝගියා වෛද්‍යවරයෙක් වෙත යොමු කිරීමෙන් අනතුරුව වෛද්‍ය නිර්දේශ මත බාහිර ඖෂධාලයෙන් අවශ්‍ය ඖෂධ නිකුත් කෙරෙනවා.
රෝගියා නේවාසික ප්‍රතිකාර ලබාදිය යුතු මට්ටමේ සිටී නම් නේවාසික ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරෙනවා.
මේ රෝහල ඉතාම දුෂ්කර ප්‍රදේශයක පිහිටා තිබෙන රෝහලක්. ප්‍රවාහන පහසුකම් අඩුයි.
ඒ නිසා රෝගීන් රෝහලට පැමිණි විගස කඩිනමින් ප්‍රතිකාර ලබා දී ඔවුන්ව රෝහලෙන් යැවීමට අපි උපරිම උත්සාහයක් ගන්නවා.

පංචකර්ම ප්‍රතිකාර, විශේෂ සම්භාහන ප්‍රතිකාර, රූපලාවන්‍ය, මාතෘ හා ළමා පෝෂණ වැඩසටහන්, වැඩිහිටි සායන පෙර පාසල් සිසුන් හා මවුවරුන් දැනුවත් කිරීම, ඔසු උයන් පවත්වාගෙන යාම, පාසල් සිසුන් දැනුවත් කිරීම, ස්ත්‍රී රෝග සායන හා කැඩුම් බිඳුම් සායන, මධුමේහ, අධික තරබාරුව වැනි රෝගී අවස්ථා සඳහා ප්‍රතිකාර ද මේ රෝහලේ සේවාවන් අතර වෙනවා.
වෛද්‍යවරුන් නිර්දේශකරන වට්ටෝරුවලට අනුව කෂාය වර්ග, අවශ්‍ය තෙල් හා අරිෂ්ට, පත්තු කීපයක් මේ රෝහලේ දී ම නිපදවනවා.
ඊට අමතරව සබරගමුව පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් රෝගී ප්‍රතිකාරයට අවශ්‍ය තෙල්, ගුලි, කල්ක, චූර්ණ, අරිෂ්ට, ආසව වර්ග ගෙන්වා ගන්නවා.
රෝහලේ නේවාසික රෝගීන් සඳහා සියලුම පංචකර්ම ප්‍රතිකාර, විරේචන, වමන, නස්‍ය, රක්ත මෝක්‍ෂණ, වස්ති වැනි ප්‍රතිකාරත් විශේෂ සම්භාහන ප්‍රතිකාර වන පිශිචිල්, ශීරෝධාර, පිණ්ඩ ස්වේද, කටීවස්ති, ශිරෝවස්ති, ජානුවස්ති පිචු වැනි සුවිශේෂී ප්‍රතිකාරද ලබාදීම විශේෂයි.

මේ රෝහලේ ප්‍රජා වැඩසටහන් ලෙස පෙර පාසල්, වැඩිහිටි නිවාස, ආශ්‍රිත විවිධ ක්‍රියාකාරකම් මෙන් ම බාහිර වෛද්‍ය සායන, පාසල් ඔසු උයන් පවත්වාගෙන යාමත් කෙරෙනවා. මේ සඳහා රෝහලේ ප්‍රජා වෛද්‍ය නිලධාරීන්ගේ සහාය ලැබෙනවා.
වමන විරේකය මඟින් පොතුකබර රෝගය සඳහා විශේෂ ප්‍රතිකාරයක් මේ රෝහලේ දී කෙරෙනවා. එසේම ඉරුවාරදය කුඩා ළමුන්ගේ පණු රෝග, පීනස, ඇඳුම, කුෂ්ට දියවැඩියාව වැනි රෝග සඳහාත් විශේෂ ප්‍රතිකාර ලබාදෙනවා.
රෝහල් කාර්ය මණ්ඩලයේ සුහදශීලි බව, කණ්ඩායමක් ලෙස එක්ව කටයුතු කිරීම වැනි සාධක නිසා කාර්යක්ෂම මෙන් ම ගුණාත්මක සේවාවක් ලබාදීමේ හැකියාව ලැබී තිබෙනවා.


මේ අතර භාවනා වැඩසටහන් ආගමික වැඩසටහන්, නිරෝගීභාවයට අධිපති ධන්වන්තරී ඍෂින්හට පූජෝපහාර දැක්වීම වැනි දේ සඳහා රෝගීන් යොමු කිරීම කෙරෙනවා.
වමන විරේක වැනි පංච කර්ම කිරීමේ දී ආගමික වතාවත්, ධන්වන්තරී පූජා පැවැත්වීම විශේෂයෙන් සිදු කරනවා.
රෝගීන්ගේ මානසික හා අධ්‍යාත්මික ශක්තිය ඇති කිරීම මෙවැනි ක්‍රියාවල අරමුණයි.
අංශභාගය (ආඝාතය) සන්ධි රෝග කුෂ්ට රෝග, ස්නායු දුර්වලතා වැනි රෝගී අවස්ථාවල දී කඩිනමින් මේ රෝහලට යොමුවීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගත් අය සිටිනවා.
රෝහල සහ බාහිර සබඳතා ඉතා හොඳ මට්ටමක තිබෙනවා. රෝහල අවට ගම්වාසීන්, ප්‍රදේශයේ වැඩිහිටි සමිති, ස්වේච්ඡා සංවිධාන, පාසල් මඟින් ඖෂධ පරිත්‍යාග කිරීම, ඖෂධ පැළ ලබාදීම, ශ්‍රමදාන වැනි කටයුතුවල දී අපට සහාය ලබාදෙනවා.
ආයුර්වේද ප්‍රතිකාර ලබා ගැනීමේ දී රෝගී තත්ත්වයේ මූලික අවස්ථාවේම ආයුර්වේද ප්‍රතිකාර සඳහා යොමු වීම ඉතා වැදගත්.
නිරෝගීව දීර්ඝායුෂ විඳීම අප කාගේත් ප්‍රාර්ථනාවකි. ආයුර්වේදීය ජීවන රටාවකට යොමුවීම, සාම්ප්‍රදායික ආහාර ගැනීම, නිරන්තර ව්‍යායාම, ක්‍ෂණික ආහාර හා කෘත්‍රිම බීම වලින් ඉවත්වීම යහපත් ඇවතුම්, පැවතුම් ඇතිකර ගැනීම, ආයුර්වේදයට අනුව නිරෝගීවීමට හේතුවෙනවා.
අකලට මහළුවීම, ජරාවට පත්වීම වළක්වන සුවපහසු නිරෝගී ජීවිතයක් ගත කිරීමට ආයුර්වේද වත් පිළිවෙත් මෙන් ම කඩිනමින් ආයුර්වේද ප්‍රතිකාර ලබා ගැනීමත් හේතු වෙනවා.
සෑම කෙනෙකුටම ගුණාත්මක, සඵලදායී, හා මිත්‍රශීලි රෝගී සත්කාරක සේවාවක් ලබාදීම අපේ අරමුණයි. ඒ සඳහා මේ රෝහලේ කාර්යය මණ්ඩලය කැපවීමකින් කටයුතු කරනවා.
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.