Ayurveda Hospital - Meegoda

Dinamina Aarogya article - 16th November 2016


ඔසු උයනේ පහස ලබමින් රෝගී සත්කාරයට උපරිම සේවයක් ඉටු කරන මීගොඩ ආයුර්වේද රෝහල



පරිසරය කොළ පැහැයෙන් සොබාමත් වී තිබීම සිත් පහන් කරවන්නට සමත් බව අපිට හොඳින් දැනෙන කරුණක්. ඔබ එවන් මොහොතකට පිළිපන් අවස්ථාවක් පැමිණිවිට දැනෙන හැඟීම නොබෝදා අපටද විඳගන්න හැකිවූයේ කොළපාට වූ පරිසරයකට යන්නට හැකිවූ නිසයි. අප තුළ කිසිදා නොමියෙන ලෙස හැඟෙන දැහැන්ගත සිතුවිලි සමූහයට ඔහේ ගලාඑන්නට අවකාශ සලසා දෙන කොළපැහැති ගස්වැල් සමඟ රැඳෙන්නට අද දින ඔබට හැකිවනු නොඅනුමානයි. ඒ මීට ටික දිනකට පෙරදී අප ගත කළ ඒ දවස ගැන තොරතුරු ඔබගේ දැනුමට මෙන්ම නිරෝගි දිවියේ ගමන්මග සාදන්නට ඉවහල් වන නිසාය.
මීගොඩ ආර්යුවේද රෝහල වටා ඇත්තේ විශාල ප්‍රදේශයක් පුරා පැතිරුණු කොළපාට ගස්වැල් වලින් ගහණ වන පියසක්. මීගොඩ කොළඹ ප්‍රධාන බස් පාරට මායිම්ව රෝහලේ ඉදිරිපස, පිහිටා ඇති අතර මුලු රෝහල් භූමියම අක්කර 16 කින් සමන්විත වේ. මායිම්ව පවතින ගම්මාන වටකරමින් රෝහල් භූමියේ ඇති ඔසු උයන අක්කර 6,7 පමණ පුරාවට පැතිරී ඇති ක්‍රමානුකූලව පවත්වාගෙන යන ඖෂධ වගාවලින් පිරී ඇති භූමියකි. ඉඳහිට නිශ්ශබ්දව බඩගා යන කබරයකු දකින්නට හැකි වුවත් කුරුල්ලන්ගේ නාදය දෙපස නාද කරන්නේ ඔසු උයන දෙවනත් කරමිනි.
මෙම ඔසු උයන පවත්වාගැනීම සිදුකරන්නේ බෙහෙවින්ම ඉදිරි පරපුරට දැනුම ලබාගැනීමට හා ඖෂධ වර්ග හඳුනාගැනීමට අවශ්‍ය අවකාශය සලසාලීම සඳහාත්ය. ඒ වගේම ඖෂධ සංරක්ෂණයද මෙහි පරමාර්ථකොට පවතී.
ඔසු උයනේ පැවැත්ම සඳහා......
ඔසු උයන ක්‍රමවත්ව පවත්වා ගැනීමට වර්තමාන රෝහල් අධ්‍යක්ෂ ධූරය මනා සහයෝගයක් ඔසු උයන බාරව කටයුතු කරන වෛද්‍ය කණ්ඩායමට ලබාදේ.මෙහි ඔසු උයන භාරව කටයුතු කරන්නේ වෛද්‍ය නන්දා ධර්මගුණවර්ධන හා වෛද්‍ය රුවන් රත්නායකයි. පැල තවන් කිරීමේ හා වර්ධනය කිරීමේ හරිතාගාරයක් මෙන්ම ඖෂධ පැලෑටි බද්ධ කිරීමේ වැඩ පිළිවෙලක්ද යෙදීමට කටයුතු සලසා ඇත. මෙම ඔසු උයන තුළ පවතින අසිරිය විඳින්නට අවශ්‍ය මංතීරු ඉතා අලංකාර ලෙස සකසා ඇති අයුරු එහි පිවිසෙන්නෙකුට මනාව දිස්වේ. නමුත් සේවක පුරප්පාඩුව මත සමහර ප්‍රදේශ සංවර්ධනය කිරීම සඳහා කළමනාකරණයට බාධා ඇති බව සඳහන්ය. කෙසේ හෝ පවතින ශ්‍රමදායකත්වය රෝහලේ වෙනත් අංශවල සේවක පිරිස් යොදා මාරුවෙන් මාරුවට ලබාගැනීමට මෙහි පාලන තන්ත්‍රය විධිවිධාන යොදා ඇත. එය රෝහලේ උන්නතිය නිසා බැවින් එහි අධ්‍යක්ෂිකාවට මහත් වෙහෙසක් ගෙන රෝහලේ සෑම අංශයකම කටයුතු සමානුපාතිකව කරගෙන යෑමට ඇය ධෛර්ය සම්පන්න වී ඇත. ඒ සඳහා පළාත් ආයුර්වේද කොමසාරිස්වරියගේද නොමද සේවය ලැබෙන බව රෝහල් අධ්‍යක්ෂිකාව මතක් කරන්නේ හදපිරි සතුටිනි.
රෝහල ගැන....
1982 වර්ෂයේ මෙම රෝහල ආරම්භ කර ඇත. හෝමාගම ප්‍රාදේශීය සභාවට අයිති මීගොඩ ආයුර්වේද රෝහල ආරම්භ කිරීම එතරම් ඈත අතීතයට දිව නොයයි. මෑත ඉතිහාසයේ බිහි වුවත් ඉන් සිදුවූ සේවාව අතිමහත්ය. වාට්ටු 05 කින් සමන්විත මෙම රෝහලේ ඖෂධ නිෂ්පාදනාගාරයක් හා මුලුතැන් ගෙයක් පවතින අතර විශේෂ ප්‍රතිකාර ඒකකයක්ද ඇත.
වෛද්‍ය නිල නිවාස 4 ක් හා කණිෂ්ඨ කාර්ය මණ්ඩල නිවාස 2 ක් මෙහි පිහිටා ඇත. 53 න් දෙනකුගෙන් යුතු කාර්ය මණ්ඩලයක් හා වෛද්‍යවරු 30 දෙනෙකුගෙන් සමන්විතය.
ප්‍රතිකාර සේවාව......
බාහිර රෝගී අංශය උදේ 8-4 දක්වා විවෘතව ඇත. වෙසක්, පොසොන් ඇතුළු නිවාඩු දිනවල බාහිර ප්‍රතිකාර සේවාව ලබාගත හැකිය. ඉරිදා මුළු දිනයම විවෘතව පවතින අතර සෙනසුරාදා පමණක් බාහිර රෝගී අංශය විවෘතව ඇත්තේ දහවල් 12.00 දක්වා පමණි. නමුත් නේවාසික වීමට ඇතුල් කරගැනීමේ කටයුතු ඕනෑම දිනක සිදුවේ. රෝහලේ සේවාවන් පැය 24 ම පවතී. මෙහි නේවාසික රෝගීන් සාමාන්‍යයෙන් 60, 70 පමණ වේ.
දිනකට පැමිණෙන රෝගීන් සංඛ්‍යාව 450 පමණ වන අතර වර්ෂයකට ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ප්‍රතිකාර පිණිස පැමිණේ.
දින 7 ම සායනය.......
විවිධ රෝග සඳහා සායන කිහිපයක් දින 7 ම වෙන්කර ඇත. එම සේවාව සිදුකරන්නේ දක්ෂ පළපුරුදු වෛද්‍ය කාර්ය මණ්ඩලයක් යටතේය. දැනට සිදුවන දිනක සේවා කාලය වන උදේ 8-4 දක්වා කාලය ඉදිරියේදී සවස 6 දක්වා වන තුරු රාජකාරි සිදුකිරීමට කටයුතු සැලසුම් කර ඇත. එහිදී සායන 12 දක්වා තවත් එකතුකිරීමට අදහස් කෙරේ. අතිවිශාල කාර්යක්ෂමතාවයකින් රෝගීන්ගේ සුවය පතා කටයුතු කිරීමට අධ්‍යක්ෂක ඇතුලු කාර්ය මඩුල්ල නිරතුරු වෙහෙසක් ගනී.
ප්‍රතිකාරයට දුරබැහැරින්
ප්‍රතිකාර ලබාගැනිමට පිට පළාත්වලින් පවා මෙම රෝහල වෙත පැමිණීම අති විශේෂ වූවකි. නේවාසිකව ප්‍රතිකාර ගැනීමට විශේෂයෙන්ම අංශභාගය සඳහා රෝගීන් ගාල්ල, මාතර, බුලත්සිංහල වැනි දුරබැහැරින් පැමිණේ.
ඉල්ලුම වැඩියි......
විශේෂයෙන් ස්නායු රෝග, චර්ම රෝග හා කැඩුමු බිඳුම් සඳහා ප්‍රතිකාර ලබාගැනීම පිණිස පැමිණෙන රෝගීන්ගේ සංඛ්‍යාව අතිමහත්ය. ඒ සමඟින්ම විශේෂ ප්‍රතිකාර ඒකකයෙන් සිදුවන ගුද ආශි‍්‍රත රෝග සඳහා ශල්‍ය සායනයට පැමිණ සුවය ලබා යන අය බොහෝ ඇත.
විශේෂඥ වෛද්‍ය සේවාව ඇතුලුව කරගෙන යන කොරියන් කටු චිකිත්සාවටද මීගොඩ ආයුර්වේද රෝහලේ ඇත්තේ පුදුම ඉල්ලුමකි. මින් ප්‍රතිකාර ලබා සුවවී රෝහල වෙත පැසසුම් ලබාදෙන රෝගීන්ගෙන්ද අඩුවක් නැත.
දියවැඩියා සායනය, කොරියන් කටු චිකිත්සාව, චර්ම රෝග, කැඩුම් බිඳුම්, ස්ත්‍රී රෝග, සන්ධි රෝග, ළමා රෝග, අධික ස්ථුලතා, පංචකර්ම, ස්නායු රෝග වැනි රෝග සඳහා මෙහි සායන පැවැත්වේ.
විශේෂ ප්‍රතිකාර ඒකකය
විවිධ රෝග සඳහා සායන පැවැත්වුවත් මෙම විශේෂ ප්‍රතිකාර ඒකකයට රෝගීන්ගේ දැඩි අවධානයට ලක්ව ඇත්තේ අධික ලෙස දරාගැනීමට නොහැකි වේදනාවන් පවතින රෝග තත්ත්ව මෙහිදී සුව කිරීමට මං පාදන බැවිනි. දියවැඩියාව නිසා ඇතිවන පාදයේ තුවාල සුවකිරීමට ප්‍රතිකාර ලබාදේ. ගුදය ආශි‍්‍රතව ශල්‍ය කර්ම සිදුවේ. එයද දැඩි වේදනා ගෙන දෙන රෝග තත්ත්වයකි. කූඩැල්ලන් ඇල්ලීම, නහරගැට ගැසිමේ රෝගයට පාත්‍ර වූවන්ට ප්‍රතිකාර සේවාවද සුවවන තෙක් ලබාදේ. විවිධ අර්බුද (ගෙඩි) පලා ප්‍රතිකාර ලබාදීම වැනි කර්තව්‍යන් මෙහිදී සිදුවේ. පරණ තුවාල හෝ වෙනත් රෝහල්වලින් නොසලකා හරින ලද අත්හැරපු තුවාල මෙහිදී ශල්‍ය කර්ම මගින් සුවකර දී ඇත. මෙම විශේෂ ප්‍රතිකාර ඒකකය මඟින් සිදුවන සේවාව ගැන ප්‍රතිකාර ලැබූවන් අගය කොට ප්‍රශංසා හා උදව් උපකාර රෝහල වෙත බොහෝ ලබාදී ඇත.
ගතවූ හෝරා කිහිපයම නිමාවට පත්වන විට පැහැබර කොළපාට ඔසු උයනේදීම අපගේ ගමන නිමාකරන්නට වුණි. රෝහලේ අධ්‍යක්ෂිකා පී.වී. දයාවතී මහත්මිය මෙම තොරතුරු ලබාදීමට අපට නොයෙක් විට විවිධ සහයෝගයන් ලබාදුන්නේ රෝහලේ සේවා වැඩමුර කරන වෛද්‍යවරු ලබන විවේක කාලයද අපට ලබාදෙමිනි. ඔසු උයනේ ගමන් කර ලබපු අත්දැකීම නැවත වරක් ලබනු රිසියෙන් එතැනින් නික්මුණේ රෝහලේ ඉතිරිවැඩ සංවර්ධන කටයුතු තව නුදුරු දිනකදී පටන්ගන්නා බව අධ්‍යක්ෂකතුමිය අපට දන්වමිනි.


Dinamina Aarogya article - 24th August 2016


සුවකළ නොහැකි යැයි පැවසෙන තුවාල පවා සුවකර දෙන මීගොඩ ආයුර්වේද රෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකය


ලෙඩ රෝග අතරින් අපට ඉක්මනින්ම වේදනාව දැනෙන්නේ සිරුරේ කුමන හෝ තැනකින් රුධිරය පිටතට ගලා එන පරිදි තුවාලයක් වූ විටදීය. බොහෝවිට මෙය අභ්‍යන්තරිකව ද සිදුවන අවස්ථා ඇතත් අපට එහි සංකූලතා ඇතිවන්නේ ටික වේලාවකින් පසුවයි. නමුත් සිරුරේ බාහිරින් ඇතිවන තුවාලය, සැනෙකින්ම වේදනාකාරී ලෙස හෝ පීඩාකාරී ලෙස හෝ දැනෙන බව බොහෝදෙනා අත්දැක ඇත. මෙසේ බාහිරින් ඇතිවන තුවාල, සීරීම් වැනි හදිසි අවස්ථාවලදී ඔබට පහසුවෙන් ප්‍රතිකාර ලබාදිය හැකි විශේෂ ප්‍රතිකාර ඒකකයක් මීගොඩ රෝහලේ පවත්වාගෙන යනු ලබයි. එහි සුවකළ නොහැකි ඝනයේ ලා සැලකෙන දැඩි පීඩාකාරී වෘණ (ගැඹුරට ගිය තුවාල) පවා ඇතුළත් ලෙස සිදු කෙරෙන ඒකකයකි.
තුවාල සහ කැපුම්
තුවාලයක් කැපුමකදී ඔබට ඉක්මන් ප්‍රතිකාර සඳහා ඔබ යොමුවිය යුතුයි. ඒ, තුවාලයකදී බාහිරට සිරුර අභ්‍යන්තරය නිරාවරණය වීමේදී විවිධ ආබාධයන්ට ලක්විය හැකි වීමයි. විෂබීජ ඇතුළු වීම, අධික ලෙස රුධිරය පිටතට ගලා ඒම නහර කැපී තුවාල වීම ඇතුළු දරුණු තත්ත්වයන් ඇතිවීම මීට බලපාන ප්‍රධාන හේතූන්ය. එවැනි තත්ත්ව යටතේ ඔබ ස්ථානික ප්‍රතිකාර සඳහා යොමුවීම වැදගත් වන්නේ ඒ නිසයි.
විශේෂ ප්‍රතිකාර ඒකකය
හදිසියෙන් හෝ බලාපොරොත්තු රහිත අවස්ථාවන්වල ඇතිවන තුවාලයකදී මීගොඩ රෝහලේ මෙම විශේෂ ප්‍රතිකාර ඒකකය විසින් සිදු කරනුයේ මහඟු සේවයකි. රෝගියාගේ රෝග තත්ත්වය නිශ්චය කිරීම සහ අදාල ප්‍රතිකාරය ද තීරණය කරන්නේ මෙම ඒකකය විසින්මයි. එහිදී රෝගියාට සිදු කරනුයේ විශේෂ ප්‍රතිකාරයි. රෝගියාගේ මානසික මට්ටම යම් අව පීඩනයකට පත්ව ඇත්නම් එය යථා ස්වරූපයකට පත් කිරීම හා සැහැල්ලු කර ප්‍රතිකාරවල යොමු කිරීමට වෛද්‍යවරයා වගබලා ගත යුතුයි. මනස පිඩාවකින් තොරව පවත්වා ගත යුතු නිසා මෙම ප්‍රතිකාර ඒකකයේදී වඩාත් උචිත උපදෙස් පමණක් ලබාදීමට ඔවුන් සැලකිලිමත්ය. හොඳින් කතාබහ කර නිදහස්ව මනස පවත්වා ගන්නට ගත හැකි සෑම පියවරක්ම ලබාදීමට උත්සුක වීම මෙහිදී කැපී පෙනෙන ලක්ෂණයකි.
කල්ගිය හා අත්හැර දැමූ තුවාල විශේෂයි
හදිසියකදී ඇති වූ තුවාලයක් ප්‍රතිකාර කිරීම පහසු නමුත් කල්ගිය තුවාලයක් හෝ අත්හැර දැමූ තුවාලයක් සඳහා ප්‍රතිකාර කිරීමට පහසු නැත. සමහරවිට මෙය ඔඩු දුවපු තුවාලයක් විය හැකියි. නමුත් ඒ සඳහා ද ලබාදිය හැකි උපරිම සේවාව ලබාදී සුව කිරීම ප්‍රධාන අරමුණු කොටගෙන යන ප්‍රතිකාර විධි විවිධ ආකාරයෙන් සිදු වේ. තුවාල පමණක් නොව පීඩාගෙන දෙන පිළිකා සඳහා ඉතා පහසු ප්‍රතිකාර ක්‍රම යොදා ගෙන සුව තත්ත්වලට යොමු කර ගැනීමට උත්සාහ ගනියි. එසේම ගුද රෝග, අර්ශස්, භගන්දරා, නාඩි වෘණ (තුවාල), සර්ප විෂට, ගෙඩි වර්ග (තෙල් ගෙඩි), ගල් තැළුම් හා කල්ගිය තුවාල මෙන්ම දරුණු අවස්ථාවන් ඇති තුවාල වර්ග සඳහා ද මෙම ප්‍රතිකාර ඒකකය විවෘතයි.
ගල් තැළුම්
බොහෝදෙනා ගල් තැළුම්වලට ප්‍රතිකාර සඳහා යොමුවීම අත්හැර දමයි. මන්ද ඒ සඳහා කාලය වෙන්කර තබා අවශ්‍ය ප්‍රතිකාර පත්තු තෙල් දැමීමට ඇති අපහසුව නිසයි. නමුත් මෙහිදී ගල් තැළුම් සඳහා විශේෂ ප්‍රතිකාර සඳහා යොමුවීම තුළින් මේ කාල නිර්නයක් මත රෝග තත්ත්ව විනිශ්චයකින් පසුව අදාළ ප්‍රතිකාරවලට යොමු කෙරේ. මේ සඳහා අවශ්‍ය ඖෂධ ලබා දීම ද සිදු කෙරේ. මෙය වේදනාකාරී රෝග තත්ත්වයකි. ප්‍රතිකාර ක්‍රමය යන අතරේදී දැනෙන වේදනා සහගත බව ඇවිදීමේී ඇතිවන අපහසුව ද මඟහැරී යනු ඇත. මුළුමනින්ම සුවවන අවස්ථාවන් කරා ළඟා වීමට මෙමඟින් ලැබෙන ඖෂධවල ශක්තිය හා කාර්යමණ්ඩල සේවාව සමත් වන බව පැහැදිලි වේ.
අර්ශස් හා භගන්දරා
මෙවැනි තත්ත්වයකද විශේෂ අවස්ථාවන් ලෙස සැලකිය හැකියි. දැරිය නොහැකි වේදනා ගෙන දෙන මෙවැනි රෝගවලදී යම් ශල්‍ය සිදු කිරීම ද ආයුර්වේද ක්‍රමයට අනුව සිදු කෙරේ. මෙහිදී විශේෂ ප්‍රතිකාර ක්‍රම භාවිතා වේ. ක්ෂාර නූල භාවිතා කර ඖෂධ ලබාදීම තුළින් තුවාලය සුව කිරීමේ හැකියාව සතු බැවින් රෝගියාගේ මනස ප්‍රකෘති තත්ත්වයකට පත් කර රෝගය ගැන බිය නැති කර දැමීමට තරම් සමත් වන මෙම දරුණු රෝගය සුවකර ගත හැකියි. ඒ සඳහා අවශ්‍ය ඖෂධ තෙල් පත්තු අවශ්‍ය පරිදි මෙහිදී ලබාදීම සිදු වේ.
පීඩනය අවම කිරීම
අපි බොහෝ සෙයින් දන්නේ දරුණු රෝග අවස්ථාවකදී රෝගියාගේ මනස අවුල්වන බවයි. දැඩි ආතතියෙන් යුතුව සිටින රෝගියාගේ තත්ත්වය සැහැල්ලු බවට පත් කිරීම ප්‍රධානවම සිදු විය යුතු ප්‍රතිකාරයයි. එහිදී පීඩනය අවම වීම තුළින් ප්‍රතිකාරයට ඇති පහසුව නිසා රෝගය ඉක්මනින්ම සුව වීමට පුළුවන. දැඩි වේදනාවක් ගෙන දෙන භගන්දරා, අර්ශස්, පිළිකා , ගුද රෝග, ගල් තැළුම් හා සර්ප විෂ වැනි රෝග අවස්ථාවන් වලදී මෙලෙස මනස පීඩනයෙන් තොරව සැහැල්ලු කිරීම අතිශය වැදගත් වන්නේ රෝග තත්ත්වය සුව කිරීමේ ඇති පහසුව ලබා ගැනීම සඳහායි.
සමහර තෙල් ගෙඩි වැනි ගෙඩි වර්ග නැවත නොපැමිණීමට ඖෂධ ලබාදිය හැකියි. එය ඔඩු දුවපු අවස්ථාවක් නම් අවශ්‍ය ඉවත් කිරිම සිදු කරනුයේ ඖෂධ වර්ග ගැල්වීම හෝ අභ්‍යන්තරිකව ලබාදීම තුළිනි.
මනස සැහැල්ලු කිරීම


තුවාලයකදී මෙන්ම වෙනත් දරුණු අවස්ථාවකදී වුවද ප්‍රථමයෙන්ම රෝගියාගේ මනසට ප්‍රතිකාර සිදු කරයි. එනම් මනස සැහැල්ලුවෙන් තැබීමට උපදෙස් දීමයි. රෝගියා තුළ ඇති වී තිබෙන පහ කිරීම මෙහි අරමුණයි. ශාරීරික ප්‍රශස්ත භාවය සැලකිලිමත්වීම ද අවධානයට යොමු කෙරේ. මෙහිදී තෙල්වර්ග ආලේපන වර්ග භාවිතා වේ. සමහර විට මෙය රෝගියාගෙන් රෝගයාට වෙනස් වේ. වයස අනුව ද ප්‍රතිකාර විධි වෙනස්වන අවස්ථා ඇත. ඒ දරා ගැනීමේ හැකියාව මතයි. එසේම අළුත් තුවාල හා පරණ තුවාලවලට ප්‍රතිකාර යෑමේදී මේ තත්ත්වය තවත් වෙනස් වේ. මෙහිදී යොදන ඖෂධ වර්ග ද බලපානු ලබයි.

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.