Base Hospital - Mawanella

Dinamina - Aarogya article - 09th March 2011

නිදහස් සෞඛ්‍ය සේවාවේ උපරිම ඵල ජනතාවට ලබා දෙන මාවනැල්ල මූලික රෝහල



නිරෝගී සුවය බලාපොරොත්තුවෙන් ඕනෑම අයෙක් රෝහලක පිහිට පතා යයි. රෝගී වූ විට දැනෙන කායික මෙන්ම මානසික පීඩාව ද සමනය කර ගත හැකි පරිසරයක් රෝහලක තිබිය යුතුය. එවැනි පරිසරයක් සකසා ගැනීම සඳහා රෝහල් කාර්ය මණ්ඩලය විශාල කැපකිරීමක් කළ යුතුය.
නිදහස් සෞඛ්‍ය සේවාවේ උපරිම ඵල ජනතාව වෙත ලබාදීම සඳහා කැප වී සිටින මාවනැල්ල මූලික රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ජී. එම්. එන්. ගජනායක මහතා රෝහල් සේවාව පිළිබඳව අදහස් පළකළේ මෙසේයි.
මේ රෝහලේ සායන දහයක් ක්‍රියාත්මකයි. කායික, ශල්‍ය, උගුර, කන, නාස, ළමා රෝග, දියවැඩියා, මානසික, පූර්ව ප්‍රසව, නාරිවේද හා පවුල් සැලසුම් මේ අතර ප්‍රධානයි. ශල්‍යාගාරයක්, වාට්ටු 08 ක්, ලේ බැංකුව, එක්ස්රේ අංශය, ව්‍යායාම් අංශය, රසායනාගාරය හා දන්ත අංශය මගින් රෝහලේ කෙරෙන්නේ විශාල සේවයක්.
බාහිර රෝගී අංශයට දවසකට රෝගීන් 650 ක් පමණ පැමිණෙනවා. සායන සඳහා රෝගීන් 800 ක් පමණත්, නේවාසික වීම සඳහා රෝගීන් 100 ක් පමණ පැමිණෙනවා.
මාසයකට දරු උපත් 250 ක් පමණ මේ රෝහලේ සිදුවෙනවා. මාසිකව සීසර් සැත්කම් 60 ක් පමණ කෙරෙනවා.
බාහිර රෝගී අංශය සඳහා වෛද්‍යවරු 15 දෙනෙක් සිටිනවා. වාට්ටුවල සහ සායනවල රෝගී සේවා සඳහා වෛද්‍යවරු 60 කගේ සේවය ලබා දෙනවා.
එසේම විශේෂඥ වෛද්‍යවරුන් 06 දෙනෙකුගේ සේවය ලැබෙනවා. බාහිර රෝගී අංශය පිහිටා තිබෙන්නේ රෝහලේ දෙකේ වාට්ටුව ආසන්නයේයි. විවිධ අසනීප සඳහා පැමිණෙන රෝගීන් සියලු දෙනා බාහිර රෝගී අංශයේදී ලියාපදිංචි විය යුතුයි. ලියාපදිංචි වූ රෝගීන්ට අංක ලබාදීම කරනවා. අංක ලබාගැනීමෙන් පසු රෝගීන් අංක පිළිවෙළට බාහිර රෝගී අංශයේ වෛද්‍යවරුන් වෙත යොමු කිරීම කරනවා.
දැනට හදිසි ප්‍රතිකාර ඒකකයක් මේ රෝහලේ නොමැති වුවත් ඉතා ඉක්මනින් එම අවශ්‍යතාවය සපුරා ගැනීමට කටයුතු යොදා තිබෙනවා. දැඩි සත්කාර ඒකකයක් සඳහාත් වෙනමම කොටසක් වෙන්කර තිබෙනවා. එම ඒකකයත් ඉතා ඉක්මනින් ස්ථාපිත කිරීමට හැකි වෙනවා. මේ කටයුතු සම්පූර්ණ වූ පසු මේ ප්‍රදේශයේ ජනතාවට වඩා හොඳ සේවාවක් ලබා දීමට හැකි වෙනවා.
පැය 24 පුරාම සේවා සැපයීමට අපි බැඳී සිටිනවා. සියලුම මූලික රෝග සඳහා ප්‍රතිකාර රෝහලෙන් සැපයෙනවා. යොවුන් මිතුරු ඒකකය සඳහා බොහෝ අය පැමිණෙනවා.
මේ ඒකකයට ස්වේච්ඡාවෙන් පැමිණිය හැකියි. ඒ පැමිණෙන හැම දෙනාගේම තොරතුරුවල රහස්‍යභාවය රකිනවා. බාහිර රෝගී අංශයට පැමිණෙන රෝගීන් ද උපදේශන සඳහා මේ ඒකකයට යොමු කරන අවස්ථා තිබෙනවා.
රෝගී පරීක්‍ෂාවේදී මානසික හෝ යොවුන් වියේ ගැටලු ඇතැයි සැකකරන රෝගීන්ව මේ ඒකකයට යොමුකිරීමෙන් පසු අවශ්‍ය උපදේශන සේවා ලබා දෙනවා. මානසික සෞඛ්‍ය සායනය සඳහාත් රෝගීන් විශාල ප්‍රමාණයක් පැමිණෙනවා.
විශේෂයෙන් තරුණ පිරිසගේ ගැටලු සඳහා මේ අංශ දෙකෙන් ප්‍රතිකාර සපයනවා. සමාජයේ වරදින් හෝ නොදැනුවත්කමින් අසරණව සිටින තරුණ පිරිසටත් තමන්ගේ ගැටලුවකට පිළියම් සොයා ගත නොහැකිව දුක් විඳින තරුණ පිරිසටත් අපි විවෘත ආරාධනයක් කරනවා මේ ඒකකයට පැමිණ ඔබේ ගැටලුවට පිළියම් සොයා ගන්නා හැටියට.
පාසල්වලින්, යොවුන් සංවිධානවලින් පවා මේ ඒකකයට විවිධ අය යොමුකර තිබෙනවා. මේ රෝහලේ සෞඛ්‍ය ප්‍රවර්ධන අංශයෙන් විශාල වැඩ කොටසක් කෙරෙනවා. සෞඛ්‍ය අධ්‍යාපනය මූලික කරගෙන කරන සියලු වැඩසටහන් කෙරෙන්නේ මේ ඒකකයෙන්.
විශේෂයෙන් බෝවන හා බෝ නොවන රෝග පිළිබඳවත් රෝගවලින් වැළකෙන්නේ කෙසේද යන්නත් ජනතාව දැනුම්වත් කිරීම කෙරෙනවා. බාහිර රෝගී අංශයෙන්, වාට්ටුවලින් හා සායනවලින් යොමු කෙරෙන රෝගීන් සඳහා අවශ්‍ය දැනුම ලබාදීම මේ ඒකකයෙන් කෙරෙනවා. රෝගීන්ගේ පෝෂණ ගැටලු, දියවැඩියා රෝගීන්ගේ ආහාර රටාව ගැනත් මේ ඒකකයේදී අවශ්‍ය උපදෙස් ලබා දෙනවා. මේ ඒකකය සඳහා පුහුණු හෙද නිලධාරීන් දෙදෙනෙකු යොදවා තිබෙනවා.
විශේෂයෙන් හඳුනාගත් රෝගීන්ගේ හෘද රෝග, අධික රුධිර පීඩනය, දියවැඩියාව, තරබාරුකම වැනි රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන රෝගීන් ළඟට ගොස් ඔවුනට අවශ්‍ය දැනුම්වත් කිරීම් කෙරෙන්නේත් මේ ඒකකය හරහායි.
මේ රෝහලට පැමිණෙන සියලුම දෙනා සෞඛ්‍ය සම්බන්ධව දැනුම්වත් කිරීමට අප පියවර ගෙන තිබෙනවා.
රෝහල් කාර්ය මණ්ඩලය සඳහා විවිධ පුහුණුවීම් ලබා දෙන්නේත් මේ ඒකකය මගිනුයි.
රෝහල් කාර්ය මණ්ඩලයේ සේවය සඳහා කැපවීම ඉතා ඉහළ මට්ටමක තිබෙනවා. රෝගීන්ට ප්‍රතිකාර ලබාදිය යුතු ආකාරයත්, රෝහල් සේවකයෙකුගේ වගකීම පිළිබඳවත් ඔවුන් දැනුම්වත් කර තිබෙනවා.
රෝගී සත්කාරයේදී සේවකයන් හැසිරිය යුතු ආකාරයත්, එම සේවය ලබා දීමේදී පිළිපැදිය යුතු කරුණු ගැනත් රෝහල් සේවකයන් දැනුම්වත් කිරීම නිසා කාර්ය මණ්ඩලයේ ආකල්පමය වෙනසක් ඇතිවීම නිසා ඔවුන්ගෙන් ගුණාත්මක සේවයක් ලැබෙනවා.
මවුකිරි කළමනාකරණ ඒකකය සඳහාත් හොඳින් පුහුණු වූ හෙද කාර්ය මණ්ඩලයක් යොදවා තිබෙනවා.
ප්‍රසව වාට්ටුවල සේවය සඳහා මේ අය යොදවා තිබෙනවා. දරු ප්‍රසූතියෙන් පසු ළමුන්ව ළමා රෝග වාට්ටුවේ වෛද්‍යවරයෙකුගේ පරීක්‍ෂා කිරීම්වලට ලක්කෙරනවා.
රෝහලෙන් බැහැරව යාමට පෙර ළමුන්ගේ රෝගී තත්ත්ව ගැනත් මවුකිරි ලබා දීමේදී ඇතිවිය හැකි ගැටලු ගැනත් මවුවරුන් දැනුම්වත් කිරීම කෙරෙනවා. මේ රෝහලේ රෝහල් කමිටුව මගින් විශාල වැඩ කොටසක් කෙරෙනවා. ප්‍රදේශයේ සිටින දානපතියන් බොහෝ සෙයින් රෝහල් කටයුතුවලට උදව් කරනවා.
මේ ප්‍රදේශයේ විවිධ ආයතන ද්‍රව්‍යමය ආධාර පවා ලබා දෙනවා.
බාහිර වෛද්‍ය සායනවලට මේ රෝහලේ කාර්ය මණ්ඩලය සහභාගි වෙනවා. ජංගම ලේ කඳවුරු සඳහාත් මේ රෝහලේ කාර්ය මණ්ඩලය සහභාගි වෙනවා. විවිධ සංවිධානවලටත් ආයතනවලටත් රෝහලේ සේවාව ලබා දෙනවා.

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.