Rheumatology and Rehabilitation Hospital - Ragama

Dinamina - Aarogya artcle - 2nd February 2011

ආබාධිතයන්ට සුවය ගෙ‍නෙන රාගම රක්තවේද හා පුනරුත්ථාපන රෝහල



ඕනෑම අවස්ථාවක ඇතිවන සුළු අත් වැරදීමකින් ඔබේ අස්ථි බිඳීයාමක් විය හැකියි.
අනතුරකින්, වෙනත් රෝගයකින් හෝ උපතින් ඇතිවන අස්ථි ආබාධ නිසා බොහෝ දෙනා පීඩා විඳිනවා. මේ රෝගී තත්ත්වය ජීවිතයේ තවත් අයෙක්ගේ පිහිට පැතිය යුතු අවස්ථාවක්.
ජිවිතයේ ස්වාධීනව නැගී සිටීමට නොහැකි අවස්ථාවකදී ඇතිවන වේදනාව සියසින් දැක ගන්නට අප පසුගිය දා රාගම රක්තවේද හා පුනරුත්ථාපන රෝහලට ගියා.
විවිධ ආබාධ සහිත රෝගීන්ට එම රෝහලෙන් සිදුවන්නේ සුවිශාල සේවාවක්.
මේ රෝහලෙන් සිදුවන සේවාව පිළිබඳ අදහස් දැක්වූ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, ප්‍රජා වෛද්‍ය විශේෂඥ ආර්. පී. පාලිත කරුණාපේම මහතා.
මේ රෝහලට ඇතුළත් කරන්නේ වෙනත් රෝහලකින් එවන රෝගීන් පමණයි.
බාහිර රෝගී අංශය සහ නේවාසික ප්‍රතිකාර අංශය ලෙස කොටස් දෙකයි.
විවිධ ආබාධවලට පත්වූවන් දැනට ශ්‍රී ලංකාවේ 7 % ක් 8 % ක් පමණ ඉන්නවා. මේ අයගෙන් ඉතාම බැරෑරුම් ආබාධ සහිත අයටත් මේ රෝහලෙන් ප්‍රතිකාර කෙරෙනවා.
ගසකින් වැටීම රිය අනතුරු හා දරුණු අනතුරු නිසා සුෂුම්නාවට හානිවීමෙන් සදාකාලික අබ්බගාත වුණු අයට මේ රෝහලේ ප්‍රතිකාර කෙරෙනවා.
අනතුරකට ලක්වූ විගස රෝගියා රෝහල් ගත කිරීමෙන් අනතුරුව ලබාදෙන මුලික ප්‍රතිකාරවලින් පසු, රෝගියාට තමන්ගේ කටයුතු කර ගැනීමට නොහැකි ලෙස අස්ථි ආබාධවලින් පෙළෙන්නේ නම් රෝගියා නැවත යථා තත්ත්වයට ගැනීම මේ රෝහලේ කාර්යභාරයක්.
මේ රෝහලට රෝගියා පැමිණි පසු රෝගියා පිළිබඳව සම්පූර්ණ පරික්ෂාවක් කෙරෙනවා. පළමුව විශේෂඥ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණයට ලක් වෙනවා.
රෝගීන්ට ඖෂධ ප්‍රතිකාරවලට අමතරව ව්‍යායාම් ලබාදීම ඉතාම වැදගත්. යම් රෝගියෙක් රෝහල්ගත වීමට ප්‍රථම යම් කිසි රැකියාවක නිරතව සිටියානම් ඔහුට එම රැකියාව නැවත කරගත හැකි පරිසරයක් නිර්මාණය කර දිය යුතුයි.
මේ සඳහා භෞත චිකිත්සක අංශයක් තිබෙනවා. ආඝාතය වැනි රෝගී තත්ත්වවලදී කථන දුර්වලතා ඇති වෙනවා. එවැනි රෝගීන්ගේ කථන හැකියාව වැඩි කිරීමට කථන ඒකකයක් තිබෙනවා.
රෝගීන් වැඩි කාලයක් නේවාසික ප්‍රතිකාර ගන්නා රෝහලක් හැටියට මේ රෝහල හඳුන්වන්න පුළුවන්. සමහර රෝගීන් මාස 06 ක් හෝ ඊට වැඩි කාලයක් නේවාසික ප්‍රතිකාර ගන්නවා.
ආබාධ සහිතව කිසිවක් කර කියා ගත නොහැකිව මේ රෝහලට පැමිණෙන රෝගීන් ස්වාධීනව කටයුතු කළ හැකි අයෙක් බවට පත් කිරීම අපේ වගකීමක්. මේ රෝහලෙන් නික්ම යන වැඩි පිරිසක් රෝගීන් හට ඔවුන්ගේ කටයුතු තවත් අයෙකුගේ උදවු නොමැතිව කර ගත හැකි තත්ත්වයට අපි පත් කරනවා.
රෝගියා ආබාධ තත්ත්වයට පත්වීමට පෙර යම් වෘත්තියක නියැලී සිටියා නම්, එම වෘත්තිය නැවත කරගෙන යාමට හැකි පරිසරයක් හෝ නැතිනම් වෙනත් ස්වයං රැකියාවක් කර ගත හැකි මට්ටමට රෝගියා ගැනීමට කාර්ය මණ්ඩලය විශාල වෙහෙසක් ගන්නවා.
මේ කාර්යයේදී සමාජ සේවා දෙපාර්තමේන්තුව අපට උදවු කරනවා. ආබාධිත අය සඳහා වෙනම පුහුණු ඒකකයක් රෝහල තුළ ක්‍රියාත්මකයි. හන්දි රෝග සඳහාම වෙන්වූ වෙනම වාට්ටුවක් තිබෙනවා. ආබාධ සහිත රෝගීන්ට වෛද්‍යමය ප්‍රතිකාර සඳහා වෙනම අංශයක් තිබෙනවා.
තුනටියෙන් පහළ පණ නැති රෝගීන් සඳහා වෙනම වාට්ටු තිබෙනවා. වාට්ටුවලට ඇතුළත් කරන නේවාසික රෝගීන් සඳහා ව්‍යායාම් ලබා දෙනවා. මාස කීපයක් මේ ව්‍යායාම්වල නිරතවන රෝගීන් ටිකෙන් ටික සුව අතට හැරෙනවා. ව්‍යායාම් සඳහා අත් පා හා ඇඟිලිවලට පේෂිවලට ශරීරයට විවිධ හැඩතලවලින් යුක්ත වෙන වෙනම උපකරණ තිබෙනවා. මේවා අවශ්‍ය පරිදි සොයාගෙන පිසියොතෙරපි(භෞත චිකිත්සක) ප්‍රිතිකාර ලබා දෙනවා.
ඔකියෝතෙරපි(වෘත්තීය චිකිත්සක) අංශයත්, පිසියෝතෙරපි අංශයත් සහ කථන පුහුණු අංශයත් යටතේ රෝගීන්ට පුහුණුව ලබා දෙනවා. ඊට අමතරව සෞඛ්‍ය අධ්‍යාපනය ලබාදීම සඳහා සෞඛ්‍ය අධ්‍යාපන ඒකකයක්ද ක්‍රියාත්මකයි.
මේ රෝහලට පැමිණෙන රෝගීන් බොහෝ දෙනෙක් දියවැඩියා රෝගී තත්ත්වයෙන් පෙළෙනවා. මේ රෝගීන් සඳහා වෙනම සෞඛ්‍ය අධ්‍යාපනය ලබාදීමට හෙදියන් සිටිනවා. ස්ථූල තාව, ආහාර රටාව, ව්‍යායාම් කළ යුතු ආකාරය, ගැන අධ්‍යාපන ඒකකය මගින් රෝගීන් දැනුම්වත් කරනවා.
ආඝාත රෝගියෙක් නම් වෙනමම වූ අධ්‍යාපනයක් ඒ අයට දිය යුතුයි. වාට්ටුවලට ගොස් අවශ්‍ය දැනුම ලබාදීමත්, සායනවලට පැමිණෙන රෝගීන්ට අවශ්‍ය දැනුම ලබාදීමත් කෙරෙනවා.
ඒ වගේම නේවාසික රෝගියෙක් රෝහලෙන් පිටවීමට ප්‍රථම රෝගියාගේ පවුලේ ඥාතීන් රෝහලට කැඳවා රෝගියා නඩත්තු කර ගැනීම හා ප්‍රතිකාර ලබාදීමේ වැඩපිළිවෙළ පිළිබඳ ඔවුන් දැනුම්වත් කිරීම කෙරෙනවා.
මේ රෝහලේ නොමිලේ රෝද පුටු පිරිනැමීමේ වැඩසටහනක් ක්‍රියාත්මකයි. මේ අරමුදලේ දැනට රුපියල් ලක්ෂ 30 ක් පමණ තිබෙනවා. විවිධ ආධාර මේ අරමුදලට ලැබෙනවා. අඩු ආදායම්ලාභී අයට නොමිලේ රෝද පුටු ලබාදීමත්, මුදල් ගෙවිය හැකි අයට අඩු මුදලකට රෝද පුටු ලබාදීමත් කරනවා.
නොමිලේ රෝද පුටු ලබාගැනීම සඳහා අඩු ආදායම් ලාභියෙක් බව සනාථ කළ යුතුයි. ඒ වගේම රෝගියා මේ රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබාගෙන තිබීමත් අවශ්‍යයි.
මේ පුටුවක නිෂ්පාදන වියදම අඩුම තරමින් රුපියල් විසි පන්දහසක් වෙනවා. ඒත් අපි ලබා දෙන්නේ රුපියල් පහළොස් දහසක් වැනි සහන මිලකටයි.
මේ රෝහලේ නිෂ්පාදනය කරන රෝද පුටු රෝගියාගේ රෝගී තත්ත්වයත් රෝගියාට පහසුවෙන් පරිහරණය කළ හැකි ආකාරයටත් සකසා තිබීම රෝගියාට පහසුවක්.
ඒ ආකාරයේ රෝද පුටු නිෂ්පාදනය කරන්නේ මේ රෝහලේ පමණයි. රෝද පුටුවලට අමතරව කෘත්‍රිම පාද, අත්වාරු, ආබාධිත අයට අවශ්‍ය වෙනත් උපකරණත් රෝහලේ නිෂ්පාදනය කරනවා.
උපතේ්දී ඇතිවන අස්ථි ආබාධ සඳහා මේ රෝහලේ ප්‍රතිකාර කරනවා. ඒ සඳහා වෙනම ඒකකයක් පිහිටුවා තිබෙනවා.
ආබාධිත අයට අවශ්‍ය උපකරණ නිෂ්පාදනය කරන අය පුහුණු කරන ඒකක දෙකක් තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ පවත්වාගෙන යන ඒකකය පුහුණු පාසලක් ලෙස ක්‍රියාත්මකයි. අනෙක් ඒකකය රෝහලට අයත් එකක්.
ආබාධිත රෝගීන්ට සම්පූර්ණ පහසුකම් සහිත රෝහලකට ශ්‍රී ලංකාවේ තිබෙන්නේ මේ රෝහල පමණයි. ආබාධිත අයට සැලකිය යුතු ආකාරය වෙනස්.
ඒ නිසා මේ රෝහලට පැමිණෙන අලුත් කාර්ය මණ්ඩලයට විශේෂ පුහුණුවීම් දිය යුතුයි. ආබාධිත රෝගීන් බලා ගැනීම සඳහා රෝගියා ලවා එක් බාහිර අයෙක්ට නැවතිය හැකියි. ඒ අයට අපට හැකි ආකාරයෙන් පහසුකම් සපයනවා. මේ රෝගීන්ගේ මනස සුවපත් කිරීම සඳහා ආගමික වතාවත් ඉටු කිරීමට අවශ්‍ය පරිසරය සකසා තිබෙනවා.
වාහන අනතුරු, ගස්වලින් වැටීම්, ක්‍ෂය රෝගය, සුෂුම්නාවේ ඇතිවන ගෙඩි, පිළිකා තත්ත්ව, භෞතවේදී වෙනස්කම් නිසා ඇතිවන සුෂුම්නා ආබාධ රෝගීන්, ආතරයිටීස්, ආඝාත (අංශභාග), අත් පා වල ස්නායු ආබාධ නිසා ඇතිවන අස්ථි ආබාධ සහිත රෝගීන් මේ රෝහලේ ප්‍රතිකාර ලබනවා.
මේ රෝහල රාගම ශික්ෂණ රෝහල යටතේ් පවතින රෝහලක්.

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.