Base Hospital - Balangoda

Dinamina - Aarogya article  - 10th November 2010


විශ්වාසී මෙන්ම ආරක්ෂාකාරී සේවයකට කැපවුණු බළංගොඩ මූලික රෝහල


වඩාත් විශ්වාසී වූ ද, ගුණාත්මක වූ ද ආරක්ෂාකාරී වූද සෞඛ්‍ය සේවාවක් සැපයීම සඳහා රජයේ රෝහල් ගන්නා වෙහෙස පැසසිය යුතුයි.
ගිලනුන්ට උවටැන් කිරීමේ වාසනාව සැමට හිමි වන්නේ ද නැත. එම වාසනාව හිමි වූවන් ගිලන් උවටැන නිවැරැදිව හා පි‍්‍රය මනාපව ඉටු කරනු දැකීමද වාසනාවකි.
ගිලන් උවටැන නිවැරැදිව කරමින් ප්‍රදේශයේ ජනතාවට මහත් සේවාවක් සපයන බලංගොඩ මූලික රෝහල පිළිබඳව අදහස් දැක්වූ එහි අධ්‍යක්ෂ වෛද්‍ය බී.එම්.සී. දසනායක මහතා
රෝහලක සිදු කෙරෙන මූලික ප්‍රතිකාර සියල්ල මේ රෝහලේ සිදු කෙරෙනවා. කායික වෛද්‍ය අංශය , ශල්‍ය වෛද්‍ය ප්‍රසව හා නාරි, ළමා රෝග, ව්‍යාධිවේද අංශ මේ රෝහලේ ක්‍රියාත්මකයි.
බාහිර රෝගී අංශය හොඳ දියුණු තත්ත්වයක පවතිනවා. මේ අංශයට පැමිණෙන රෝගීන් පළමුව ලියාපදිංචි විය යුතුයි. බාහිර රෝගී අංශයේම හදිසි ප්‍රතිකාර ඒකකය පිහිටුවා තිබෙනවා. හදිසි ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් බාහිර ප්‍රතිකාර අංශයෙන් පසු හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කෙරෙනවා. එහිදී විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය නම් ඒ සඳහාත් අවස්ථාව තිබෙනවා.
සායන සඳහා රෝගීන් යොමු කිරීම ආකාර දෙකකින් කෙරෙනවා. නේවාසිකව ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ගේ රෝගී තත්ත්වය අනුව විශේෂඥ ප්‍රතිකාර ලබාදිය යුතු අවස්ථාවලදී ඔවුන්ව පසු විපපරම් සඳහා සායනවලට යොමු කළ යුතුයි. එහිදී රෝගී තත්ත්වය අනුව ඊට අදාළ විශේෂඥ වෛද්‍යවරයාගේ සායනයට මේ රෝගීන් යොමු කෙරෙනවා.
බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව යන, එහෙත් දීර්ග කාලීනව ප්‍රතිකාර ලබාගතයුතු රෝගී තත්ත්ව ඇති රෝගීන් විශේෂඥ ප්‍රතිකාර සඳහා සායනවලට යොමු කෙරෙනවා.
රෝගීන් දැනුවත් කිරීම සඳහා රෝහලේ අධ්‍යාපන ඒකකය මඟින් විශාල වැඩ කොටසක් කෙරෙනවා. රෝහල් ශබ්දවාහිනී යන්ත්‍ර උපයෝගී කර ගනිමින් සෞඛ්‍ය ගැටලු ගැන රෝගීන් දැනුම්වත් කරනවා. සෑම දිනකම උදෑසන සිට සවස 3.00 දක්වා මේ දැනුම්වත් කිරීමේ වැඩසටහන් කිරීම නිසා රෝහලට පැමිණෙන පිරිස රෝග ගැනත් ඒවායින් මිදෙන්නට කළ යුතු සෞඛ්‍ය පුරුදු ගැනත් හොඳ දැනුමක් ලබනවා.
සායන පැවැත්වෙන දිනවලදී සායන රෝගීන්ට විවිධ දේශන සහ උපදේශන සේවා ලබා දීමෙන් සෞඛ්‍ය අධ්‍යාපන ඒකකය සිදු කරන සේවය වැදගත්.
මානසික ගැටලු ඇති රෝගීන් සඳහා විශේෂ ප්‍රතිකාර කෙරෙනවා. මානසික රෝගීන් විවිධ පීඩාවන්ටත් කොන් කිරීම්වලටත් ලක් වෙලා. ඒ නිසා අපි මේ වැඩ සටහන ‘පියවි’ උපදේශන සේවය ලෙස නම් කළා. මේ මඟින් රෝගීන්ට විශාල සේවයක් සැපයෙනවා.
සාමාන්‍ය පවුල් ආරවුල් පවා අපි මේ ඒකකය හරහා විසඳා දෙනවා. ගහ බැණ ගැනීම් වැනි සිද්ධිවලට සම්බන්ධ අයත් සියදිවි හානිකර ගැනීමට තැත් කළ බොහෝ දෙනෙක්වත් අපි මේ ඒකකය හරහා පුනරුත්ථාපනය කළා. මත්පැන්, දුම්පානය, ළමා අපචාර සම්බන්ධ ගැටලු ඇති බොහෝ දෙනෙක් මේ ඒකකයෙන් උපදේශන ලබා ගත්තා
මානසික රෝග සම්බන්ධ විශේෂඥ උපදේශන දැනුමක් ඇති අය ලවා මේ ඒකකයේ ලියාපදිංචි වන රෝගීන්ට උපදේශන සැපැයෙනවා.
බෝ නොවන රෝග පාලනය සඳහා මේ රෝහලේ විශේෂ ඒකකයක් ආරම්භ කළා. මිනිසුන්ට සෞඛ්‍ය දැනුම ලබාදීම හරහා ඔවුන්ගේ සෞඛ්‍ය හොඳ තත්ත්වයකට පත් කිරීම මේ ඒකකයේ අරමුණයි.
මෙහිදී ඕනෑම අයෙක්ගේ රෝගී තත්ත්ව පරීක්ෂාව ලක් කර ගත හැකියි. සීනි, රුධිර පීඩනය, උස ,බර, වෙනත් පරීක්ෂණ ආදිය මේ ඒකකයේදී කෙරෙනවා. වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ තමන්ට සැක ඇති රෝගී තත්ත්ව පරීක්ෂාවට ලක් කෙරෙනවා.
හොඳ සෞඛ්‍ය සේවාවක් ලබාදීමේ අරමුණින් කාර්ය මණ්ඩලයට පුහුණුවීම් ලබාදෙනවා. සේවකයන්ගේ මනස හොඳ තත්ත්වයේ පවත්වා ගැනීම ඉතා වැදගත්. මානව සබඳතා පවත්වා ගන්නා ආකාරය පිළිබඳ මනා දැනුමක් සේවක මණ්ඩලයට දිගින් දිගටම ලබා දෙනවා. සේවකයන් කණ්ඩායම්වලට බෙදා ඒ අයට වෙන වෙනම වැඩසටහන් පවත්වනවා. මේ සඳහා බාහිර සම්පත් දායකයින් යොදවා ගැනීමට බලාපොරොත්තු වෙනවා.
දැඩි සත්කාර ඒකකයක් නොමැතිකම අපට බෙහෙවින් බලපානවා.
රෝගීන් බැලීමට එන අයට නැවතීමට ස්ථානයක් නොමැතිකම විශාල අඩුවක්. මේ අඩුපාඩු දෙකම අපි සපුරාගත යුතුයි. රෝහල් සංවර්ධන කමිටුව අපට විශාල සේවාවක් සපයනවා.
 ප්‍රදේශයේ පරිත්‍යාගශීලීන් දිනපතා නොයෙක් පරිත්‍යාග ලබා දෙනවා. ඒ ලබාදෙන සහායට ප්‍රති උපකාර ලෙස එම ආයතනවල සේවකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අපෙන් ඉල්ලීම් කළ විට අප සොයා බලනවා. එමෙන්ම ඔවුන් කරන බාහිර ක්‍රියාකාරකම් සඳහා අපේ සහභාගීත්වය සහ අවශ්‍ය සහාය ලබාදෙනවා.
රෝහලේ නේවාසික රෝගීන්ගේත් කාර්ය මණ්ඩලයේත් මානසික සුවය සඳහා සෑම පෝදාකම රෝහල් පරිශ්‍රයේ ධර්ම දේශනයක් පවත්වා සෙත් පතනවා.
විශේෂයෙන්ම රෝගීන්ගේ පහසුව සඳහා ඕනෑම වේලාවක උණු වතුර ලබාගත හැකි ජලනල පද්ධතියක් මේ රෝහල සතුයි. මෙය රෝගීන්ට මෙන්ම රෝගීන් බැලීමට පැමිණෙන අයටත් රෝහල් කාර්ය මණ්ඩලයටත් පහසුවක් සපයනවා.
විශේෂ ස්තූතිය - සබරගමුව පළාත් සභාවේ සහකාර ප්‍රවෘත්ති අධ්‍යක්ෂ සුනිල් ලීලානන්ද පෙරේරා මහතාට

සායන පවත්වන දින හා වේලාවන්

කායික රෝග සායනයසඳුදා පෙ.ව. 8 සිට 12
අඟහරුවාදා පෙ.ව. 8 සිට 12
බදාදා පෙ.ව. 8 සිට 12

ළමා ඇඳුම රෝග සායනය
සඳුදා ප.ව. 2 සිට

ළමා රෝග සායනය
බ්‍රහස්පතින්දා පෙ.ව. 8 සිට

ශල්‍ය සායනය
අඟහරුවාදා පෙ.ව. 8 සිට 12

ප්‍රතිශක්තිකරණ සායනය
බදාදා පෙ.ව. 8 සිට 12

ළදරු සායනය
සිකුරාදා පෙ.ව. 8 සිට 12

මානසික සෞඛ්‍ය හා උපදේශන සායනය
බ්‍රහස්පතින්දා පෙ.ව. 8 සිට 12
සිකුරාදා පෙ.ව. 8 සිට 12

අක්ෂි රෝග සායනය
අඟහරුවාදා පෙ.ව. 8 සිට 12

දෘෂ්ටි පර්යේෂණාගාරය
දිනපතා පෙ.ව. 8 සිට ප.ව. 4

ශ්වසන රෝග මර්ධන සායනය
සෙනසුරාදා පෙ.ව. 8.00

වෛද්‍ය ලේඛන සම්බන්ධ විස්තර ලබා ගැනීම
සතියේ දින පෙ.ව. 8 සිට ප.ව. 4
දන්ත සායනයසඳුදා පෙ.ව. 8 සිට ප.ව. 4
අඟහරුවාදා පෙ.ව.8 සිට ප.ව. 4
බදාදා පෙ.ව. 8 සිට ප.ව. 4
බ්‍රහස්පතින්දා පෙ.ව. 8 සිට ප.ව. 4
සිකුරාදා පෙ.ව. 8 සිට ප.ව. 4
සෙනසුරාදා පෙ.ව. 8 සිට 12
කුඩා දරුවන් හා පාසල් ළමයින් සඳහා )

එක්ස්රේ පරීක්ෂණ
දිනපතා පෙ.ව. 8 සිට ප.ව. 4

ඊ.සී.ජී.පරීක්ෂණ
දිනපතා පෙ.ව. 8 සිට ප.ව. 4

ලේ බැංකුව
දිනපතා - පෙ.ව. 8 සිට ප.ව. 4

රසායනාගාර පරීක්ෂණ
දිනපතා පෙ.ව. 8 සිට ප.ව. 4

රසායනාගාර පරීක්ෂණ
දිනපතා - පෙ.ව. 8 සිට ප.ව. 4

ව්‍යාධි වේද අංශය
සඳුදා පෙ.ව. 8 සිට ප.ව. 4
අඟහරුවාදා පෙ.ව. 8 සිට ප.ව. 4
බදාදා පෙ.ව. 8 සිට ප.ව. 4
බ්‍රහස්පතින්දා පෙ.ව.8 සිට ප.ව. 4
සිකුරාදා පෙ.ව. 8 සිට ප.ව. 4


No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.