දිනෙන් දින දියුණුවන රඹුක්කන දිසා රෝහල
විශ්වාසවන්ත මෙන්ම ගුණාත්මක සේවාවක් බලාපොරොත්තුවෙන් රෝගී වූ බොහෝ දෙනෙක් පිය නගන්නේ රජයේ රෝහලක් වෙතය. රජයේ රෝහලෙන් නොමිලේ ලැබෙන සේවාව ගැන ශ්‍රී ලාංකිකයින් බොහෝ සෙයින් විස්වාසය තබා ඇත.
ගුණාත්මක මෙන්ම විශ්වාසවන්ත සේවාවක් ලබාදීම සඳහා ජනතාවගේ අදහස්ද විවේචනද බොහෝ රෝහල් බලාපොරොත්තුවෙන් සිටී.
රඹුක්කන දිසා රෝහලේ දියුණුව සඳහා හැම විටම ජනතාවගේ අදහස් විවේචන අවශ්‍ය බව අප වෙත කියා සිටියේ එහි අධ්‍යක්ෂ වෛද්‍ය අයි. ජේ. පතිරණ මහතායි.

හදිසි ප්‍රතිකාර ඒකකයේ තාවකාලිකව නවත්වාගෙන ප්‍රතිකාර කෙරෙන අවස්ථාවන් තිබෙනවා.
එසේ ප්‍රතිකාර ලබන බොහෝ දෙනෙක් ඉක්මනින් නිවෙස් කරා යනවා. මේ මගින් රෝහලේ නේවාසික රෝගීන් ප්‍රමාණය අඩු කර ගත හැකි වුණා.
සුළු ශල්‍යකර්ම කිරීම, තුවාල සඳහා බෙහෙත් දැමීම වැනි කටයුතුත් මේ ඒකකයේදීම කෙරෙනවා.
බාහිර රෝගී අංශය වෙනමම පිහිටා තිබෙනවා. මේ අංශයේදී ලේඛකාධිකාරී වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත රෝගීනට අවශ්‍ය ප්‍රතිකාර කෙරෙනවා. මේ අංශයට අනුබද්ධිතව වෛද්‍ය කාර්ය මණ්ඩලයේ එකලොස් දෙනෙක් හා ලියාපදිංචි වෛද්‍යවරු 04 දෙනෙක් සිටිනවා.
බාහිර රෝගී අංශයේ ඉදිරිපස තුණ්ඩු ලබාදීම කෙරෙනවා. තුන්ඩු පිළිවෙලට රෝගීන් වෛද්‍යවරයා වෙත යොමු කෙරෙනවා. බාහිර ප්‍රතිකාර ඒකකයෙන් ප්‍රතිකාර ලබා ගෙන අපහසුතාවයකින් තොරව රෝගීන්ට කඩිනමින් නිවෙස් බලා යාමට හැකි පරිසරයක් මේ රෝහලේ තිබෙනවා.


වෛද්‍ය සායන සතියකට තුනක් කෙරෙනවා. දියවැඩියා සායනයත් පාසල් ළමුන් සදහා සෙනසුරාදා විශේෂ සායනයක් හා රැකියාවලට යන අයට විශේෂ සායනයක්ද පැවැත්වෙනවා.
මේ රෝහලේ පැවැත්වෙන සායන අතර ළය රෝග, මානසික රෝග, අක්ෂි රෝග, පූර්ව ප්‍රසව සායන ඉතා වැදගත්. ඉදිරියේදී නාරි රෝග සායනයක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.
රෝහලේ සෞඛ්‍ය අධ්‍යාපන ඒකකය මගින් කෙරෙන කාර්ය භාරය ඉතා වැදගත්. මේ ඒකකය හරහා සායන සඳහා පැමිණෙන රෝගීන් මෙන්ම බාහිර ජනතාවත් රෝග හා රෝග නිවාරණය පිළිබඳව දැනුම්වත් කෙරෙනවා.
විශේෂයෙන් බෝ නොවන රෝග වන දියවැඩියාව, අධික රුධිර පීඩනය, ඇදුම, හෘද රෝග වැනි රෝග සඳහා පාවිච්චි විය යුතු පිළිවෙළ කෑම බීම, ව්‍යායාම් පිළිබඳවත් රෝගීන් දැනුම්වත් කෙරෙනවා.
වෙනත් රෝග පිළිබඳවත් ඒවාට මුහුණ දිය යුතු ආකාරය පිළිබඳවත් රෝගීන් හා සාමාන්‍ය ජනතාව දැනුම්වත් කෙරෙනවා. ඒ වගේම කාලීන සෞඛ්‍ය ගැටලු පිළිබඳවත් ජනතාව දැනුම්වත් කෙරෙනවා.


රෝහල් කාර්ය මණ්ඩලයට සෞඛ්‍ය දැනුම ලබාදීම සඳහා විටින් විට තෝරාගත් පිරිස් සඳහා සම්මන්ත්‍රණ, පාඨමාලා පවත්වනවා. සෞඛ්‍ය කාර්ය මණ්ඩලය දැනුම්වත් නම් රෝගීන්ට හොඳ සේවාවක් ලබාදිය හැකියි.
මේ රෝහලේ දියුණුව සඳහා සියලු දෙනාගේම අදහස් යෝජනා පැමිණිලි අපි බාර ගන්නවා. ඒ සඳහා රෝහලේ විශේෂ පැමිණිලි පෙට්ටියක් සවිකර තිබෙනවා.
ඒ වගේම රෝහලේ දුරකථන අංකය සෑම තැනකම ප්‍රදර්ශනය කර තිබෙනවා. ඕනෑම කෙනෙක්ට එම අංකයට කථා කොට තමන්ගේ පැමිණිල්ල අදහස අපට කිව හැකියි.
සායනික වශයෙන් ගත්තොත් වැඩි වශයෙන් බෝ නොවන රෝග තත්ත්වයන්ට එන රෝගීන් වැඩියි.
මානසික රෝග ඒකකය සඳහාත් රෝගීන් පැමිණෙනවා. මේ රෝහලේ හොඳ රසායනාගාර සේවාවක් තිබෙනවා.
රෝහල් කමිටුව මගින් බොහෝ සේවා සපයනවා. ප්‍රදේශයේ ජනතාව රෝහලේ දියුණුවට විශාල වශයෙන් දායක වෙනවා.

ඊට හේතුව මේ ප්‍රදේශයේ ප්‍රවාහන අපහසුතා බොහෝ තිබෙනවා. මේ රෝහලේ ඇති උපරිම පහසුකම් සොයාගෙන රෝගීන්ට අවශ්‍ය සත්කාරය ලබා දෙනවා.

දිනකට තුන්වරක් මේ රෝහලේ නේවාසික රෝගීන් වෛද්‍යවරුන්ගේ පරීක්ෂාවට ලක් වෙනවා. ඒ නිසා හොද රෝග පරීක්ෂාවකින් පසු රෝගීන්ට ඖෂධ නිකුත් කිරීම සිදුවෙන බවට සහතිකයක් දිය හැකියි.
ඉතා හොඳ පුහුණු වෛද්‍ය හෙද සනීපාරක්ෂක කාර්ය මණ්ඩලයක් ඉන්නවා.
මේ ඔබේ ගමේ රෝහලයි. එය දියුණු කර ගැනීමට හැම දෙනාගේම අදහස් යෝජනා අවශ්‍යයි. රෝහලේ දියුණුව සඳහා ඕනෑම අදහසකට ඇහුම්කන් දෙන්න අපි සූදානම්.
බාහිර වෛද්‍ය සායන හා සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහන් සංවිධානය කරනවා නම් අපි ඒ සඳහා ඕනෑම ආයතනයකට සංවිධායනයකට සහාය දෙන්න සූදානම්.රෝහල් කාර්ය මණ්ඩලයේ එකතුවෙන් සුබ සාධක සංවිධානයක් පිහිටුවා තිබෙනවා. මේ සංවිධානයට එකතුවෙන මුදලින් කොටසක් වාර්ෂිකව රෝගීන් වෙනුවෙන් වෙන් කෙරෙනවා.
ක්‍ෂය රෝගය සඳහා සෙම පරීක්ෂාවත් මැලේරියා පරීක්ෂා කිරීමත් මේ රෝහලේ කෙරෙනවා. හඳුනාගත් ක්‍ෂය රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට වැලිසර ළය රෝහලෙන් මාසයකට වතාවක් වෛද්‍යවරයෙක් මේ රෝහලට පැමිණෙනවා. රුධිර, සීනි පරීක්ෂාවත් මේ රෝහලේදීම නොමිලේ කරගත හැකියි.
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.