Teaching Hospital - Peradeniya

Dinamina - Aarogya aricle - 24th July 2013

වෛද්‍ය සිසුන්ගේ අධ්‍යාපනය සදහාම බිහි වූ පේරාදෙණිය ශික්ෂණ රෝහල



ශික්ෂණ රෝහලක් යනුවෙන් හඳුන්වන්නේ වෛද්‍ය සිසුන්ගේ ප්‍රායෝගික අත්දැකීම් පුහුණුව හා අවසන් වසරේ විභාගය සඳහා අවශ්‍ය ඉගෙනුම් ලබාදීම පිණිස මූලිකත්වය ලබාදෙන තැනක්.
පේරාදෙණිය ශික්ෂණ රෝහල ශික්ෂණ රෝහල් අතරින් විශේෂ වන්නේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට අනුයුක්තව සිසුන්ගේ අධ්‍යයන කටයුතු උදෙසාම 1980 වසරේදී ආරම්භ කළ නිසායි. එවකට ආරම්භක අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේ, වෛද්‍ය ඩබ්ලිව්.ඕ. වඩුගොඩපිටිය මහතායි.
රෝහලේ වත්මන් අධ්‍යක්ෂ වෛද්‍ය චන්ද්‍රා ගුණතිලක මහත්මිය රෝහලේ වැඩිම කාලයක් (වසර 9ක්) රෝහල භාරව කටයුතු කළාය.
වසර 1992 සිට 2008 කාලය තුළත්, වසර 2011 සිට මේ දක්වාත් කාලය ඇය පේරාදෙණිය රෝහලේ සියලු සේවාවන් ලබා දුන්නේ, ජනතා සේවයත් වෛද්‍ය සිසුන්ගේ වැඩිපුර අධ්‍යාපනයත්, උදෙසායි.
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඇදන් 950ක් ඇති අතර, විශේෂඥ වෛද්‍යවරුන් 50කට ආසන්න සංඛා්‍යාවක් ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරීන් ඇතුලු වෛද්‍ය නිලධාරීන් 216 දෙනෙකුගේ මඟ පෙන්වීමෙන් ප්‍රතිකාර කටයුතු කරගෙන යනු ලබයි.
මේට්‍රන්වරියන් දෙදෙනෙකු හෙද සොයුරියන් 18 දෙනෙකු සහ හෙද නිලධාරීන් 600කගේ කැපවීමෙන් සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනීන් 43 දෙනෙකුගෙන් රෝගීන්ගේ කටයුතු මැනවින් සිදු කිරීමට ඉඩ ලැබී ඇත.
රේඩියෝ ග්රැෆික්, ඊ.සී.ජී, ඊ.ඊ.ජී ඇතුලු කිරණ පරීක්ෂණ සඳහාත් රුධිර පරීක්ෂණ සඳහාත් සියලුම පහසුකම් රෝහල තුළ සපයා ඇති අතර ඒ ඒ අංශ සඳහා මනා පුහුණුව සහ පළපුරුද්ද ඇති පර්යේෂණ නිලධාරීන් සිටී.
සෞඛ්‍ය අධ්‍යාපන කාර්යයන් පවුල් සැලසුම් ප්‍රතිකාර සහ මහජන දැනුවත් කිරීම් ක්‍රමානුකූලව පවත්වගෙන යන අතර, දියවැඩියා ප්‍රතිකාර ඒකකය හරහාද දිනපතා රෝගීන් දැනුවත් කිරීමක් කෙරේ.
කඩිනම් ප්‍රතිකාර සේවා සඳහා, හදිසි ප්‍රතිකාර ඒකක, දැඩි සත්කාර ඒකක නොමේරූ ළදරු ඒකක ඇතුලු හදිසි ප්‍රතිකාර අංශද ක්‍රමානුකූලව ක්‍රියාත්මක වෙයි.
විශේෂඥ ශල්‍ය වෛද්‍ය ළමා වංශ මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ ශල්‍යාගාර සේවා ඉතා ඉහළින් සිදු කෙරෙන අතර ළමා වකුගඩු බද්ධ කිරීම් සිදු කෙරෙන එකම ස්ථානයද පේරාදෙණිය ශික්ෂණ රෝහලයි.
සතියේ සෑම දිනකම පාහේ ක්‍රියාත්මක වන සායන මඟින් දිනකට රෝගීන් 800කට වැඩි පිරිසක් ප්‍රතිකාර ලබා ගනී.
කායික රෝග සායනය සතියේ සෑම දිනකම උදේ වරුවේ සහ සවස් වරුවේ පැවැත්වෙන්නේ, කායික රෝග විශේෂඥවරුන් රැසකගේ සහභාගීත්වයෙන්, සායනයන් සෑම දිනකම මනාලෙස පවත්වාගෙන යාමට හෙද නිලධාරී මංජුල රණතුංග මහතා ඇතුලු හෙද කාර්යය මණ්ඩලයත් දරණ වෑයම අගය කළ යුතුයි.
රෝහලේ පරිපාලන, ගණකාධිකාරී, ලිපිකරු, දුරකථන ක්‍රියාකරුවන්, කාර්මික ශිල්පීන් සමස්ථ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ 366 දෙනාත්, ආරක්ෂක අංශයේ, ප්‍රධාන ආරක්ෂක නිලධාරී සකලසූරිය මහතා ඇතුලු ආරක්ෂක අංශයේ නිලධාරීන් රෝහලේ, දියුණුව උදෙසා වෙහෙසෙන්නේ මහත් කැපවීමෙන්.
පුළුල් සේවාවන් ජනතාව උදෙසා ලබාදෙන පේරාදෙණිය ශික්ෂණ රෝහල මධ්‍යම පළාතටම ගෙන එන්නේ කීර්තියක්!

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.