යුද්ධයෙන් රෝගී වු ජීවිත සුවපත්කළ
යාපනය ශික්ෂණ රෝහල Jaffna Teaching Hospital
තිස් වසරක් පුරා පැවැති කුරිරු ත්‍රස්තවාදී යුද්ධයේ සාපයෙන් උතුරුකරය ගිනිගෙන දැවෙද්දී කිසිදු හව්හරණකින් තොරව හිසට සෙවණක්, කුසට අහරක් නොමැතිව උතුරේ ජනයා මර බියෙන් ගෙවූ ඒ බිහිසුණු කාලපරිච්ඡේදය දැන් නිමා වී අවසන් ය. එදා හුදු සිහිනයක් බවට පත්වී තිබූ “ඒකීය ශශ්‍රී ලංකාව“ අද සිංහ ධජය යටතේ ලෙලදෙනු දැකීම සත්තකින්ම ආශ්චර්යයක් නොවන්නේද? ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ අභීත නායකත්වය යටතේ ත්‍රස්තවාදීන් පරාජය කරමින් ඒකීය ශශ්‍රී ලංකාවක් තුළ පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා සිංහල - දෙමළ - මුස්ලිම් සියලුම ජන කොටස් ඒකරාශී කරමින් ලක් මාතාව සාමයෙන් සහජීවනයෙන් හිනැහෙනු දැකීම කෙතරම් භාග්‍යක් ද? එවන්වූ නිදහස් රටක ජීවත්වන අපගේ දෙමළ සොහොයුරු සොහොයුරියන්ගේ ජන ජීවිත යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන මේ වකවානුවේ, යාපා පටුනේ සංචාරයේ නිරතවෙමින් යාපනයේ රෝහල පිළිබඳත්, එහි ක්‍රියාකාරීත්වය, උතුරේ ජනතාවගේ ජීවිත නිරෝගීව තබාගන්නට රෝහල් කාර්ය මණ්ඩලය දරන වෙහෙස මහන්සිය පිළිබඳ ඔබ දැනුවත් කිරීම වැදගත් යැයි අප සිතුවෙමු.

ඒ – 9 මාර්ගය විවෘතව නොතිබුණ බැවින් කොළඹ සිට ඖෂධ මෙන්ම සෞඛ්‍ය අවශ්‍යතා පිරිමසන්නට සිදුවූයේ අති දුෂ්කරතා මධ්‍යයේය. එවකට කොළඹින් යාපනය රෝහලට ඖෂධ ඇතුළු සියලු අවශ්‍යතා සැපැයීමට සිදුවූයේ නැව් මගින් සහ ගුවන් මගිනි.
එවන්වූ දුෂ්කරතා මධ්‍යයේ වුවද තම සේවය නොපිරිහෙලා ඉටු කිරීමට යාපනය රෝහල් කාර්ය මණ්ඩලය සමත් වූයේ ජීවිතයත් මරණයත් අතර දෝලනය වන සටනින් ජන ජීවිත රැකගැනීමේ අරමුණ පෙරදැරිවය.
යාපනය නගරය හමුදාව යටතේ පැවැති බැවින් යාපනය නගරය තුළත් හමුදාව යටතේ පැවැති ප්‍රදේශ තුළත් ජීවත්වූ ජනතාවට යාපනය රෝහලෙන් සිය ලෙඩට දුකට ප්‍රතිකාර ලබාගැනීමට ඉඩකඩ සැළසිණි.
එහෙත් යුද මුක්ත කලාපවල යුද ගිනිදැල් ඇවිලෙද්දී අනතුරට පත්වූ සාමාන්‍ය ජනතාවට ත්‍රිවිධ හමුදාවේ මැදිහත්වීමෙන් රෝගීන්ට ප්‍රවාහන පහසුකම් සලසා දුන් අතර, බෝම්බ ප්‍රහාර, වෙඩි ප්‍රහාරවලට ලක්වූ අසාධ්‍ය රෝගීන්ගේ දිවි ගලවා දීමට යාපනය රෝහල සුවිශේෂ වූ කාර්ය භාරයක් ඉටුකළේය. මුළු යාපනයම විදුලිය නොමැතිව අඳුරේ ගිලෙද්දී ජෙනරේටර් යොදවා යාපනය රෝහලේ දෛනික වැඩ කටයුතු ඉටු කෙරිණි.

ත්‍රස්තවාදය රජ කළ සමය තුළ කැඩී බිඳී ගිය ඇතැම් ගොඩනැගිලි දැනටමත් පිළිසකර කර අවසානය.
අද යාපනය ශික්ෂණ රෝහල තුළ ක්‍රියාත්මක වන සායන ගණන 25 කි. ශල්‍ය, කායික, හෘද, ප්‍රසව හා නාරි, ස්නායු, දන්ත, අක්ෂි, ළමා විකලාංග, පිළිකා, පවුල් සැලසුම් මේ සියලු සායන දිනපතාම යාපනය රෝහල තුළ ක්‍රියාත්මක වේ. යාපනය රෝහල වාට්ටු 30 කින් සහ ඇඳන් 1250 කින් යුක්තය. විශේෂඥ වෛද්‍යවරු 26 දෙනෙකුගේ සේවය යාපනය රෝහලට ලැබේ.
සාමාන්‍ය වෛද්‍යවරු (MBBS) 200 ක් පමණ මේ රෝහලේ රෝගීන්ට ප්‍රතිකාර කරයි. යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්‍ෂිකා දොස්තර භවානි පසුවතිරාජා ය.

විශේෂඥ හෘද රෝග වෛද්‍යවරුන් දෙදෙනෙක් හෘද රෝගී අංශයේ සේවය කරයි අනෙකුත් වෛද්‍යවරුන් සාමාන්‍ය වෛද්‍යවරුන් ය. (MBBS) එන්ජියෝග්‍රෑම් හෘද සැත්කම් යනාදිය සිදුකිරීමට තරම් පහසුකම් නොමැති බැවින් එවැනි රෝගීන් කොළඹ හෘද රෝග ඒකකයට යවනු ලැබේ. යාපනය රෝහල ශල්‍ය වෛද්‍ය ඒකක 4 කින් සමන්විතය. හදිසි අනතුරු, ප්‍රසව හා නාරිවේද, කායික රෝගීන්,ළමා රෝග සඳහා මේ ශල්‍ය වෛද්‍ය ඒකක වෙන්කර ඇත.
ප්‍රසව හා නාරිවේද ශල්‍ය වෛද්‍ය ඒකකයේ සියලු දරු උපත්, සිසේරියන් සැත්කම් හා වෙනත් නාරි රෝග පිළිබඳ සැත්කම් සිදුකරනු ලබයි. මේ සේවාව සඳහා ද විශේෂඥ වෛද්‍යවරු අනුයුක්ත කර ඇත.
පිළිකා රෝගීන් සඳහා ද ඒකකයක් පිහිටුවා ඇත. සාමාන්‍ය ප්‍රතිකාර මෙහිදී සිදුකෙරේ. රේඩියෝතෙරපි (විකිරණ) ප්‍රතිකාර සඳහා තල්ලිපල පිහිටා ඇති රේඩියෝතෙරපි මධ්‍යස්ථානය වෙත ඔවුන් යවනු ලැබේ.
යාපනය රෝහල ශික්ෂණ රෝහලක් බැවින් යාපනය වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය සිසුන්ට ඉගෙනීම සඳහා වෙන් වූ අංශයක් පිහිටා ඇත. ඒ අංශයේ මුළුමනින්ම සිදු කෙරෙනුයේ වෛද්‍ය සිසුන්ට අදාළ විෂය පිළිබඳ දැනුම ලබා දීමයි.

අක්ෂි සායනය සඳහා විශේෂඥ වෛද්‍යවරු දෙදෙනෙකු සේවය කරයි. අනෙකුත් වෛද්‍යවරුන් සාමාන්‍ය වෛද්‍යවරුන්ය. අක්ෂි සම්බන්ධව සියලුම ප්‍රතිකාර මෙහිදී සිදු කෙරෙන අතර, විශේෂඥ අක්ෂි වෛද්‍යවරුන් විසින් ඇස්වල සුද ඉවත් කිරීමද සිදුකෙරේ. සතියකට රෝගීන් 40 – 50 අතර සංඛ්‍යාවක සුද ඉවත් කරන බව වාර්තා වී ඇත.

යාපනය ශික්ෂණ රෝහල් දෙමළ වෛද්‍යවරුන්ට සහ අමතරව සිංහල වෛද්‍යවරු සේවය කිරීම අගය කළ යුත්තකි. සේවය සඳහා සිංහල වෛද්‍යවරුන් 20 ක් කැප වී සිටින අතර ජාති භේදවලින් තොරව සිංහල හෙදියන් 14 දෙනෙක් දමිළ රෝගීන්ට උපස්ථාන කිරීමට යොමුවී සිටීම ජාතීන් අතර සමඟිය, සහජීවනයට කදිම නිදසුනකි.
වෛද්‍ය පරීක්‍ෂණ සිදුකරන්නන් MIT (Medical Laboratory Technician) අතර සිංහල තරුණයන් ද සිටී.
වත්මන් රජය මැදිහත් වීමෙන් ජපානයේ ජයිකා ආයතනය Japan International Coroperative Agency (JAICA) විසින් යාපනය රෝහල නවීකරණය කිරීමත්, ඉතා උසස් මට්ටමෙන් පවත්වාගෙන යාමටත් අරමුදලක් ලැබී ඇති බව පැවසුවේ රෝහල් අධ්‍යක්‍ෂිකා දොස්තර භවානි ය.
එළැඹෙන සැප්තැම්බරයේ ඇරැඹෙන යාපනය රෝහල නවීකරණය වැඩකටයුත්ත නිමාවීමෙන් අනතුරුව, යාපනයේ වැසියන්ට මෙන් ම උතුරුකරයේ ජනතාවට ද ඉතා උසස් තත්ත්වයෙන් සහ උසස් ප්‍රතිමිතියෙන් යුත් ආරෝග්‍යශාලාවක ප්‍රතිකාර ගනිමින් ඔවුන්ගේ සියලු ලෙඩ රෝග සුව කර ගනිමින් නිරෝගී සම්පන්නව ජීවත්වීමට ඔවුන්ට මඟ පෑදෙනු ඇත.

No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.