දෙස් විදෙස් සංචාරකයින්ට සුවය සදන දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව දිස්ත්‍රික් මූලික රෝහල
සුවපත් දිවියක් අප කාගේත් බලාපොරොත්තුවයි. ඒත් අප නොසිතන වෙලාවක අප රෝගී විය හැකියි. එවැනි මොහොතක රෝහලකින් සිදුවන සේවය විශිෂ්ටයි.

මේ රෝහල පිහිටා තිබෙන්නේ සංචාරකයින් වැඩිපුර ගැවසෙන නගරයක් ආශ්‍රිතවයි. මේ නිසා මේ රෝහලේ සේවය විශේෂයි. දෙස් විදෙස් සංචාරකයින්ගේ සෞඛ්‍ය පහසුකම් හා ඔවුන්ගේ හදිසි අවස්ථාවලදී අපට විශේෂ කාර්යභාරයක් පැවරෙනවා.
මේ රෝහලේ බාහිර රෝගී අංශය පැය 24 පුරාම ක්‍රියාත්මකයි. ඕනෑම රෝගී අයෙක්ට මේ අංශයට පැමිණ ප්‍රතිකාර ලබාගත හැකියි.
බාහිර රෝගී අංශයේ රෝගීන් ඇතුළත් කර ගැනීමේ කාමරයට පැමිණීමෙන් පසු එහි සිටින වෛද්‍යවරයාගේ උපදෙස් මත අදාළ රෝගියාගේ ප්‍රතිකාර තීරණය කරනවා. ඉරිදා සහ රජයේ නිවාඩු දිනයන්හිදී මේ අංශයේ ප්‍රතිකාර උදෑසන 8 සිට උදෑසන 10.00 දක්වා පමණක් ක්‍රියාත්මක කරනවා.

මේ රෝහලට අනුයුක්තව විශේෂඥ වෛද්‍යවරුන් 11 දෙනෙක් සිටිනවා. විශේෂඥ කායික වෛද්‍යවරුන් දෙන්නෙක්, විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙක්, ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙක්, ප්‍රසව හා නාරි, සමේ රෝග අක්ෂි, නිර්වින්දන, ව්‍යාධිවේද, මානසික හා විකිරණ වේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවයත් මේ රෝහලෙන් ලබාගත හැකියි.
ශල්‍ය අංශය මගින් හදිසි ශල්‍යකර්ම සියල්ලම මේ රෝහලේදී කෙරෙනවා. හර්නියා, තයිරොයිඩ් ග්‍රන්ථි වගේම විවිධ රෝගී අවස්ථාවන්වලදී අවශ්‍යවන විශේෂිත ශල්‍යකර්මත් කෙරෙනවා.
සෞඛ්‍ය අධ්‍යාපන ඒකකයෙන් කෙරෙන කාර්යභාරයත් විශේෂයි. බෝ නොවන රෝග පිළිබඳවත් නිරෝගීව සිටීමේ වැදගත් කමත් මේ අංශයෙන් රෝගීන්ට මෙන්ම රෝගීන් බැලීමට පැමිණෙන ජනතාවටත් කියා දෙනවා. ආසාධන පාලනය වගේම දියවැඩියාව පිළිබඳවත් විශේෂ අවධානයක් මේ අංශයෙන් සිදුවෙනවා.

රෝගීන් බැලීමට පැමිණෙන වේලාවන්වලදී රෝහලේ ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් විශේෂ සෞඛ්‍ය පණිවුඩ ජනතාවට දැනුම් දෙනවා. මේ නිසා සෞඛ්‍ය පිළිබඳ දැනුමක් නොමැති බොහෝ දෙනෙක් සෞඛ්‍ය දැනුම ලබාගෙන නිරෝගීව ජීවත්වීමට අවශ්‍ය කටයුතුª කරන බව අපට පෙනී ගොස් තිබෙනවා.
වසංගත රෝග හා වෙනත් රෝග පැතිරී යන කාලවලදී ජනතාව ඉන් මුදා ගැනීමට අවශ්‍ය උපදෙස් හා අනිකුත් කටයුතු රෝහලේ මූලිකත්වයෙන් කෙරෙනවා.

මානසික ගැටළු ඇති රෝගීන් සඳහා මානසික සෞඛ්‍ය ඒකකය වෙත යොමුවීමෙන් අවශ්‍ය ප්‍රතිකාර හා විශේෂඥ වෛද්‍ය උපදේශනත් ලබාගත හැකියි.
උසස් තත්ත්වයේ සේවාවක් ජනතාවට ලබාදීමේ අරමුණින් රෝහල් කාර්ය මණ්ඩලයට විවිධ පුහුණුවීම් ලබාදෙනවා. උපදෙස් ලබාගත හැකි සම්පත් දායකයින් යොදවා ගනිමින් උසස් තත්ත්වයේ සේවාවක් ජනතාවට ලබාදීමට හැකිවන ආකාරයෙන් සේවක කළමනාකරණය කර තිබෙනවා.
රසායනාගාර පහසුකම් සියල්ල රෝහල සතුයි. මේ මඟින් බාහිර රෝගීන්ගේ මෙන්ම නේවාසික රෝගීන්ටද අවශ්‍ය රසායනාගාර පහසුකම් ලබා දෙනවා.

උගුර කන නාස සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක් නොමැති වූවත් මාතලේ රෝහලින් පැමිණෙන විශේෂඥ වෛද්‍යවරයකු මාර්ගයෙන් සතියකට වතාවක් මේ රෝග සම්බන්ධ ප්‍රතිකාර කිරීම කෙරෙනවා.
දඹුල්ල සංචාරක මධ්‍යස්ථානයක් නිසා අපිට විශේෂ වගකීමක් තිබෙනවා. මේ නිසා වඩාත් යහපත් සේවාවක් ලබාදීමට රෝහල් කාර්ය මණ්ඩලය කැපවී සිටිනවා.
රෝහලට බාහිරින් කවුරුන් හෝ සෞඛ්‍ය පහසුකම් ඉල්ලූ විට ඒවා සැපයීමට අවශ්‍ය කටයුතු අපි කරනවා.
පිසියෝතෙරපි අංශය මගින් විශේෂ සේවාවක් ලබා දෙනවා. බොහෝ රෝගීන්ට අවශ්‍ය පිසියෝතෙරපි මේ වනවිට රෝහලෙන්ම ලබාදීමට හැකිවීම වටිනවා.
ජලභීතිකා රෝගයට අවශ්‍ය සියලුම ප්‍රතිකාරත් මේ රෝහලෙන් ලබාදෙනවා. ක්ෂය රෝගය හා මැලේරියාව හඳුනා ගැනීම සඳහා වෙනම රසායනාගාර ශිල්පියෙක් යොදවා අවශ්‍ය පරීක්ෂණ හා ප්‍රතිකාර කෙරෙනවා.
ස්වසන රෝග සම්බන්ධ වෙනම සායනයක් පැවැත්වෙනවා. මේ රෝහල අවට ප්‍රාදේශීය රෝහල්වල සුදුසුකම් ලත් වෛද්‍යවරු රැසක් ඉන්නවා. නමුත් බොහෝදෙනෙක් මේ රෝහලටම එන්න පුරුදුවීම නිසා රෝහලේ සමහර අවස්ථාවලදී විශාල තදබදයක් ඇති වෙනවා.
![]() |
දන්ත රෝග ඒකකය
|
මේ නිසා මම ඉල්ලීමක් කරනවා ප්‍රාදේශීය රෝහල්වලින් ප්‍රතිකාර ලබාගත හැකි රෝග සඳහා මේ රෝහලට පැමිණීම නොකරන ලෙස. මේ මගින් රෝහලේ ඇතිවෙන තදබදය අඩුකරගත හැකියි.
මේ ප්‍රදේශයේ කෘෂිකාර්මික හා මාර්ග අනතුරු වැඩියි. මේ නිසා අපි එවැනි අනතුරු අවස්ථාවන්ට මුහුණදිය හැකි ආකාරයට රෝහල් කටයුතු පවත්වාගෙන යනවා.
රෝගයකට ප්‍රතිකාර කරනවාට වඩා රෝගය වළක්වා ගන්න කටයුතු කිරීම ඉතාම වැදගත්. බෝ නොවන රෝග වැඩිවීමේ ප්‍රවණතාවක් තිබෙනවා. මේ නිසා අපේ නරක පුරුදු හා ක්‍රියාවන්ගෙන් ඉවත්වීම ඉතාම වැදගත්.
විශේෂයෙන් මාතෘ අංශය වෙතින් කාන්තාවන්ගේ සියලුම රෝග පිළිබඳව සොයා බැලීමෙන් ඊට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමත් කෙරෙනවා.
![]() | ![]() |
මවකට උපදෙස්
|
පරීක්ෂණාගාරය
|
![]() | ![]() |
බාහිර රෝගී ඖෂධාගාරය
|
හදිසි අනතුරු ඒකකය
|
![]() | ![]() |
බාහිර රෝගී පරීක්ෂාවක්
|
අක්ෂි පරීක්ෂාවක්
|
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.