Base Hospital - Karawanella

Dinamina - Aarogya article - 27th October 2017

කරවනැල්ල මූලික රෝහල


නිවැරැදිසෞඛ්‍ය පුරුදුවලින් මිනිසා ඈත්වීම නිසා, රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගැනීමට එන රෝගීන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතී. වර්තමානයේ සෞඛ්‍ය අධ්‍යාපනයට සෑම රෝහලක්ම මූලිකත්වය දී ඇත්තේ මේ හේතුව නිසාවෙනි.
සෞඛ්‍ය අධ්‍යාපනය මගින් රෝගීන්ට විශාල මෙහෙවරක් සපයන, සබරගමුව පළාත් සභාවට අයත් කරවනැල්ල මූලික රෝහල පිළිබඳ එහි අධ්‍යක්ෂිකා, වෛද්‍ය වසන්තා ලියනගේ මහත්මිය මෙසේ අදහස් දැක් වීය.
“මේ රෝහලේ දැක්ම වන්නේ සුහදශීලී පරිසරයක විශිෂ්ටතම ප්‍රතිකාර සපයන, මෙරට ජනප්‍රියම රෝහලට බවට මේ රෝහල පත් කිරීම යි.
රෝහලේ වැදගත්ම පුද්ගලයා රෝගියා ය. යන්න අපි විශ්වාස කරනවා. ඒ අය රෝහලට එන්නේ ඉතා අසරණවයි. ඔවුන්ට පිහිට වීම අපේ වගකීමක්.
මේ රෝහල ඉතාම පැරැණි රෝහලක්, ඉංග්‍රීසි සමයේ බිහිවුණු රෝහලක් නිසා වැඩි දෙනෙක් ප්‍රතිකාර ලබා ගැනීමට මේ රෝහල කරා පැමිණෙනවා.
සබරගමුව කෙළවරේ පිහිටීම නිසා නාවල පිටිය - ගිනිගත්හේන දක්වාත්, අවිස්සාවේල්ල - තල්දූව දක්වාත් කෑගල්ල ගලිගමුව වතුපිටිවල දක්වාත් ජනගහනයක් මේ රෝහල සමඟ සම්බන්ධයි. වාට්ටු 08කින් සමන්විත මේ රෝහලේ නේවාසික රෝගීන් 300ක් පමණ සෑම දිනකම ප්‍රතිකාර ලබා ගන්නවා.
මේ රෝහලට රෝගියෙක් ඇතුල් වූ විගස අපේ පිළිගැනීමේ කවුන්ටරයෙන් තොරතුරු දැන ගත හැකියි. රෝහලට හදිසි ප්‍රතිකාර අවශ්‍ය රෝගියෙක් ඇතුල් වන්නේ නම් රෝද පුටු හෝ ට්‍රොලි අපේ කාර්ය මණ්ඩලය ලබා දෙනවා. කඩිනමින් රෝගියා වෛද්‍යවරයෙක් වෙත යොමු කිරීම අපේ වගකීමක්. විශේෂඥ ප්‍රතිකාර අවශ්‍ය නම්, අපි විශේෂඥ වෛද්‍යවරුන් වෙත රෝගියා එම මොහොතේම යොමු කරනවා. තවදුරටත් රෝගියාට කඩිනම් ප්‍රතිකාර අවශ්‍ය යැයි වෛද්‍යවරු නිගමනය කළොත් ජාතික රෝහලට යොමු කිරීම අපි කරනවා.
මේ රෝහලේ සායන සඳහා වැඩි පිරිසක් සහභාගි වෙනවා. සෑම රෝගියෙක්ම පළමුව බාහිර රෝගී අංශයට පැමිණිය යුතුයි. ඉන් පසු එහි ඇති අයැදුම් පත්‍රය පුරවා, විශේෂඥ වෛද්‍යවරයා වෙත යොමු කරනවා. විශේෂඥ වෛද්‍යවරයා රෝගියා පරීක්ෂා කිරීමෙන් අනතුරුව දිගින් දිගටම සායන සඳහා සහභාගී විය යුතු ද ? නැද්ද ? යන්න තීරණය කරනවා. දිගින් දිගටම සායන වෙත රෝගියා යොමු වන්නේ නම්, කාඩ් පතක් සහ කුඩා පොතක් රෝගියාට ලබා දෙනවා.
මේ රෝහලේ අධ්‍යාපන ඒකකය පාසල් පද්ධතිය සමගත්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සමඟත් සම්බන්ධ වී වැඩ කරමින් සිටින්නෙ.
උදෑසන සිට රෝහලේ ශබ්ද විකාශන යන්ත්‍රය මඟින් රෝග වළක්වා ගන්නා අන්දම, බෝවන රෝග පාලනය කර ගන්නා අන්දමත් ගැන පැහැදිලි කිරීම් කෙරෙනවා.
රෝහල් කාර්යය මණ්ඩලය සඳහාත්, රෝගීන් සඳහාත් විදේශීය වෛද්‍යවරුන් සම්බන්ධ කරගෙන විශේෂ වෛද්‍ය ප්‍රතිකාර වැඩසහටන් කළා. අධ්‍යාපන ඒකකයේ නිලධාරීන් වාට්ටුවලට ගොස් රෝගීන් දැනුවත් කිරීම් කරනවා. මවුකිරි කළමනාකරණයට සහාය වීම අපේ වැදගත් කාර්යයක්. මේ සඳහා වෙනම ඒකකයක් අපට නැහැ. ඒත් අපි මවුවරුන්ට අපේ උපරිම ශක්තියෙන් සහාය වෙනවා.
මානසික රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර ලබා දීමත් අපේ වැදගත් වැඩ සටහනක්. ඔවුන් ඉතා අසරණ අයයි. අපි ඒ අයට රෝහල තුළත්, ඉන් පිටතදීත් ප්‍රතිකාර කළ යුතුයි.
මේ රෝහලේ ක්ෂය රෝග ඒකකය මඟින් ක්ෂය රෝග හඳුනා ගැනීම් වැඩි ප්‍රමාණයක් කර තිබෙනවා. කෑගල්ල දිස්ත්‍රික්කයේ ක්ෂය රෝගීන්ගෙන් හරි අඩක්ම සොයා ගත්තේ මේ රෝහලේ පරීක්ෂණ මඟින්. ක්ෂයය රෝග පරීක්ෂණ සඳහා පැමිණෙන සෑම රෝගියෙක්ගේම රහසිගත භාවය ආරක්ෂා කර ගන්න අපට පුළුවන් වුණා.
ක්ෂය රෝග සඳහා සෙම පටල පරීක්ෂාව මේ රෝහලෙන් කෙරෙනවා. නොමේරු ළදරු ඒකකයට අවශ්‍ය සියලුම භාණ්ඩ රෝහල සතුයි. මේ ඒකකයේ කාර්ය මණ්ඩල හිඟතාවක් තිබෙනවා. එය සම්පූර්ණ කරන්නට අප ඉල්ලීම් කළා. බාහිර ප්‍රතිකාර අංශයක්, සායන සංකීර්ණයක්, දේශන ශාලාවක්, ඖෂධ ගබඩාවක් අපිට අවශ්‍යයි. මේ සඳහා අපි දැනටමත් ඉල්ලීම් කර තිබෙනවා.
මේ රෝහලේ විශේෂ පරීක්ෂණ යන්ත්‍රය මඟින් ඩෙංගු වැඩි කාලයේ පරීක්ෂණ පමණක් 96,000ක් කරන්න හැකි වුණා.රෝහලේ පැරැණි ගොඩනැඟිලි නවීකරණයට බාහිර ආයතන විශාල දායකත්වයක් දෙනවා. 2006 වර්ෂයේ දී අපි රෝහලේ සංවර්ධනය සඳහා පා ගමනක් සංවිධානය කළා. ඉන් උපයාගත් මුදල රුපියල් ලක්ෂ 13ක්. මේ ගමනේ දී හමුවුණු දානපතියන් අපිට පසුව රෝහලේ දියුණුවට බොහෝ උදවු කළා.
විශේෂ ස්තූතිය
සබරගමුව පළාත් සභාවේ සහකාර ප්‍රවෘත්ති අධ්‍යක්ෂ, සුනිල් ලීලානන්ද පෙරේරා මහතාට

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.