Family Health Bureau - Colombo

Dinamina - Aarogya article - 4th May 2011

පවුලේ සෞඛ්‍ය රකින පවුල් සෞඛ්‍ය කාර්යාංශය


සාර්ථක පවුලකට සෞඛ්‍ය දැනුම අත්‍යවශ්‍යය. පවුල් ඒකකයක් නිරෝගී වත්දී මුළුමහත් සමාජයම නිරෝගී වන්නේය.
මේ ක්‍රියාවලියේ දී ජාතික මට්ටමේ සිට පවුල් ඒකකයක් දක්වාම සෞඛ්‍ය දැනුම ලබාදීම සඳහා සම්බන්ධීකරණය කරනු ලබන්නේ පවුල් සෞඛ්‍ය කාර්යාංශයයි. මාතෘ හා ළමා සෞඛ්‍ය පිළිබඳ ජාතික කේන්ද්‍රස්ථානය වන මේ කාර්යාංශයේ සේවාව පළාත්, දිස්ත්‍රික්, ප්‍රාදේශීය හා ග්‍රාමීය වශයෙන් විහිදී පවතී.
අංක 231, ද සේරම් පෙදෙස, කොළඹ 10 (ජාතික රෝහල අසළ) පිහිටි පවුල් සෞඛ්‍ය කාර්යාංශය පිළිබඳව එහි අධ්‍යක්ෂිකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ දීප්ති චන්ද්‍රිකා පෙරේරා මහත්මිය සහ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිත්‍රමාලී ද සිල්වා යන මහත්මීන් අදහස් දැක්වූයේ මෙසේයි.
මාතෘ හා ළමා සෞඛ්‍ය වැඩසටහන් සම්බන්ධීකරණය කරන්නේ මේ කාර්යාංශය හරහායි.
ාතෘ හා ළමා සෞඛ්‍ය සේවාව නගාසිටුවීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සැලසුම් කිරීමත් ඊට අවශ්‍ය කාර්ය මණ්ඩල පුහුණු කිරීමත් මේ කාර්යාංශයෙන් කෙරෙනවා.
පළාත් සෞඛ්‍ය සේවා අමාත්‍යාංශය යටතේ සිටින සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් මඟින් අපගේ සේවාව මූලිකව ලබාදෙනවා.
පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ සේවාවන් ගමට ගෙන යන්නේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් මඟිනුයි. මේ පිරිස ක්ෂේත්‍රයේ සුවිශාල වැඩ කොටසක් කරනවා. ගමේ සෑම පවුලක් සමඟම මේ නිලධාරිනියන් සබඳතා පවත්වනවා. මේ අයගේ කාර්යභාරයේ දී ගමේ සැමගේ සහාය අවශ්‍යයි.
නව යුවලක් විවාහ ගිවිස ගත්දා සිට තම පවුල සැලසුම් කළ යුතු වෙනවා. මේ සඳහා අවශ්‍ය සෞඛ්‍ය දැනුම ලබාදෙන්නේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියයි. නව යුවලක් විවාහ ගිවිසගත් විගස ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය නිලධාරිනියට දැනුම්දිය යුතුයි.
නව යුවලකට පවුල් ජීවිතය පිළිබඳව ඇතිවන ගැටලු බොහෝයි. මෙහිදී සෞඛ්‍යමය අංශයේ ගැටලු සඳහා විසඳුම් නොමැතිව අසරණ වන නව විවාහක පවුල් අපි දැක තිබෙනවා. ඊට හේතුව මූලිකව ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳ දැනුම්වත් නොවීමයි.
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්ය මණ්ඩලයෙන් මේ ගැටලුවලට පිළියම් සපයා ගැනීමේ දී සහාය ලබාගත හැකියි.
පවුල් සැලසුම් ක්‍රම හා ඊට අවශ්‍ය යටිතල පහසුකම් නොමිලේ ලබාදීම මේ කාර්යාංශය යටතේ සිටින පවුල් සෞඛ්‍ය නිලධාරීනියන් විසින් කරනවා.
අලුත විවාපත් කාන්තාවක් රුබෙල්ලා එන්නත ලබාගෙන නැතිනම් ගැබ් ගැනීමකට ප්‍රථම එම එන්නත ලබාගත යුතුයි. ඒ වගේම ගැබ් ගැනීමකට ප්‍රථම කාන්තාවගේ පෝෂණීය තත්ත්වයේ අඩුවක් ඇත්නම් එය නගාසිටුවීම වැදගත්.
වෙනත් රෝගී තත්ත්වයන් ගෙන් කාන්තාව පෙලෙන්නේනම් ගැබ් ගැනීමකට ප්‍රථම ඇය වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකළ යුතුයි.
ගැබ් ගැනීමක් සිදුවූ වහාම පළමුව ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය නිලධාරිනියට දැන්වීම මඟින් තම ලියා පදිංචිය තහවුරු කර ගත හැකියි. දරු ගැබට සති 8ක් ගතවන්නට පෙර මේ ලියාපදිංචිය කර ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සායනයට යොමුකිරීම එම නිලධාරිනිය විසින් කරනවා.
සායන පැවැත්වීම කෙරෙන්නේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල මඟින්. මේ සායනවලදී මවට අවශ්‍ය සියලුම වෛද්‍ය පරීක්ෂණ නොමිලේ ලබාදෙනවා. අනතුරුදායක මවුවරුන් හඳුනාගෙන ඒ අයව විශේෂඥ වෛද්‍යවරුන් වෙත යොමු කිරීමත් කරනවා.
ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් එක් ගැබිණි මවක් පරීක්ෂා කිරීම සඳහා මාසයකට වතාවක් වත් එම නිවසට පැමිණිය යුතුයි.
දරුවා ලැබීමෙන් පසු පසුප්‍රසව සංරක්ෂණය ද ඉතා වැදගත්. මේ සඳහා ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය නිලධාරිනියව දැනුම්වත් කිරීම කළ යුතුයි. දරුවා නිවසට ගෙන ආ පසු මුල් දින 10 තුළදී අඩුම වශයෙන් දින දෙකක් වත් මේ නිලධාරිනිය නිවසට යා යුතුයි. එහිදී මව හා දරුවා රැකගත යුතු ආකාරය පිළිබඳව නිවැසියන් හා මව දැනුම්වත් කිරීම කෙරෙනවා. විශේෂයෙන් මවුකිරි කළමනාකරණය පිළිබඳව මෙහිදී කියාදෙනවා. දරුවාට මාස 06 දක්වා මවුකිරි පමණක් ලබාදීම ඉතාම වැදගත්. ඉන් අනතුරුව දරුවාට අමතර ආහාර ලබාදෙන ආකාරය පිළිබඳවත් මේ නිලධාරිනිය දරුවාගේ මව සහ ඥාතීන් දැනුම්වත් කරනවා.
ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ දරුවන්ට එන්නත් ලබාදීම කරනවා. උපතේ දී B. C. G. එන්නතත් මාස 2, 4, 6 දී පෙන්ටවගන් එන්නතත් (මේ එන්නතින් දරුවා රෝග 5කින් ආරක්ෂා කරනවා) මුඛ පෝලියෝ ලබාදීමත් කළ යුතුයි. මාස 9දී සරම්ප එන්නතත්, අවුරුදු 1 1/2දී ත්‍රිපල් එන්නතත්, අවුරුදු 3දී M. R. එන්නතත් ලබාදෙනවා. මේ එන්නත් සියල්ල නොමිලේ ලබාදෙනවා.
පාසලේ හා යොවුන් සෞඛ්‍ය වැඩසටහන් යටතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හරහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 315ක් තිබෙනවා.
පාසල් ළමුන් වෛද්‍ය පරීක්ෂණවලට ලක්කෙරෙන වැඩසටහන් සෑම පාසලකම වසරකට වරක් කෙරෙනවා. මේ වැඩසටහන් වලදී හඳුනාගන්නා රෝගී ළමුන් අවශ්‍ය විශේෂඥ වෛද්‍ය සායන සඳහා යොමු කරනවා.
පාසල් වයසේ ළමුන් සඳහා එන්නත් දෙකක් ලබාදෙනවා. වයස අවුරුදු 14දී (7 වසර) A. T. D. එන්නතත්, 8 වසරේ දී රුබෙල්ලා එන්නතත් ලබාදෙනවා.
පවුල් සැලසුම් සේවාව මේ ආයතනයෙන් කෙරෙන තවත් සුවිශේෂී වැඩසටහනක්. අපේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ අනවශ්‍ය දරු උපත් වළක්වා ගැනීම හා දරුවන් අතර පරතරයක් ඇති කිරීම මගින් පවුලේ ගුණාත්මකභාවය ආරක්ෂා කිරීමයි.
පවුල් සංවිධාන සේවාව යටතේ උපත් පාලන ක්‍රම අවශ්‍ය කාන්තාවන් හා පුරුෂයන් සඳහා ගැලපෙන නිවැරදි උපත් පාලන ක්‍රමයක් තෝරාදීම අපේ වගකීමක් වෙනවා.
මේ යටතේ ක්ෂේත්‍රයේදී නම් ගිලින පෙති, උපත් පාලන කොපු භාවිතය පිළිබඳව ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය නිලධාරිනිය විසින් උපදෙස් ලබා දෙනවා. ඊට අමතරව උපත් පාලන පෙති සහ උපත් පාලන කොපු නොමිලේ ලබාදීමත් මේ වැඩසටහන යටතේ කෙරෙනවා.
පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ පිහිටුවා ඇති ශල්‍යාගාරයේ LRT සැත්කම (වාසෙක්තමී), ඉම්ප්ලාන්ට් (කරල්) තැන්පතුව, ඩිපෝ ඉන්ජෙක්ෂන් ලූපය තැන්පතුව කෙරෙනවා. මේ ආයතනයේ ප්‍රජනක සෞඛ්‍ය මධ්‍යස්ථානය මඟින් ඊට අවශ්‍ය උපදෙස් ලබා ගැනීමේ හැකියාවත් පවතිනවා.
කාන්තා සෞඛ්‍ය යටතේ සුවනාරී සායන පවත්වනවා. කාන්තා හිංසනය පිටුදැකීම සඳහා කාන්තාවන් හා පුරුෂයින් දැනුම්වත් කරනවා.
දකුණු ආසියාවේ ප්‍රධානම තැනක ශ්‍රී ලංකාවේ මාතෘ හා ළමා සෞඛ්‍ය සේවාව පවතිනවා. මේ සේවාවේ උපරිම ප්‍රතිඵල ලබාගැනීම මහජනතාවගේ වගකීමක්.
පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ පිහිටුවා තිබෙන ප්‍රජනක සෞඛ්‍ය මධ්‍යස්ථානයෙන් විශේෂ වැඩකොටසක් සිදුවෙනවා.
පවුල් සැලසුම් ක්‍රම, මදසරුභාවය, ගැබ්ගෙල පිළිකා වැළැක්වීමේ ක්‍රියාමාර්ග, උපත් පාලන ක්‍රම ආරම්භ කිරීම, අතුරු ආබාධ හා සංකූලතා කළමනාකරණය, අසාමාන්‍ය ගැබ්ගෙල පටල සඳහා ප්‍රතිකාර පසුවිපරම වැනි අංශ පිළිබඳව වැඩිදුර තොරතුරු දුරකථන අංක 0112690483 හෝ 0113060541 ඇමතීමෙන් ලබාගත හැක.


No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.