Base Hospital - Panadura

Dinamina - Aarogya - article -21st July 2017

ජීවිත එපා වූ සිසුන්ට පිළිසරණක් වූ පානදුර  මූලික රෝහල



නිරෝගිමත් පරපුරක් බිහිවීම රටක සංවර්ධනයේදී වැදගත්ම සාධකයකි. එහිදී රටේ ජනතාව හොඳ සෞඛ්‍ය පුරුදු පුහුණු විය යුතුවාක් මෙන්ම, රෝගාබාධවලදී නිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීමද වැදගත්ය.
මෙරට ජනගහනයෙන් වැඩි පිරිසක් සෞඛ්‍ය පහසුකම් නොමිලයේ භුක්ති විඳිති.
නොමිලයේ සෞඛ්‍ය පහසුකම් සැපැයීමේදී රජයේ රෝහල්වලින් සිදු වන්නේ සුවිශාල මෙහෙවරකි.
ප්‍රිය මනාප මිත්‍රශීලී පරිසරයක් රෝගී සේවාව සැපැයීම සඳහා පානදුර රෝහල පියවර ගෙන ඇති ආකාරය පැසසුම් සහගතය. එමෙන්ම කසළ කළමනාකරණය අතින්ද විශේෂ වැඩකොටසක් ඔවුන්ගෙන් ඉටු වෙයි. පානදුර මූලික රෝහල් අධ්‍යක්‍ෂිකා වෛද්‍ය සාගරී කිරිවන්දෙනිය මහත්මිය රෝහල පිළිබඳ අදහස් දැක්වූයේ මෙසේය.
පානදුර මූලික රෝහල් අධ්‍යක්‍ෂිකා වෛද්‍ය සාගරී කිරිවන්දෙනිය
‘අපේ රෝහලේ තොරතුරු ලබා ගැනීමට පැය 24 පුරාම ඉදිරිපස විමසීම් කවුළුවේ හෙදියක් රාජකාරියේ යෙදී සිටිනවා.
බාහිර රෝගී අංශයට පැමිණෙන ඕනෑම රෝගියෙක් අංක ලබා ගත යුතුයි. අංක ලබාදීම උදෑසන 7.00 ට ආරම්භ කරනවා. අංක පිළිවෙළට ප්‍රතිකාර කිරීම සිදු වෙනවා.
රෝගීන්ගේ පහසුව සඳහා බාහිර රෝගී අංශයේ ප්‍රතිකාර ලබා දෙන වෛද්‍යවරයාගේ කාමරය ඉදිරියේ ස්වයංක්‍රීයව අංක ක්‍රියාත්මක වන යන්ත්‍රයක් සවි කර තිබෙනවා. මේ නිසා රෝගීන් බාහිර රෝගී අංශයේ රස්තියාදු වීමක් සිදු වන්නේ නැහැ.
වෛද්‍යවරයා වෙත යාමට තමන්ට කල්වේලා ඇත්නම් වෙනත් කටයුත්තක් සඳහා රෝහලින් බැහැරට ගොස් නැවත පැමිණීමට හැකියි.
මේ රෝහලේ බාහිර රෝගී අංශය උදේ 8 සිට සවස 4 දක්වා ක්‍රියාත්මකයි. ගාලු කොළඹ ප්‍රධාන මාර්ගය ආසන්නයේම රෝහල පිහිටා තිබීම නිසා මේ රෝහලට රෝගීන් පැමිණීම වැඩියි.
රෝගීන්ට බෙහෙත් සපයන අංශයත් උදේ 8 සිට සවස 4 දක්වා එක දිගට වැඩ කරනවා.
දිනකට බාහිර රෝගී අංශයට රෝගීන් 1200 ක් පමණ සහභාගි වෙනවා. පැමිණෙන සෑම රෝගියෙක් සඳහාම උපරිම සෞඛ්‍ය පහසුකම් ලබාදීම අපේ වගකීමක්.
පවුල් සෞඛ්‍ය සායනය විදියට අලුතින් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක ;වනවා. සාමාන්‍ය වෛද්‍ය සායන සඳහා පැමිණෙන රෝගීන්ගෙන් තෝරාගත් පිරිසක්, පවුල් සෞඛ්‍ය සායනයට සහභාගි කර ගන්නවා. මෙහි විශේෂත්වය තමයි මේ සායනයේදී රෝගියෙක් වෙනුවෙන් වෛද්‍යවරයෙක් වැඩි කාලයක් ලබා ගැනීම. ඒ වගේම එකම වෛද්‍යවරයාගෙන් දීර්ඝ කාලයක් ප්‍රතිකාර ලබා ගැනීමේ පහසුවත් මේ මගින් සැපයෙනවා.
දිගින් දිගටම එකම වෛද්‍ය වරයෙක් ගෙන් ප්‍රතිකාර ලබා ගැනීම නිසා බොහෝ රෝගීන්ගේ රෝගී තත්ත්වය කඩිනමින් හඳුනා ගැනීමටත් කඩිනමින් ප්‍රතිකාර ලබාදීමටත් හැකියි. රෝගියාගේ සියලු රෝග ගැන වෛද්‍යවරයා දැනුම්වත් වීම නිසා රෝගියා සහ වෛද්‍යවරයා අතර මනා සබඳතාවක් ගොඩ නැඟෙනවා. දැනට මේ සඳහා තෝරාගත් රෝගීන් දහසක් සායනයේ ලියාපදිංචි කර තිබෙනවා.
මේ රෝහලේ මානසික සෞඛ්‍ය ඒකකය මගින් විශාල වැඩ කොටසක් කරනවා. සායනයට අමතරව මානසික රෝගීන්ගේ නිවෙස් වලට ගොස් අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමත් රෝහල් වෛද්‍යවරු සිදු කරනවා. මෙහිදී විශේෂඥ වෛද්‍යවරයෙක්ගේද සහය ලැබෙනවා.
විශේෂඥ වෛද්‍යවරු 15 ක් ඉන්නවා. සාමාන්‍ය වෛද්‍යවරු 90ක ගේ සේවය ලැබෙනවා. මේ රෝහලේම කොටසක් තමයි පාණදුර කේතුමතී කාන්තා රෝහල. කේතුමතී රෝහල ප්‍රදේශයේ ගැබිනි මවුවරුන්ට විශේෂ සේවාවක් සපයනවා. එම රෝහලේ නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරු දෙදෙනෙක් සේවය කරනවා. ගුණාත්මක සේවාවක් ලබාදීම අපේ අරමුණයි.
අපේ රෝහලේ යොවුන් මිතුරු සුවසේවා ඒකකය ඉතාමත් හොඳයි. උපදේශන සහ ජීවන නිපුණතා පුහුණුවක්ද සහිත වෛද්‍යවරු දෙදෙනෙක් එහි සේවය කරනවා. නොයෙක් ප්‍රශ්නවලට මැදිවූ තරුණ පිරිසට මෙය ඉමහත් සේවයක්. මේ ඒකකයට බොහෝ විට පාසල් ළමයි පවා යොමු වෙනවා. ජීවිත පවා නැති කර ගන්නට ගිය ළමයින් සඳහා ප්‍රතිකාර කර අපි ඔවුන් බේරා ගත්තා.
නොදැනුවත්කමින් ගැබිනියන් බවට පත්වූ පාසල් ශිෂ්‍යාවන් පවා මේ ඒකකයට සහභාගී වෙනවා. පාසල් සිසුන් බොහෝ දෙනෙක් ඒ අයට තියෙන ප්‍රශ්න තවත් අයෙකුට කියන්න බයයි. ඒත් වෛද්‍යවරු රහස්‍ය භාවය රකින නිසාත්, ඒ අයගෙන් සුවයක් ලැබෙන නිසාත්, ඕනෑම ප්‍රශ්නයක් වෛද්‍යවරයෙකුට කියනවා.
අපි හිතන්නෙ නැති බොහෝ දේ ළමයි වෛද්‍යවරුන්ට කියනවා. ඒ අයට ඔරොත්තු නොදෙන ප්‍රශ්නවලට පවා ඒ ළමයින් මැදි වෙලා. ඒ අනුව අපට මේ ඒකකය හරහා බොහෝ දෙනෙක්ට ප්‍රතිකාර කරන්න හැකිවෙලා තිබෙනවා.
අපි පාසල් වලට ගිහින් දේශන පවත්වනවා. එහිදී ළමයින්ට මේ සායන ගැන දැනුම්වත් කරනවා.
විදුහල්පතිවරුන්ගේ රැස්වීම් වලදීත් අප ඒ අය දැනුම්වත් කරනවා. බොහෝ විට ප්‍රජනක සෞඛ්‍ය ගැන ළමයින් දැනුවත් කිරීම අප කරනවා.
අපේ රටේ පාසල්වල හත්වැනි පන්තියේදී තමයි ප්‍රජනක සෞඛ්‍ය අධ්‍යාපනය ලබා දෙන්නෙ. ඒත් අපේ පාසල්වල ඒ දේ හරියට සිද්ධ වෙන්නෙ නෑ.
ප්‍රජනක සෞඛ්‍ය අධ්‍යාපනය විද්‍යානුකූලව නිවැරැදිව ළමයින්ට ලබාදිය යුතුමයි. නැතිනම් ළමයින් වෙනත් අයගෙන් ඒ පාඩම් ඉගෙන ගන්න යනවා. එවැනි ළමයින් අපේ යොවුන් මිතුරු සුව සේවා ඒකකයට එනවා.
ඒ නිසා ගුරවරුන්ගෙත් මවුපියන්ගෙත් යුතුකම තමයි ළමයින්ට ලිංගික අධ්‍යාපනය නිවැරදිව ලබාදීම.
මිතුරන් නිසා ගැටලුවකට පත් වෙලා තමන්ට කාගෙන්හරි අතවරයක් සිදු වෙලා සරණක් නැත්නම් මේ රෝහලේ ‘යොවුන් මිතුරු සුවසේවා’ ඒකකයට එන්න. රහස්‍ය භාවය සම්පූර්ණයෙන් ආරක්ෂා වෙනවා. නිවැරදි පිළිවෙළට සහනදායි පිළිතුරක් ඔබට ලැබෙනවා. අඟහරුවාදා සහ සිකුරාදා උදේ 10 සිට සවස 3 දක්වා මේ ඒකකය ප්‍රතිකාර සඳහා විවෘතයි. උසාවියෙන් අප වෙත එවන මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ට ප්‍රතිකාර හා උපදේශන සැපැයීමත් මේ රෝහලෙන් කෙරෙනවා.
ඵලදායිතාව දියුණු කිරීමට අප වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරනවා. බාහිර පිරිසුදුකම, ක්‍රමානුකූල බව, කාර්ය මණ්ඩලයේ ආකල්පමය වෙනසක්, වෘත්තීය කුසලතා නැංවීම, මෙන්ම රෝගීන් සමග සම්බන්ධතා පවත්වන ආකාරයත් අපේ කාර්යය මණ්ඩලයට පුහුණු කළා.
කාර්ය මණ්ඩලයේ විශේෂ දක්ෂතා ඇති අයට එම දක්ෂතා ප්‍රයෝජන ගැනීමට හැකි පරිසරයක් අපි ඇති කළා. වඩු වැඩ දන්නා සේවකයන් රාජකාරියට අමතරව රෝහලේ අලුත් වැඩියා කටයුතු සඳහා යොමු වුණා. තීන්ත ආලේපනයට දක්ෂ අය ඒ සඳහා යොමුවුණා. ගෙවතු අලංකරණයට දක්ෂ අය ඒ සඳහා යොමු කළා.
මේ නිසා අපේ රෝහල ලස්සනට තබා ගන්න අපට හැකි වුණා. අපේ රෝහලේ කසල බැහැර කිරීම ඉතාම ක්‍රමානුකූ®ලයි. අපි ඒ සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. අපද්‍රව්‍ය බැහැර කරන්න විවිධ වර්ණයන්ගෙන් යුත් කසළ බඳුන් තබා තිබෙනවා. මේ සම්බන්ධව රෝගීන්වත් දැනුම්වත් කරනවා. ඊට අමතරව වාට්ටුවලත් කසළ බැහැර කිරීමේදී විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. ප්ලාස්ටික්, කඩදාසි, පොලිතින්, වීදුරු වෙන වෙනම එකතු කරනවා. රෝහලේ එකතුවන ඉඳුල් හා අපද්‍රව්‍ය යොදාගෙන ජීව වායුව සකස් කරනවා.
ඒවා රෝහලේ පාවිච්චියට ගන්නවා. මේ නිසා එල්. පී. ගෑස් සඳහා රෝහලට ගිය වියදම 60 % කින් පමණ අඩු කර ගත්තා. ඊට අමතරව ප්ලාස්ටික්, කඩදාසි, කාඩ්බෝඩ් ආදී ද්‍රව්‍ය විකුණා මුදල් ලබා ගන්නවා.

පානදුර කේතුමතී කාන්තා රෝහල

මේ රෝහලට අනුබද්ධ පානදුර කේතුමතී කාන්තා රෝහල ද විශේෂ සේවයක් සපයනවා. ගැබිනි මවුවරුන් සඳහා වෙනම ස්ථානයක් හැටියටයි එය පවත්වාගෙන යන්නෙ. බොහෝ දෙනාගේ කැමැත්තක් එම රෝහලට තිබෙනවා. නේවාසික ප්‍රතිකාර සඳහා මවුවරු 140 ක් පමණ දිනකට ඇතුළත් වෙනවා.
කළලයට සති 20 දී විතර මවුවරු රෝහලට එනවා. මේ රෝහලේ මවුවරු ලියාපදිංචි විය යුතුයි. කේතුමතී රෝහලේ උපදින දරුවන් සති දෙකකින් නැවත සායනයට රැගෙන ආ යුතුයි. නැවත මාසයකට පසු දරුවා රෝහල් සායනයට රැගෙන එන්න වෙනවා. ඉන් පසු විශේෂ ගැටලු සහිත ළමයින් සිටී නම් ඒ අය සායන සඳහා යොමු කරනවා.

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.